අශ්වයා කුලප්පුවෙලා මම හිටපු කරත්තේ අනිත් පැත්තට පෙරළුණා
කාවින්ද්‍යා අපිට ඔයා ගැන විස්තර ටිකක් කියන්න..?
මගේ නම කාවින්ද්‍යා දුල්ෂානි. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගිලා තුන්දෙනයි. ගැහැනු ළමයින්ම හතර දෙනක් ඉන්න පවුලේ මම තමයි වැඩිමහල් දරුවා වුණේ. මම ඉගෙන ගත්තේ දොම්පේ දේවි බාලිකා විද්‍යාලයේ.
පාසලේදී කාවින්ද්‍යා මොන වගේ චරිතයක් ද?
පාසලේදී මම හරියට පිරිමි ළමයෙක් වගෙයි. හරිම දඟයි. ඉගෙන ගන්නවාටත් වඩා මම ක්‍රීඩා තමයි කළේ. වැඩිපුරම වොලිබෝල්, නෙට්බෝල්, ක්‍රිකට් ක්‍රීඩා කළා. කරාටේ ක්‍රීඩාව මම උපරිමයෙන් කළා.
ගැහැනු ළමයි හතර දෙනෙක් ඉන්නේ පවුලේ වැඩිමලා වෙච්චි කාවින්ද්‍යාගේ ළමා කාලය ගැන මතක් කළොත්..?
ඇත්තටම තාමත් මම ගෙවන්නේ ඒ තුන්දෙනත් එක්ක ළමා කාලයක් වගේම තමයි. එදා ඉඳන් අද වෙනකන් අපි හතර දෙනාම හරිම සමගියි. හරිම එකමුතුයි. ලොකු නංගියි මායි අතරේ තමයි දඟ වැඩ, රණ්ඩු වැඩ ගොඩාක් තිබුණේ. අපි දෙන්නා වයස පරතරය ළඟ හින්දා අපි දෙන්නා පොඩි දේටත් පුංචි කාලේ රණ්ඩු වුණා.. පොඩි දෙන්නා මට වඩා ගොඩාක් චූටි නිසා ඒ දෙන්නාත් එක්ක අර තරම් රණ්ඩු වුණේ නැහැ. ඇත්තටම ළමා කාලය හරි සුන්දරයි. ගෑනු ළමයින්ම හතර දෙනෙක් ඉදිද්දී ඒක වෙනමම අත්දැකීමක්. ලොකු අක්කා වුණාට ලොකුවට වගකීමක් කියන දේ දැනුණේ නැහැ. තාමත් ඇත්තටම එහෙම වගකීමක් දැනෙන්නේ නැහැ. අපි හතර දෙනා ගැනම බලන්නේ අපේ අම්මයි, තාත්තයි. මම මෙහෙම රඟපෑවට, රුකියාවක් කළාට තවමත් අපි ගැන තීරණ ගන්නේ අපේ මව්පියෝ. ඒ නිසා තාමත් මට වගකීමක් කියන දේ දැනෙන්නේ නැහැ.
කාවින්ද්‍යා පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද..?
මගේ චූටි කාලේ ඉඳන්ම හීනය වෙලා තිබුණේ නීතිඥවරියක් වෙන්නයි.. මගේ අම්මත් නීතිඥ ක්ෂේත්රයට සම්බන්ධ නිසා මමත් ලෝයර් කෙනෙක් වෙන්න ආස කළා. හැබැයි උසස් පෙළ කරන කාලේදීම රංගනයට එකතු වුණු නිසා මගෙන් ඒ ආසාව අතහැරුණා. හැබැයි තවමත් මම ඉගෙන ගන්න එක නතර කරලා නැහැ. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් හදාරනවා.
නීතිඥවරියක් වෙන්න හීන දැකපු කාවින්ද්‍යා රංගන ශිල්පිනියක් වුණේ කොහොමද?
2015 වසරේදී ස්වාධීන රූපවාහිනි සේවයේ “අවුරුදු කුමරිය තරගයට මම සහභාගී වුණා. ඒ තරගයෙන් අවසාන දොළොස් දෙනා අතරට මාවත් තේරුණා. මගේ ගෙවල් ළඟ හිටපු අක්කා කෙනෙක් 2014 අවුරුදු කුමාරි තරගයට සහභාගී වෙලා තිබුණා. ඒ අක්කා තමයි 2015 වසරේත් මම වෙනුවෙන් මගේ අයදුම්පතක් තරගයට ඉදිරිපත් කළේ. ඉතින් ඒ තරගාවලියේ අවසාන දොළොස්දෙනාට අයි.ටී.එන්. නාළිකාවේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ දොළොස්දෙනාගෙන් නාට්‍යයට මාව තේරුණා.
ඒ නාට්‍ය මොකක්ද?
මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියූ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ “මේඝා කියන නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඒක අයියයි, අක්කයි එක්ක නංගී කෙනෙක් ගතකරන හරිම ආදරණීය චරිතයක්. ඒ වෙනකොට මම උසස් පෙළ හදාරණවා. මම රඟපාපු චරිතයත් උසස් පෙළ හදාරණ නංගි කෙනෙක්ගේ චරිතයක්. ඒ නාට්‍යයේ මගේ අක්කට රඟපෑවේ මහේෂි මධුසංකා. අයියට රඟපෑවේ බිමල් ජයකොඩි. ඉතින් ඒ දෙන්නාගේත් වගේම මගේ ආච්චිට රඟපාපු නෙතලි නානායක්කාර ඇතුළු මුළු “මේඝා කණ්ඩායමෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.
එතනින් කාවින්ද්‍යාගේ රංගන ජීවිතය වෙනස් වුණා?
ඔව්.. ඇත්තටම “මේඝා නාට්‍යයෙන් බොහෝ දෙනකුගේ හොඳ ප්‍රතිචාර මට ලැබුණා. ඊට පස්සේ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ “සඳ එළිය කියන ටෙලි නාට්යයයේත් මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ ටෙලි නාට්‍යයේ මම රඟපෑවේ ප්‍රධාන චරිතයටයි. ඊට පස්සේ “සිඳු ටෙලිනාට්‍යය අංජනාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයින් අතරට යන්න මට පුළුවන් වුණා. ඒ වගේම මේ දවස්වල “රන්බැඳි මිනිස්සු ටෙලි නාට්‍යයේත් “දඩයම් බඹරු ටෙලි නාට්‍යයේත් රංගනයෙන් දායකවෙනවා.
“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නත් කාවින්ද්‍යාට අවස්ථාව ලැබුණා නේද?
ඔව්.. “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ යශෝදරාගේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. මේ වෙනතුරු ලැබුණු චරිතවලින් මම ආසම සහ වටිනාම චරිතය විදිහට මම යශෝදරාගේ චරිතය හඳුන්වනවා. මේ චරිතයට මට කතාකරද්දී ඇත්තටම මට මුලදී බයවුණා. යශෝදරාගේ චරිතය හැමෝම දන්න, බෞද්ධ කාන්තාවන්ගෙත් ඉහළම තැන සිටිනා චරිතයක්නේ. ඒ නිසා ඒ චරිතය රඟපාන්න මම බය වුණා. මට ඒ වගේ ප්‍රබල චරිතයක් රඟපාන්න පුළුවන් වෙයිද කියන බයක මම හිටියේ. ඒත්.. මගේ අම්මා මාව පුදුම විදිහට ශක්තිමත් කළා. ඊට පස්සේ මම ඒ චරිතයට කැපවෙලා කොහොම හරි කළා.
ලැබුණු ප්‍රතිචාර කොහොමද?
“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යය දැන් විකාශනය වෙලා අවසානයි. නමුත් ලැබුණු ප්‍රතිචාර ඉතාම හොඳයි. මෑතකදී ඩුබායිවල සංචාරය කළා. එතනදී මට ලැබුණු ප්‍රතිචාර හරිම ඉහළයි. ඒ හරහා මම ඒ චරිතයට යම් විදිහකින් සාධාරණයක් කරලා තියෙනව නේද කියලා මට හිතුණා.
රෑගත කරන අතර තුරේදී අමතක නොවන සිදුවීමක් මතක් කරමුද?
“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ අපිට අශ්ව කරත්තයක යන දර්ශනයක් රෑගත කරන්න තිබුණා. එදා ගෙනාපු අශ්වයා වෙනදාට ගේන හුරුපුරුදු අශ්වයා නෙමේ. ඉතින් අපි කරත්තය ඇතුළේ ඉඳගෙන ඉදිද්දීම මේ අශ්වයා මොකක්දෝ හේතුවකට කුලප්පු වෙලා හොඳටම දඟලන්න පටන් ගත්තා. කරත්තය අනිත් පැත්තට පෙරළුණා. අපිට තුවාල වුණේ නැහැ. ඒත්.. අශ්වයාට නම් තුවාල වුණා. එදා අපිට හරිම දුකයි.
කාවින්ද්‍යා ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?
ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ අලුත් නිර්මාණයකට ආරාධනා ලැබුණා. මේ දවස්වල නාලක තලගල මහතාගේ “කෙම්මුර කළුවර ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරනවා. චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ “උතුරු සුළඟ චිත්‍රපටයේ රංගනයට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා.
► Makeup l Rangana Premarathna - salon-4U
► Location I Hotel Royal Grand Paradise - Kelaniya
► Text - Dishani / Pic - Sumudu