'අවුරුදු කුමාරිය' වුණාට පස්සේ තාත්තා රඟපෑම තහනම් කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2019-12-18-ent-1719

ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට වර්තමානයේ පත්ව ඇති දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන "දෙවෙනි ඉනිම" ටෙලිනාට්‍යයේ "ආක්ෂා" චරිතයට පණ පොවන නෙත්මි රොෂෙල් රෝජර්ස් සමගින් මෙවර අපි කතා බහ කළෙමු. අද "සාරවිට" කතා බහ දිගහැරෙන්නේ අය සමගිනි.

 

නෙත්මිගේ හීනයක් තිබුණද කලාවට සම්බන්ධ වෙන්න?

ඇත්තටම, මට එහෙම හීනයක් තිබුණේ නැහැ. නමුත්, පාසල් යන කාලෙ නම් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම නර්තනයට. අ.පො.ස උසස් පෙළ විභාගයට ඒ සියලුම දේවල් අත්හැරලා මුළුමනින්ම වගේ අවධානය අධ්‍යාපනයට යොමු කරන්න වුණා. හැබැයි මටත් වඩා මාව කලාවට සම්බන්ධ කරන හීනයක් තිබුණේ මගේ අම්මාට. ඇත්තටම, නොහිතපු හීනයක් තමයි මගේ මේ අද සැබෑ වෙලා තියෙන්නේ.2019-12-18-ent-1720

 

ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය වීම කලාවට එකතු වෙන්න අඩිතාලමක් වුණා කිව්වොත් හරි?

ගිය වසරේ ජාතික රූපවාහිනියේ "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වෙලා එහි ජයග්‍රාහිකාව වුණාට පස්සේ තමයි මට මේ හැම දෙයක්ම ලැබුණේ. කොටින්ම කිව්වොත් ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් හරි. අම්මාගේ ආසාවට තමයි මම ඒ තරගයට ඉදිරිපත් වුණෙත්.

 

රංගන ශිල්පිනියක් බවට පත් වුණේ කොහොමද?

අවුරුදු කුමරිය වුණාට පස්සේ මට මුලින්ම රංගනයට ආරාධනා ලැබුණේ සිරස රූපවාහිනියේ විකාශය වුණ %සක්කාරං^ ටෙලිනාට්‍යයට. එහි මම %ජයවතී^ කියන ප්‍රධාන චරිතය රඟපෑවා. ඊට පස්සේ තමයි "දෙවෙනි ඉනිම" ටෙලිනාට්‍යයේ "ආක්ෂා" චරිතයට එකතු වුණේ. මේ දිනවල දෙරණ රූපවාහිනියේම ඉදිරියේදී විකාශය වීමට නියමිත "රාවණා" දෙවැනි කොටසේ රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. එහි මම රාවණාගේ නැගණිය "සුපර්ණිකා" ලෙස රංගනයෙන් දායක වෙනවා.

 

රංගනය ගැන හැදෑරීමක් අවශ්‍යයි කියලා හිතෙන්නේ නැද්ද?

හිතෙනවා. "අවුරුදු කුමරිය" ලෙස ජයග්‍රහණය කිරීමත් හරහා තමයි මට රංගනයට එකතු වෙන්න ආරාධනා ලැබුණේ. ඒ හින්දා ඒ ගැන හැදෑරීමක් කරන්න බැරි වුණා. නමුත්, පාසලේදී කලා කටයුතුවලට එකතුවෙලා හිටපු නිසා ඒ පන්නරය මට ගොඩක් වැදගත් වුණා රඟපාන්න. ඒ වගේම %සක්කාරං^ වගේම "දෙවෙනි ඉනිම" ටෙලිනාට්‍යය තුළ මට මුණගැහුණ නවක ප්‍රවීණ මේ හැමදෙනාම මට රංගනය ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඔවුන් සමග රඟපානවා කියන්නේ රංගන පාසලක ඉඟෙන ගන්නවා වගේ දෙයක්.

 

"ජයවතී" කියන්නේ අහිසංක චරිතයක්. නමුත්, "ආක්ෂා" කියන්නේ නපුරු චරිතයක්?

ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි. ක්ෂේත්‍රයට ආපු ගමන්ම එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාන්න ලැබුණ එකට. මේ චරිත දෙකටම එක හා සමාන ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම %ආක්ෂා^ කියන චරිතයට. ගොඩක් අය අහන දෙයක් තමයි ඔයා ඔච්චර නපුරු විදිහට රඟපාන්නේ කොහොමද කියලා. චරිතය කළු වුණත් ඒකට රසික ප්‍රතිචාර ලැබෙනවා දැක්කාම මට ගොඩක් සතුටුයි.

 

නෙත්මි සැබෑ ජීවිතේ "ආක්ෂා" වගේම නපුරුද? "ජයවතී" තරම් අහිසංකද?

%ආක්ෂා^ තරම් නපුරුත් නෑ මම. "ජයවතී" තරම් අහිංසකත් නැහැ. හැබැයි ඒ දෙන්නා අතර ඉන්න කෙනෙක් විදිහට මාව හඳුන්වන්න පුළුවන්.

 

දිගටම රඟපාන්නද අදහස?

නැහැ. රඟපානවා කියන්නේ මගේ විනෝදාංශයක්. මම ගොඩක් කැමැති මම ඉගෙන ගත්ත දෙයින් වෘත්තියක් තෝරගන්න එක. ඒ වෘත්තිය කරන අතරතුර ලැබෙන විවේකයත් එක්ක තමයි කලාවට මම සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ.

 

නෙත්මිගේ පවුලේ අයගෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

අම්මා නම් මුල ඉඳලාම කැමැතියි මම රංගනයට යොමු වෙනවට. නමුත්, තාත්තා නම් අවසර දුන්නේ නැහැ මුලින්. අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළාට පස්සේ තාත්තා දුන්න පිළිතුරු තමයි රඟපාන්න නම් යන්න දෙන්න බැහැ කියලා. %සක්කාරං% ටෙලිනාට්‍යයේ %ජයවති^ චරිතයට කතා කළාම තාත්තා ඒකට අවසර දුන්නා. මොකද, ඒක ගැමි චරිතයක් නිසා. තාත්තා ඒ වගේ දේවල්වලට කැමැතියි. හැබැයි අද අම්මාට වඩා තාත්තාට තමයි මාව රංගනය පැත්තට යොමු කළ එක ගැන ගොඩක් සතුටු. කොටින්ම කියනවා නම් අද මම රූපගත කිරීම්වලට යන්නේ මගේ තාත්තා එක්ක.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - සඳුන් ගමගේ

 

2019-12-18-ent-1718