අවුරුදු 16දි තමයි මම ෆීල්ඩ් එකට ආවේ
කමේෂි කියන්නේ වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඊට අමතරව ඇය නිරූපණ ශිල්පිනියක විදිහටද ක්ෂේත්රයේ නිරත වෙනවා. නිරූපණය සහ රූපලාවණ්‍ය ක්ෂේත්රයෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙන කමේෂි සාරවිටට හමුවුණේ මෙහෙමයි.
මම කමේෂි නයනතාරා. මගේ වයස අවුරුදු විස්සයි. මම වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඊට අමතරව නිරූපණ කටයුතුවල නියැළෙනවා.
ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ කොයි කාලේදිද?
දැනට මම ක්ෂේත්රයට සම්බන්ධ වෙලා අවුරුදු හතරයි. මට අවුරුදු 16දි තමයි මම ෆීල්ඩ් එකට ආවේ.
නිරූපණයෙන් මේ දක්වා දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
මම සිරිකත පත්තරයේ ෆොටෝෂූට් කරනවා. මියුසික් වීඩියෝ එකකට දායක වුණා. ඒක ළඟදි එළිදක්වනවා. ඊට අමතරව නිරූපණ ක්ෂේත්රයේ වැඩකටයුතු රැසකට දායක වෙලා තියෙනවා. රූපලාවණ්‍ය වෘත්තිය පැත්තෙන් ටී. වී. ප්‍රෝග්‍රෑම් කිහිපයකට දායක වෙලා තියෙනවා.
මේ ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යන්න පුළුවන්ද?
ඇත්තටම පුළුවන්. ඒ දෙකටම කාලය වෙන වෙනම වෙන් කරාම සමබරව කරගෙන යන්න පුළුවන්. නිරූපණ ක්ෂේත්රය කියන්නේ මට පොඩි කාලේ ඉඳන් තිබුණු ආශාවක්.
ගෙදරින් කොහොමද මේ දේවල්වලට ලැබෙන සහාය?
අම්මා නම් ගොඩක් කැමති මගේ දේවල්වලට. අම්මා තමයි මට ගොඩක් උදව් කරන්නේ. හැමදේටම අම්මා එක්ක තමයි යන්නෙත්.
සමහරු නිරූපණ ශිල්පිනියෝ ගැන වැරදි විදිහට දකින්නේ ඇයි?
අපේ දැන් තියෙන සමාජයත් එක්ක තමයි ඔය ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ. නිරූපණයට එන හැම කෙනාම නරකයි කියන්න බැහැ. සමහර අය ඉන්නවා නරක දේවල් කරන අය. හොඳ විදිහට ඇවිල්ලා ෆීල්ඩ් එකේ ගරුත්වය තියාගෙන ඉන්න අයත් ඉන්නවා. හොඳ විදිහට ගෞරවයක් තියාගෙන වැඩ කළොත් ඕනෑම කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන්. නමුත් සුළු පිරිසක් වූ නරක පිරිස නිසා ක්ෂේත්රයේ හොඳ පිරිසගේ නමටත් හානියක් වෙනවා.
රංගනයට අවස්ථාවක් ලැබිලා නැද්ද?
තවම නම් නැහැ. ආරාධනා කිහිපයක් ආවා. නමුත් මම දෙයක් නිර්මාණවලට දායක වෙන්නේ තෝරා බලලයි. ඒක නිසා ඉදිරියේදී හොඳ අවස්ථාවක් ලැබුණොත් රංගනයටත් පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
කමේෂිගේ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
මම ප්‍රධාන වශයෙන් කරන්නේ රූපලාවණ්‍ය වෘත්තිය. මම NVQ ලෙවල් 04 සමත්. NVQ ලෙවල් 05 කරලා මගේම සැලෝන් එකක් පටන් ගෙන විදේශගත වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
උදව් කළ පිරිස ගැන කිව්වොත්?
මුලින්ම අම්මා, අයියාව මතක් කරන්න ඕනේ. මම ෆීල්ඩ් එකට ආවේ මම වැඩකරන සැලෝන් එකේ අයිතිකරු චමින්ද අයියා හරහා. එයාවත් මතක් කරන්න ඕනේ. එතකොට මට උදව් කරපු ෆීල්ඩ් එකේ අයයි යාළුවෝ හැමෝටමයි ස්තුති කරනවා.
කැළුම් දේවින්ද / ඡායාරූප - සජීව ලක්ෂාන්