අලුත් අය නිසා නිසා අපිට තියෙන ඉල්ලුම දැන් අඩුයි
මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයක දකින්නට ලැබෙන රුක්ෂානා දිසානායක සමගින් මෙවර "සාරවිට" තරු කතාබහ අපි සම්බන්ධ කරගත්තේමු. කෙටි කාලයක් තුළදී රංගන ක්ෂේත්රය තුළ ඉහළ ජනප්‍රියත්වයක් ගොඩනගා ගැනීමට සමත් වූ රුක්ෂානා වර්තමානය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන "කෝටිපතියෝ" ටෙලි නාට්‍යයේ "මධුකා" චරිතය හරහාය.
මේ දිනවල ඔබ ටෙලි නිර්මාණ කිහිපයකම අපි දකිනවා?
ඔව්, "සිරස" රූපවාහිනි නාළිකාවේ විකාශය වන සඳුන් රාජකරුණා මහත්මයාගේ "නීල පබළු" හා ප්‍රසන්න ඉත්තෑපාන මහත්මයාගේ %මෙඩි සීනා^, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන ගිහාන් රෝහණ මහත්මයාගේ "මාද නුඹ විය", ස්වර්ණවාහිනි නාළිකාවේ ප්‍රකාශ් ශීවගුරුනාදන් මහත්මයාගේ "කෝටිපතියෝ" ටෙලි නාට්‍යය තුළින් මාව දකින්න පුළුවන්.
වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ?
මේ ටෙලි නාට්‍යය හතරේ චරිත හතර ගත්තොත් එකිනෙකට වෙනස් චරිත. "නීල පබළු" හි මම කරන්නේ තරමක් වැඩිමහල් චරිතයක්. "මෙඩි සීනා" එකේ කොමඩි චරිතයක් කරන්නේ. "මාද නුඹ විය" නාට්‍යයේ කපටි, හැම වෙලාවෙම කවුරු හරි අසරණ කරන, යටි කූට්ටු වැඩ කරන කෙනෙක්ගෙ චරිතයක් තමයි රඟපාන්නේ. "කෝටිපතියෝ" නාට්‍යයේ මම මේ ගෙවන සාමාන්‍ය ජීවිතේ වගේ චරිතයක් තමයි කරන්නේ.
මේ නිර්මාණවලට අමතරව?
තවත් වැඩ කිහිපයකටම කතා කරලා තියෙනවා. ඒ අතරින් ටෙලි නාට්‍යය දෙකක වැඩවලට ඉදිරියේ දී සහභාගි වෙන්න නියමිතයි. තවත් ටෙලි නාට්‍යය කිහිපයක් සාකච්ඡා මට්ටමින් කතා කරගෙන යනවා.
ටෙලි නිර්මාණ ගොඩක අපි දැක්කත්, රුක්ෂානාට තවමත් ප්‍රධාන චරිතයක් ලැබිලා නැහැ?
ඒ වගේ දෙයක් ලබන්න තරම් මම තාම පිං කරලා නැද්ද කොහෙද? බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉතාම ඉක්මනින් ටෙලි නිර්මාණයක ප්‍රධාන චරිතයකට මට ආරාධනා කරයි කියලා. ප්‍රධාන චරිතයක් නොලැබුණා කියලා එහෙම ලොකු කනගාටුවක් නැහැ. මොකද, මම මෑතකාලයේ රංගනයෙන් දායක වුණ හැම චරිතයක් වගේම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණ චරිත. මම හිතනවා ප්‍රධාන චරිතයක් ලැබෙනවාට වඩා ප්‍රේක්ෂකයන් මා ගැන කතා කරන චරිත මට ලැබුණ එක ගැන මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්.
ඒ වුණාට රුක්ෂානා කියන්නේ ජනප්‍රිය චරිතයක්?
ජනප්‍රිය කිව්වට ඉතින් මම ලොකුවට ජනප්‍රිය නැහැ. සාමාන්‍යයෙන් පිරිසක් අතර ජනප්‍රියයි. නම ජනප්‍රිය වුණාට දැක්කොත් විතරයි මාව අඳුන ගන්නේ.
රුක්ෂානා දක්ෂ නර්තන ශිල්පිනියක්. රංගනයට වගේම ඒ පැත්තටත් මූලිකත්වය දුන්නොත් නරකද?
කැමති රංගනය පැත්තට නේ. රඟපාන්න කැමති වෙලා, වෛද්‍යවරියක් වෙලා හරියන්නේ නැහැනේ. මගේ ජීවිතේ ලොකුම ඉලක්කය තිබුණේ රංගන ශිල්පිනියක් වෙලා මේ තැනට එන්න. ගොඩක් මහන්සිවෙලා, කැපකිරීම් කරලා තමයි අද කලා ක්ෂේත්රයේ මම මේ ඉන්න තැන හදාගත්තේ.
ඒ මහන්සියේ ප්‍රතිඵල තියෙනවාද?
ඔව්, තියෙනවා. දැනට මම නිර්මාණ රැසකට දායක වෙලා තියෙනවා. ඒ වගේම සිනමාවටත් සම්බන්ධ වෙලා තියෙනවා. මම එහෙම නිර්මාණ තෝරාගන්න පුළුවන් මට්ටම කෙනෙක් නෙවෙයි. නමුත්, මට රඟපාන්න හොඳ චරිත ලැබිලා තියෙනවා. ඒ චරිත හරහා ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක් වෙන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා.
ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම්වලත් ඔබව අපි පසුගිය කාලයේ දුටුවා?
ඔව්, මෑතකදිත් මම වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වුණා. නමුත්, ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්න ලැබෙන ආරාධනා නම් අඩුයි. මොකද, අලුත් මුහුණුවලට තමයි ඒ නිර්මාණවලත් වැඩිපුර තැනක් ලැබෙන්නේ.
අලුත් අය එන නිසා රුක්ෂානාට තියෙන ඉල්ලුම දැන් අඩුද?
ඔව්, එහෙම දේකුත් තියෙනවා. අලුත් මුහුණුවලට ප්‍රේක්ෂකයෝ කැමතියි. ඒ වගේම නිර්මාණකරුවොත් තමන්ගෙ නිර්මාණවලට අලුත් මුහුණක් යෙදුවොත්, නිර්මාණය සාර්ථකයි කියලා හිතනවා. අපි ක්ෂේත්රයේ තැනක් හදාගත්තත් ඒක රඳවා ගන්න අමාරුයි කියලා හිතෙන තැනට අපි පත්වෙලා තියෙනවා.
ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ පැත්තෙන් යම් ප්‍රයෝජනයක් ගත්තද?
පොඩි කාලේ ඉඳලාම මම කලාව පැත්තට යොමු වෙන්න තමයි බලාපොරොත්තුව වුණේ. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියෙත් කලාවට තියෙන ආසාව නිසා. කලාවට සම්බන්ධ දේවල් තමයි විශ්වවිද්‍යාලය තුළින් ලබාගත්තේ. සංගීතය, නර්තනය ඒ හැම එකක්ම පරිශීලනය කරලා. නමුත්, මට තාම නර්තනය පැත්තෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිවුණා, රංගන ශිල්පිනියක් වුණ නිසා. නමුත්, මම ඉගෙන ගත්ත දේ නැති වෙන්නේ නැහැනේ. කවදහරි ඒ දේවල්වලින් ප්‍රයෝජනයක් ගන්නවා.