අයුතු යෝජනාවලට කැමති වුණානම්, මාත් අද ජනප්‍රිය නිළියක්
වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස වඩාත් ජනප්‍රිය ශෂිනි ලක්ෂි සමගින් අද "තරුණයා" තරු කතාබහ අපි ඇරඹුවෙමු. නිරූපිකාවක, ගායිකාවක හා රංගන ශිල්පිණියක ලෙස විවිධ ක්ෂේත්රවල ජනප්‍රිය වී ඇති ඇය ඉදිරියේදී විවිධ කලා කටයුතු කිහිපයක් සඳහා සූදානමින් සිටියි. මේ ඒ පිළිබඳව ඇය අපිට දැක්වූ අදහස්ය.
ශෂිගේ වෘත්තිය මොකක්ද?
මම වෘත්තීන් කිහිපයකම වැඩ කරනවා. ගොඩක් වෙලාවට මම කරන්නේ නිවේදන කටයුතු. ඊට අමතරව නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා ගායිකාවක් විදිහටත් වැඩ කරනවා.
ගායිකාවක් විදිහට ඔබ ගැන ලොකුවට කතාවෙලා නැහැ නේද?
ඔව්, මම ගීත ගොඩක් කරලා නැහැ. මේ දවස්වල මගේ දෙවැනි ගීතය නිර්මාණය වෙමින් පවතිනවා. ලොකුවට ඒ පැත්තට නැඹුරු වෙලා වැඩ කරලා නැහැ. නමුත්, මම ආසයි ගායිකාවක් විදිහටත් වැඩ කරන්න. සමහර විට මේ නිර්මාණය කරමින් පවතින ගීතය හරහා මා ගැන, මගේ ගායන හැකියාව ගැන රසික, රසිකාවියන් කතා කරයි කියලා මම හිතනවා. මගේ පළමු ගීතය %උන්දාම ප්‍රේමයට^. එයට මා රූප රචනාවක් පවා නිර්මාණය කළා.
නිවේදනයට, ගායනයට වගේම ඔබට රඟපාන්නත් පුළුවන්?
ඔව්, රඟපාන්න නම් අවස්ථා ගොඩක් ලැබුණා. ඒ අවස්ථා ගත්ත නම්, මම අද ලංකාවම දන්න ජනප්‍රිය නිළියක් වෙන්න තිබුණා. නමුත්, මේ ලැබුණ අවස්ථා අතරේ තිබුණෙ වෙනත් යටි අරමුණක්. ඒ අවස්ථා ගන්න නම් මම මිනිස්සුත් එක්ක ඉන්න ඕන. එහෙම ඉන්න මම කැමතිත් නැහැ, අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා ඒ ආරාධනා මම ප්‍රතික්ෂේප කළා.
ඒ කියන්නේ ඔබ රංගනය පැත්තට යොමු වුණේ නැහැ කියන එකද?
නැහැ. මගේ යහළුවන් කිහිප දෙනෙකු කරපු ටෙලි හා ගීත රූප රචනා කිහිපයකට මම දායක වුණා. ඒ නිර්මාණවලට දායකවෙලත් දැන් වසර දෙකක් විතර වෙනවා. ඒ නිර්මාණවලට දායක වෙන කාලෙත් ගොඩක් අයුතු යෝජනා ආවා. ඒ හින්දා රංගනය වගේම අනෙකුත් කලා කටයුතුවලිනුත් මම ඈත්වෙලා නිවේදන කටයුතුවලට විතරක් වැඩිපුර යොමු වෙන්න හිතුවා.
ඉදිරි කාලය වැඩිපුර යොමු කරන්න සූදානම්?
නිවේදන කටයුතුවලට. 2011 වසරේ ඉදන් 2013 වසර වෙනකම් මම %CSN^ රූපවාහිනි නාළිකාවේ වැඩ කළා. ඊට පස්සේ ශ්‍රී TV නාළිකාවට සම්බන්ධ වුණා. දැන් %චැනල් C^ නාළිකාවත් එක්ක වැඩ කරනවා. නිදහස් මාධ්‍යවේදිණියක් විදිහට තමයි දැන් මම වැඩ කරන්නේ.
ශෂිනි පුංචි කාලේ හීන මැව්වේ කවුරු වෙන්නද?
කලා ක්ෂේත්රයට නම් යොමු වෙන්න මගෙ අදහසක් වගේම කැමැත්තක් තිබුණෙ නැහැ. නාවික හමුදා නිලධාරිණියක් විදිහට වැඩ කරන්න තමයි මගේ කැමැත්ත තිබුණේ. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. වසර හයක් තිස්සේ කැඩෙට් කළා. 2008 කැඩෙට් සාජන්ට් කෙනෙක් වුණා. කඳුරට FM එකේ පොඩි කාලේ ඉඳලා ළමා වැඩසටහන් කළා. අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් වුණාම මට සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ගේ මිඩියා ඇකඩමි එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා 2011 වසරේ දී. ඊට පස්සෙ නාවිකා හමුදා නිලධාරිණියක් වෙන්න තිබුණ හීනේ මඟඇරිලා ගියා. හිතේ තිබුණේ නිවේදනය පැත්තට යොමු වෙන්න.
හැමෝටම හීන තියෙනවා. ශෂිනිටත් එහෙම හීන තියෙනවාද?
ඔව්, ලංකාවෙ ඉන්න හොඳ නිවේදිකාවන් අතරට එන්න මගේ ලොකුම හීනයක් තියෙනවා. හීනයකට වඩා මේක මට තියෙන ලොකුම ඉලක්කයක්. ඊට අමතරව විශාරද විභාගය අවසන් කරන්නත් අවශ්‍යයි. මගේම කියලා ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
උදව් කරපු අය ගැනත් කියමු?
මගේ සහකාරයා මතක් කරන්න ඕන මුලින්ම. හැමෝම දන්න එයා තමයි ධනුෂ්ක. මාව මේ ෆීල්ඩ් එකේ මෙච්චර තැනකට ගෙනාවේ එයා. එයාගෙ ඉවසීමයි, තේරුම් ගැනීමයි, අවංකකමයි හැමදාම මාව ධෛර්යමත් කළා. අනික මගේ අම්මයි, තාත්තයි ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන. සද්ධා සර් තමයි මාව නිවේදිකාවක් විදිහට මට ආරම්භයක් දුන්නේ. කවින්ද ලෙස්ලි අයියා, ගීතප්‍රිය අයියා ඇතුළු මගෙ ගමනට උදව් කරපු හැමෝම මතක් කළ යුතුයි.
බුද්ධික සේනාධීර