අම්මා දාන්න කීව අයදුම්පතෙන් මම බෝඩිමේදී පවන් ගැහුවා....



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-416

පවරි.. අපට ඔයාගේ විස්තර ටිකක් කියන්න?

මගේ නම පවරි අමරසා.. මගේ ගම මාතර.. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. මගේ තාත්තා ගුරුවරයෙක් විදිහට සේවය කළා. මගේ අම්මා බැංකු නිලධාරිනියක් විදිහට සේවය කළා. මේ වෙනකොට ඒ දෙන්නම විශ්‍රාමිකයි. මගේ මල්ලි මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරලා දැන් රැකියාවක් කරනවා.

 

ඔයා ඉගෙන ගත්තේ මොන පාසලේදී ද?2019-05-27-ent-418

මම ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකාවේ. පාසලේදී මම ටිකක් දඟ චරිතයක්. සමහර පීරියඩ්වල පන්තියට වෙලා හිටියෙත් නැහැ. දැනටත් සමහර ටීචර්ලා දකිද්දීත් අපිට බය හිතෙනවා. ඒ කාලේ කරපු දඟ වැඩවලට දඬුවම් කරාවිදෝ කියලත් සමහර වෙලාවට හිතෙනවා. මම වැඩිපුරම හිටියේ සංගීත පන්තියේම තමයි. සමහර පීරියඩ්වලදී පන්තියේ හිටියේ නැතිවුණාම මගේ යාළුවෝ මාව හොයාගෙන එන්නෙත් සංගීත පන්තියටම තමයි.

 

සංගීතයට පුංචි කාලේ ඉඳන්ම ආස කළේ ගෙදර පරිසරයත් එක්කමද?

පුංචි කාලේ ඉඳන් මම සංගීතයට හරි කැමතියි. මගේ මාමාට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ ආභාෂයත් මට බලපාන්න ඇති. පොඩි කාලේ ඉඳන්ම සින්දු අහනවා. සින්දු කියන්න කැමතියි. ඒ තිබුණු කැමැත්ත ටිකෙන් ටික වැඩිවෙන්න ඇති.

 

පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?

එහෙම ලොකුවට හීනයක් තිබුණේ නැහැ. හැබැයි හොඳින් ඉගෙනගෙන හොඳ දරුවෙක් වෙන හීනය තිබුණා. ඒ අතරේ සංගීතය පැත්තෙන් ඉදිරියට යන්නත් ආස කළා. හැබැයි ඒ නවතින තැන කොතනද කියලා මම දැනගෙන හිටියේ නැහැ.

 

පාසල් අධ්‍යාපනයෙන් පසුව පවරි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණානේ?

ඔය පාසල් යන කාලේදී මම මුතුහර ළමා සමාජයට සම්බන්ධ වෙලා හිටියේ. මුතුහර ළමා සමාජයේදීත් මම සංගීතයට ගොඩාක් සම්බන්ධ වුණා. මගේ හැකියාවත් හඳුනාගත්තා. ඒ හැකියාවන් ඉදිරිපත් කරන්න.. හොඳ අවස්ථාවක් වුණා. තරගවලින් දිනුවා. පාසලේදී සංගීත වැඩසටහන්වලට වගේම ඩ්‍රාමාවලටත් මම සම්බන්ධ වුණා. ඒ හැම දෙයකින්ම ලැබුණු පන්නරය මට ලොකු ශක්තියක් වුණා. ඒ ආපු ගමන විශ්වවිද්‍යාල ජීවිතෙත් එක්ක ලොකු වෙනසක් වුණා. විශ්වවිද්‍යාලයේත් පැවැත් වූ “කවීතා ගී තරගාවලියට මාව ගොඩාක්ම උනන්දු කළේ මගේ අම්මා. “කවීතා Season 01 තරගාවලියේදී අම්මා මට ඇප්ලිකේෂන් දාන්න කිව්වට මට ඒවාට දාන්න හරි කම්මැලියි.. මට තාම මතකයි ඒ ලියපු ඇප්ලිකේෂන් එකෙන් මම බෝඩිමේදී පවන් ගැහුවා. ඔන්න දෙවැනි තරගාවලියට ගෙදරින් දාන්න කියද්දී තමයි මම ඒ තරගාවලියට අයදුම්පත දැම්මේ.

 

ඒ තරගාවලියෙන් පවරිගේ ජීවිතේ ලොකු සිදුවීමක් වුණා නේද?

ඔව්.. ඒ තරගාවලියෙන් මම ප්‍රථමයා වෙමින් නිර්මාණශීලී ගායිකාවක් වුණා.. ඒ 2013-14 වසරේදීයි. ඒ තරගාවලියෙන් පසුව ක්ෂේත්‍රයේ අයව හඳුනාගන්න මට අවස්ථාව ලැබුණා. රෝහණ වීරසිංහ සර් තමයි ඒකේ සංගීතය අධ්‍යක්ෂණය කළේ. බන්දුල නානායක්කාරවසම් සර් “කවීතා තරගාවලිය බලන්න ඇවිත් තිබුණා. අපේ රෙකෝඩින් එකක් නෙලූ මිස්ලාගේ (නෙලූ අධිකාරි) ගෙදර කරද්දී බන්දුල සර් මාව හඳුනාගත්තා. ඒ හඳුනාගැනීමත් එක්ක බන්දුල සර්ගේ “මහෝගී කියන වැඩසටහනට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවත් මගේ මේ ගමනට ලොකු ශක්තියක් වුණා.

 

පවරිගේම ගීත මෙන්ම ටෙලිනාට්‍ය පසුබිම් ගායනයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?

ඔව්.. ඒ අවස්ථාව මට ලැබුණෙත් බන්දුල සර් නිසායි. මට ටිකිරි රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ “මුතු කුඩ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ ගීතය ලිව්වේ බන්දුල නානායක්කාරවසම් සර්. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළේ රෝහණ වීරසිංහ සර්. ඒ වගේම අයි.ටී.එන්. නාළිකාවේ විකාශනය වුණු රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ “කුටු කුටු මාමා ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නත් රෑපවාහිනියේ විකාශනය වුණු “විමංසා ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා. 

 

වික්ටර් රත්නායකයන්ගේ “සරස සංගීත ප්‍රසංගයට සම්බන්ධ වෙන්නත් පවරිට අවස්ථාව ලැබුණා... ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මගේ ජීවිතේ මම ලබපු විශාල භාග්‍යයක් තමයි වික්ටර් රත්නායක සර්ගේ “සරස ප්‍රසංගයට සහභාගී වෙන්නට අවස්ථාව ලැබීම. වික්ටර් සර් ගීත ගැයීමේ හැකියාවක් ඇති අලුත් කෙනෙක්ව හොයලා තිබුණා. කැම්පස් එකේ නිහාල් සර් තමයි මේ ගැන මට කිව්වේ. දවසක් මට වික්ටර් සර්ව මුණගැහුණා. මට ගීත ගැයීමේ යම් හැකියාවක් තිබුණු නිසා සර් මාව “සරස ප්‍රසංගයට සම්බන්ධ කරගන්න කැමති වුණා.

 

අලුත් ගීත නිර්මාණයක් කරලා නැද්ද?

සංජීවනී දහනායක අක්කා ලියපු හර්ෂණ දිසානායක මල්ලී සංගීතවත් කරපු අලුත් ගීතයකට රූපරචනා ළඟදීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කරුණාරත්න විජේවර්ධන සර් තනු නිර්මාණය කරපු බන්දුල සර් ලියපු තවත් ගීතයක් ඉදිරියේදී පටිගත කරන්න බලාපොරොත්තු වෙනවා.

 

පවරි.. ගායිකාවක් වගේම ගුරුවරියක්... ඒ භූමිකාව ඔබට දැනෙන්නේ කොහොමද?

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අපේ වසරේදී මම තමයි Batch Top වුණේ. ඒ නිසා උපාධිය ලැබීමෙන් අනතුරැව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේම මට අවුරුද්දක් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මට පළමු ගුරු පත්වීම විදිහට දෙව්න්දර සරණපාල කනිෂ්ඨ විද්‍යාලයේ උගන්වන්න අවස්ථාව ලැබුණා. ආදරණීය දරුවන් වගේම හොඳ ගුරු මණ්ඩලයක් එක්ක මට සේවය කරන්න අවස්ථාව ලැබුණා. අපි ඉස්කෝලේ යන කාලේදී කරපු කියපු දේවල් මට දැන් මතක් වෙනවා.

 

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?

මේ වනවිට මම විශාරද සංගීත නිපුන් හදාරලා ඉවරයි. සඳුන් පතිරණ සර් යටතේ තමයි මම එය හැදෑරුවේ. ඉතින් ගුරු වෘත්තියට මම හරි ආසයි.. ආදරෙයි... ඒ වෘත්තියත් එක්ක සංගීත කටයුතුවල ඉදිරියටත් නියැලෙන්න තමයි මම බලාපොරොත්තුව වෙන්නේ.   

 

  ► Text - Dishani  /   Pic - Sumudu

 

 2019-05-27-ent-417