අපේ හැකියාවන් මත අපිට ලැබෙන්න ඕනේ දේවල් ලැබෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-14-ent-36

නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ, මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව හමාරයි. ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ පැළැඳි ඉමායා ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යයේ ‘සකුන්තලා මැණිකේ’ගේ චරිතයෙන් තම රංගන දිවියේ වෙනස් මගක් පාදා ගත්තේය. ඇයගේ වත්මන් කටයුතු පිළිබඳව කතාබහක යෙදීමට අප අදහස් කළේ එබැවිනි.

 

කොහොමද මේ දවස්වල තොරතුරු?2019-02-14-ent-35

මේ දවස්වල ‘අපේ ආදරේ’ රූගත කිරීම දිගටම යනවා. නාට්‍ය ඉවර වෙන්න ළඟයි දැන්. ‘සිරස’ නාලිකාවේ අලුත් වැඩක් පටන් ගත්තා ‘මඩොල් කැලේ’ කියලා. ඒක ජනක චමින්ද අත්තනායකගේ නාට්‍යයක්. ඊට අමතරව චනික පෙරේරාගේ ‘මනාලි’ කියලා නාට්‍යයක් පටන් ගත්තා. ඒකේ ඊළඟ ෂෙඩුල් ඉඳන් තමයි මගේ වැඩ තියෙන්නේ.’හිරු’ නාලිකාවේ ටෙලි නාට්‍යයක් සඳහා ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන නම් තීරණයක් අරගෙන නැහැ. මේ විදිහට තමයි මේ දවස්වල තොරතුරු.

 

චිත්‍රපට සඳහා වැඩි නැඹුරුවක් නැද්ද?

නැත්තේ නැහැ.අනික මම ක්ෂේත්‍රය ඇවිල්ලා ලොකු කාලයක් නැහැනේ. ඒත් මේ පුංචි කාලය තුළ වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය කියන තුනටම මට දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා. ඒ ගැන සතුටුයි. ටෙලි නාට්‍යවල ගොඩක් ජනප්‍රිය නළු නිළියෝ පවා සිනමාවට තාමත් සම්බන්ධ වෙලා නැති අය ඉන්නවා. ඒ නිසා මට සතුටක් තියෙනවා මේ අංශ තුනටම මගේ දායකත්වය ලබා දෙන්න පුළුවන් වීම ගැන.

 

සිනමාව සහ ටෙලි නාට්‍ය කියන අංශ දෙකට වඩා වේදිකාව කියන දේ අභියෝගාත්මක් තැනක් නේද?

විශාල අභියෝගයක්. මම ටෙලි නාට්‍ය සහ සිනමාවට සම්බන්ධ වෙලා තමයි වේදිකාවට සම්බන්ධ වෙන්නේ. වේදිකාවට සම්බන්ධ වෙනකොට කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා වේදිකාව තුළ හඬ පාලනයේ ඉඳන් රඟපෑම දක්වා ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. මුලින්ම යනකොට මට ලොකු බයකුත් තිබුණා.ඒත්ලැබුණු පුහුණුවීම එක්ක යම්තාක් දුරට මට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා හිතනවා.

 

සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වූ අයෙක් වේදිකාව තෝරා ගන්නා ප්‍රවණතාව අඩුයි නේද?

ඔව්. හැබැයි මම තෝර ගත්තා. අද අලුතින් ඉන්න අය හිතනවා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හෝ සිනමාව කියන්නේ ජනප්‍රිය වෙන්න තෝතැන්නක් කියලා. සිනමා නිර්මාණයක හෝ ටෙලිනාට්‍යයක නිතරම ප්‍රේක්ෂකයෝ දකිනවා සහ අපිට ඉක්මනින්ම ජනප්‍රිය වෙන්න පුළුවන් කියන කාරණයයි ගොඩක් අය හිතන් ඉන්නේ. නමුත් වේදිකාව තුළ ජනප්‍රිය කියන මට්ටමට යන්න අමාරුයි. වේදිකා නාට්‍යයක් වේදිකාගත කරලා, ඒකට ආදරය කරන සීමිත පිරිසක් තමයි මෙතනට එන්නේ. ඒ හින්දා ගොඩක් අය හිතනවා ඇති, වේදිකාවට සම්බන්ධ වෙලා වැඩක් නැහැ, ජනප්‍රිය වෙන්න බැහැ කියල. ඒවගේ දෙයක් හිතනවා ඇති. හැබැයිමම වේදිකාවට සම්බන්ධ වෙන්නේ දෙයක් ඉගෙන ගන්න. රංගනයට මම එකතු වෙන්නේ රංගනය ගැන කිසිම දෙයක් හදාරලා නෙමෙයි.’මිස් ශ්‍රී ලංකා’ කිරුළ දිනාගත්තායින් පස්සේ ලැබෙන ආරාධනා එක්ක තමයි මම රංගනයට එන්නේ. හැබැයි රඟපෑම කියන දේ හරි විදිහට හදාරලා හරි විදිහට ගමනක් යන්න වේදිකාව කියන දේ මට උදව් වෙයි කියලයි මට හිතුණේ. ඒ නිසා තමයි මම වේදිකාව තෝර ගත්තේ.

 

නිරූපණයෙන් කිරුළක් හිමි ඔබට රංගනයෙන් සම්මානයක් සඳහා බලාපොරොත්තුවක් නැද්ද?

අනිවාර්යෙන්ම තියෙනවා. මගේ ඊළඟ බලාපොරොත්තු තමයි ඒක. රූප රාජිනියක් විදිහට මම කිරුළක් ලබා ගත්තා සහ මම ජාත්‍යන්තරයට ගියා. ජාත්‍යන්තරයේ තරග ජයග්‍රහණය කළා. දැන් රංගනයට පිවිසුණාට පස්සේ මට ලොකු ආසාවක් තියෙන්නේ ජනප්‍රිය කිරුළට වඩා හොඳම නිළිය කියන සම්මානය ලබා ගන්න.

 

ඔබේ වෘත්තීය තුළ හැරවුම් ලක්ෂ්‍යය කොතැනද?

‘මුතු කුඩ’ ටෙලි නාට්‍යය. ඒ අවස්ථාව මට ලැබුණේ අහම්බෙන්. මට කතාකරද්දී කිව්වේ මේ වගේ චරිතයක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා. තිර පිටපත ලැබුණාම මට ලොකු බයක් දැනුණා. මොකද මම ආධුනිකයි. ඊට කලින් ඒ වගේ චරිත කරලා නැහැ. ඇඳුම් පැළැඳුම්, කතාකරන භාෂාව, ඒ චරිතය තුළ ලොකු ගැඹුරක් තිබුණා.අනික ඉතිහාසයේ හිටපු වීර කාන්තාවකගේ චරිතයක් තමයි නිරූපණය කරන්න තිබුණේ. මගේ අප්පච්චි විදිහට රඟපෑවේ මහේන්ද්‍ර වීරරත්න. ඔහු කොයිතරම් ප්‍රවීණයෙක් වුණත් හොඳ නරක කියලා දුන්නා. ඒ නිසා ඔහුගේ නිහතමානිකම ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. ටිකිරි රත්නායක මහත්මයාගේ ‘මුතු කුඩ’ ටෙලි නාට්‍යයේ ‘සකුන්තලා’ කියන චරිතය තමයි මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය.

 

ඉක්මනින් ජනප්‍රිය වෙන්න බලාගෙනද ඔබත් නිර්මාණ තෝර ගන්නේ ?

රංගන ක්ෂේත්‍රය, නිරූපණ ක්ෂේත්‍රය ගත්තොතින් හැමෝම බලන්නේ ඉක්මනින් ජනප්‍රිය වෙන්න. මොකද හැකියාව දියුණු කරගෙන දිගු ගමනක් යන බලාපොරොත්තුවක් යන්න දැන් එන අලුත්අයට අදහසක්නැහැ. ඒත් මම පෞද්ගලිකව හිතන දේ තමයි රංගන හෝ නිරූපණ ක්ෂේත්‍රයට එනවානම්, හැදෑරීමක් එක්ක අපේ ගමනක් යන්න ඕනේ කියන එක. ජනප්‍රියත්වය කියන දේ අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගත්තාම අද අපි ඉන්නවා,හෙට නැති වෙන්න පුළුවන්.ඒ නිසයි අපි අපේආත්මගරුත්වය රැකගත යුත්තේ. එතකොටයි ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්නේ. අපේ හැකියාවන් මත අපිට ලැබෙන්න ඕනේ දේවල් ලැබෙනවා.ඒ හින්දඅවුරුදු කීයක් ගියත් නම මතකේ තියෙන විදිහට ජීවත් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.

 

හෙමින් යන ගමනක් තුළ වෘත්තීමය ජීවිතයක් ගත කරන්න පුළුවන්ද?

මෙහෙමයි. අපි බොහොම ඉවසීමෙන් හරියාකාරව හිමින් ගමන් යනවා නම් දරා ගැනීමේ හැකියාව ඉහළින්ම තියෙන්න ඕනේ. මට පස්සේ අලුතින් එන ළමයි වැඩ ගොඩාක් කරලා ජනප්‍රිය වෙලා යනකොට අපි ඒ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුරුදුවෙන්න ඕනා. අනික හෙමින් යන ගමනක පැවැත්ම වැඩියි.

 

ඉදිරි කටයුතු?

මේ තියෙන වැඩ ටික මෙහෙම්ම කරගෙන යනවා. තව වැඩ දෙකක් වගේ පටන් ගන්න තියෙනවා. ‘අපේ ආදරය’ ටෙලි නාට්‍යය ඉතාමත් ඉක්මනින් ඉවර වෙනවා. ඒකත් එක්ක අලුත් ටෙලි නාට්‍යයක් එනවා. ජනක චමින්ද අත්තනායකගේ අයිටීඑන් එක වෙනුවෙන් ටෙලි නාට්‍යයක් පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒවත් එක්ක තව එක හමාරකින් විතර විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

Dilan Chryshantha

2019-02-14-ent-32 2019-02-14-ent-33 2019-02-14-ent-34