අපේ ඇඟයි දායක වන ෂූට් එක අනුව තමයි අපේ පැවැත්ම තියෙන්නේ
සිරස අවුරුදු කුමරිය තරඟාවලිය හරහා පැමිණි නිරූපණ ශිල්පිනියන් රැසක් අද වනවිට ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල රැඳී සිටිනවා. ධනුෂ්කා කියන්නෙත් සිරස අවුරුදු කුමරිය තරඟාවලිය හරහා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු නිරූපණ ශිල්පිනියක්. ඇය මේ වනවිට ෆොටෝෂූට් ඇතුළු නිර්මාණ රැසකටම දායක වෙලා තිබෙනවා. නිරූපණයෙන් ඉදිරියටම යන්න උත්සාහ කරන ධනුෂ්කාව සාරවිටට හමුවූයේ මේ විදිහට.
මගේ නම ධනුෂ්කා නටාෂා නානායක්කාර. නමුත් හැමෝම මාව දන්නේ ටානි හාමර් කියලා. දැනට මම වෘත්තීය වශයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වෙනවා. මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ 2014 වසරේදි. මේ වනවිට මම දායක වෙන්නේ ෆොටෝෂූට් වලට විතරයි.
නිරූපණ ක්ෂේත්‍රයේ පිවිසුණු විදිහ ගැන කිව්වොත්?
2014 සිරස කුමරිය තරඟාවලිය පිළිබඳව දැන්වීමක් පල වෙනවා දැකලා මම ඒකට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළා. එයින් මම අවසන් දොළොස් දෙනා නියෝජනය කරනවා. ඉන් පසුව මට ෆොටෝෂූට්වලට ආරාධනා ලැබෙනවා. ඒ විදිහට තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ.
නිරූපණය කියන්නේ පොඩි කාලේ ඉඳලම තිබුණු හීනයක්ද?
ඇත්තටම කිව්වොත් සිරස කුමරියට සම්බන්ධ වුණාට පස්සේ තමයි නිරූපණයට කැමැත්ත ඇති වුණේ.
ඇයි ෆොටෝෂූට්වලට විතරක් දායක වෙන්නේ?
දැනට මියුසික් වීඩියෝ සහ වෙනත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒවායේ පිටපත් කියවලා මට ගැලපෙනවා වගේ නම් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
නිරූපණ වැඩකටයුතුවලට පවුලෙන් ලැබෙන සහය කොහොමද?
මගේ අම්මයි තාත්තයි දෙන්නම ආසයි නිරූපණයට. මගේ සැමියාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හැමෝම කියන්නේ හොඳ නිර්මාණවලට විතරක් සම්බන්ධ වෙන්න කියලා.
ටානි නිරූපණය හදාරල තියෙනවාද?
නිරූපණය ගැන හදාරලා නම් නැහැ. නිරූපණය පිළිබඳව හදාරන්න තිබෙන ආයතන දැන් නැහැ. සමහර අය දැන් නිරූපණය උගන්වන්නෙත් නැහැ.
ගොඩක් නිරූපණ ශිල්පිනියෝ සිනමා රංගනයට දායක වෙනවා. ඔබටත් ඒ බලාපොරොත්තුව තිබෙනවාද?
නැහැ. රංගනයට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැහැ. ෆොටෝෂූට්වලටයි මියුසික් වීඩියෝවලටයි විතරයි සම්බන්ධ වෙන්නේ.
නිරූපණයට හැමදාම අළුත් මුහුණු එකතු වෙනවා. ඒක ඔබට අභියෝගයක් නෙවෙයිද?
හැමෝම කාලෙන් කාලෙට එන්න ඕනේ. නැත්නම් ක්ෂේත්‍රයේ පැවැත්මක් නැහැ. අපේ ශරීරයයි, අපේ ඇඟයි අපි දායක වන ෂූට් එක අනුව තමයි අපේ පැවැත්ම තියෙන්නේ. අපි හොඳ දෙයක් කරොත් අපට හොඳ නමක් තියාගෙන ඉස්සරහටම යන්න පුළුවන්. නරක දෙයකින් වුණත් අද කාලේ ඉස්සරහට යන්න පුළුවන්. නමුත් අපි හොඳ දෙයක් කරනවා නම් අපට බය නැතුව ඕන කෙනෙකුට මුහුණ දෙන්න පුළුවන්. මම විනෝදාංශයක් විදිහට තමයි නිරූපණය කරන්නේ. අළුත් මුහුණු දැක්කම අපට ගොඩක් සතුටුයි. මට අභියෝගයක් නැහැ.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
නිරූපණයෙන් හොඳ තැනකට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මගේ සැමියා මැජික් ශිල්පියෙක්. ඒ පැත්තෙනුත් ඉස්සරහට එන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ක්ෂේත්‍රයට එන්න උදව් කරපු පිරිස ගැන කිව්වොත්?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මයි, තාත්තයි, මගේ සැමියයි තමයි මට මේ තැනට එන්න ගොඩක් උදව් කළේ. එතකොට මාව වැඩවලට ගත්තු ඡායාරූප ශිල්පීන්ව මතක් කරන්නත් ඕනේ. ඔවුන් මටත් වඩා මහන්සි වෙනවා නිර්මාණයකදි.
කැළුම් දේවින්ද