අපිට මවක් වශයෙන් පැවරිලා තිබෙන වැඩ මගහරින්න බැහැනේ
රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනා ආදරය කරන ඇය පිළිබඳව කතා කිරීමට බොහෝ කරුණු කාරණා ඇත. ඇය නමින් නිලන්ති ඩයස්ය. මේ දිනවල ටීවී දෙරණ ‘ස්ටාර් සිටි’ රියලිටි තරගය ඔස්සේ ඇයව රසිකයන්ට මුණගැසෙනු ඇත. ඇයගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ තරු කතාබහට මෙලෙස එක්විය.
මේ දවස්වල වැඩකටයුතු ගැන කියමුකෝ?
මේ දවස්වල ස්ටාර් සිටි සීසන් 04 තරගයත් එක්ක තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒකෙ මමයි සුරේනියි ඉන්නේ. එයා මගේ නෑදෑයෙක්. ඒක Singing and Dancing කම්පිටිෂන් එකක්නේ. ඒක නිසා රියසල්ස් කරනවා. තව ප්‍රසංග වලට සහභාගී වෙනවා. ඔය අතරේ බබාගේ වැඩත් කරනවා. ඒවත් එක්ක තමයි ඉතින් ජීවිතේ ගෙවෙන්නේ.
රියලිටි වැඩසටහන්වලින් ලැබෙන අත්දැකීම් ගැන විස්තර කළොත්?
මම දැනට රියලිටි වැඩසටහන් 03-04කට විතර සහභාගී වෙලා තියෙනවා. මම හරි ආසාවෙන් තමයි රියලිටි වැඩසටහන්වලට දායක වෙන්නේ. අපිත් ඒ දේවල්වලින් ඉගෙන ගන්නවා. අපිට විවිධ තේමාවන් ලැබෙන්නේ. ඒ වලින් අපිටත් යම්කිසි දැනුමක් ලැබෙනවා. මම ඒ හැම එකකම වගේ අවසන් වටයට ඇවිත් තියෙනවා. ජයග්‍රහණය කරලත් තියෙනවා. ඇත්තටම මේවා හරිම විනෝදජනකයි. ඩාන්සින් කියන දේට මම හරි කැමතියි. ඉතිං ඒ දේවල් එක්ක මං වැඩකරන්න ඉතාමත් ප්‍රිය කරනවා.
බබාගේ වැඩත් එක්ක කොහොමද මේ දේවල්වලට කාලය කැප කරන්නේ?
ඇත්තටම ඒ දෙයට නම් ලොකු වෙහෙසක් දරනවා. මොකද මම පුහුණුවීම් වලට එයාවත් අරගෙන තමයි යන්නේ. එයාගේ වැඩකටයුතුත් ගොඩක් වෙලාවට මමමයි කරන්නේ. අපිට මවක් වශයෙන් පැවරිලා තිබෙන වැඩ මගහරින්න බැහැනේ. ඒ දේවල් එක්ක මම මගේ වැඩත් බැලන්ස් එකේ කරගෙන යනවා. මම පහුගිය දවස්වල ටෙලි නාට්‍යයක්වත් බාරගෙන කළේ නැත්තේ බබා පුංචි නිසයි. හැබැයි දැන් එයාට අවුරුදු 04ක් නිසා නිර්මාණ වලට දායක වෙන්න හිතාගෙන ඉන්නවා. හොඳ දෙයක් ආවොත් බාරගෙන කරන්න පුළුවන්කමක් තියෙනවා.
ඉදිරියේදී සිනමාව සහ ටෙලි නාට්‍යවල වැඩකටයුතු ගැන කියමු?
මම දැනට නම් නිර්මාණ බාරගෙන නැහැ. නමුත් ඉදිරියේදී හොඳ නිර්මාණයක් ආවොත් කරනවා. මේ දවස්වල ඉවෙන්ට් කරන නිසා වෙන දෙයක් කරන්නත් අමාරුයි.
රංගනයටද වැඩිපුර කැමැත්තක් දක්වන්නේ, නර්තනයටද?
නර්තනයට. මොකද මම ආස කරන විෂය තමයි නර්තනය. මගේ රසිකයෙක් වුණත් හමුවුණාම කතා කරන්නේ මගේ නර්තනය ගැන. ඒ නිසා නර්තනය කියන දේට මම ගොඩක් ආදරේ කරනවා.
නර්තන ශිල්පිනියක් විදියට ඔබ නර්තනය උගන්වන්න කැමති නැද්ද?
ගොඩක් අය කියනවා මට නර්තන පංතියක් පටන් ගන්න කියලා. එයාලගේ ළමයින්ව එවන්න අහනවා. ඉතිං ඒ දෙයට නම් ගොඩක් අය මට යෝජනවා කරනවා. කොහොම හරි මම පංතියක් පටන්ගත්තොත් ඒක වගකීමෙන් කරන්න ඕනේ. මම වැඩක් බාර ගත්තොත් ඒක වගකීමෙන් කරනවා. ඒත් මගේ මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒක නිසා තමයි මම වැඩිය ඒ පැත්ත ගැන හිතන්නේ නැත්තේ.
රියලිටි වැඩසටහන් වල තරගකාරීත්වය කොහොමද?
ඇත්තටම එතන ඉන්න අය හැමෝම දක්ෂයි. එයාලා එක්ක තමයි අපි තරග කරන්න ඕනේ. දවසින් දවස කට්ටිය තරගයෙන් ඉවත් වෙනවා. එතකොට හිතට බයක් දැනෙනවා. ඒක නිසා වැඩියෙනුත් පුරුදු පුහුණුවීම් කරනවා. දිනන්න තමයි හැමදාම උත්සාහ කරන්නේ. මේ තරගය නිසා අභියෝග වලට මුහුණ දෙන්න අපිට ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒකත් එක අත්දැකීමක් තමයි.
තරගයට ගියාම යම්කිසි චකිතයක් ඇතිවෙන්නේ නැද්ද?
ඇත්තටම පොඩි චකිතයක් තියෙනවා. කොච්චර දක්ෂ වුණත්, කොච්චර ප්‍රවීණයෙක් වුණත් ඒ අපි හැමෝටම පොඩි වෙලාවකට හරි චකිතයක් ඇතිවෙනවා. අපි හැමෝම උත්සාහ කරන්නේ ජයග්‍රහණය කරන්න. ඒත් එක්කම අත්දැකීමක් ලබාගන්න, අපේ හැකියාවන් පෙන්වන්න, දෙයක් ඉගෙන ගන්න. ඒ දේවල් නිසා තමයි රියලිටි තරගයකට එක්වෙන්නේ.
ජීවිතේ ලොකුම බලාපොරොත්තුව ගැන කිව්වොත්?
සතුටින් ඉන්න එක තමයි ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව. දරුවව හොඳ පුරවැසියෙක් කරලා හැමදාම සතුටින් ඉන්න තමයි කැමති. විශේෂ බලාපොරොත්තු නැහැ.
රංගනයෙන් ඈත් වෙනවාද?
අපෝ නැහැ. එහෙම බලාපොරොත්තුවක් නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණු ගමන් බාර ගන්නවා.
අවසාන වශයෙන් ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොකද්ද කියන්න තියෙන්නේ?
රසිකයන් නිසා තමයි අපි අද මේ තැන ඉන්නේ. හැමදාම මාත් එක්ක ඉන්න. මගේ නිර්මාණ බලලා මාව ධෛර්යවත් කරන්න කියලා මගේ ආදරණීය රසිකයන්ට කියනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද