අපි හැමෝටම ලස්සන කතාවක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201101Hot (1)මේ දිනිති උපේක්ෂා රණවීර ගැන මීට වසර කීපයකට පෙරදි, බොහෝදෙනා කතා කළේ, සා/පෙළ විභාගයෙන් දිවයිනේ 3 වෙනියා වූ නිසයි. ඒ විදියට ඉගෙනීමට හපනියක වූ ඇය ගැන අද බොහෝදෙනා දන්නෙ සිංදු කියන ලස්සන දොස්තර නෝනා කියලයි. අප්‍රේල් මාසයේ දී මේ රටේ කොරෝනා නිසා ජනතාව නිවෙස්වලට සිරගත වූ මොහොතක මේ වෛද්‍ය දිනිති සමාජ සත්කාර්යයක් ලෙස ‘එක්ව නැගිටිමු’ ගීතය මුදාහැරියා.
ඒ ගීතය රචනා කළේ ඇගේ පියා වන සුජීව රණවීරය. චාමර හපන්ගම සංගීතවත් කළ එම ගීතය නිසා දිනිති ගැන බොහෝදෙනා කතා කරන්නට පටන්ගත් බව කියන්න පුළුවනි. අද අපේ කතාබහ සඳැල්ල කවරය හැඩ කරන, මේ ලස්සන දොස්තර නෝනා එක්කයි.

 

• කවුද මේ දිනිති?

මගේ ගම ගාල්ල. පවුලේ එකම දරුවා. ඉගෙන ගත්තෙ සවුත්ලන්ඩ්ස් බාලිකාවෙ. උපන්නෙත් ගාල්ලෙ.

 

• ගාල්ලෙ නිසා වැඩත් හොඳට පුළුවන්?

ඒක තීරණය කරන්නෙ මගෙ ගීත අහන් ඉන්න අයනෙ.

 

• දිනිති කියල ද දන්නෙ? උපේක්ෂා කියල ද?

දිනිති කියලා.

 

• අම්මා තාත්තා මොනවද කරන්නෙ?

දෙන්නම ගුරුවරු, අම්මා ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ. තාත්තා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ. ඒ දෙන්නා සංගීතයට බොහෝම ආසයි. තාත්තා සිංදු ලියනවා. පත්තරේට කවි නිසඳැස් ලියනවා. තාත්තා මට ගීත දෙකක් ලියලා තියෙනවා. එයින් එකක් තමයි එක්ව නැගිටිමු, අනික් එක හන්තාන කුමාරිය.

 

• දිනිති ඉගෙන ගත්තෙ මොන අරමුණින්ද?

මුල ඉඳලාම වෛද්‍ය වෘත්තියට ඒම තමයි අරමුණ වුණේ. ඒ එක්කම සංගීතයත් දිගටම කරගෙන යන්න සහ ඉගෙන ගන්නත් යොමුවුණා. පාසලෙන් ඒ අංශ කරන්න මට බොහෝ උදවු වුණා. පාසල් කාලයේ දී තව බාහිර වැඩ ගොඩක් කළා. චෙස්, නිවේදන, රංගනය, නර්තනයත් කළා. පාසලේ පැවැත් වූ ප්‍රසංගවලදී ඒවාට සම්බන්ධ වුණා. හැබැයි උසස් පෙළින් පසුව, සංගීතය විතරයි බාහිර විෂයයකට කළේ. සංගීතයට තමයි වැඩිපුර ආදරය කළේ. වෛද්‍ය වෘත්තිය කරද්දි ගොඩක් දේ කරන්න අමාරුයි.

 

• වෛද්‍ය ජීවිතය ගැන කතා කළොත්?

කොළඹ වෛද්‍ය පීඨයේ වසර හයකට ආසන්න කාලයක් හිටියා. දැන් සීමාවාසික වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා.

 

• මොන අංශයට ලැදිව ද?

සීමාවාසික වෛද්‍යවරියක ලෙස වසරක් කටයුතු කළ යුතුයි. ඉන්පසුව විශේෂඥ පුහුණුවට යොමුවීම අපේක්ෂාවයි. එහිදී ප්‍රසව හා නාරි අංශයේ විශේෂඥ වෛද්‍යවරියක වීම තමයි අරමුණ.

 

• එක්ව නැගිටිමු හැර වෙන කළ ගීත මොනව ද?

පළවැනියටම කළේ ලිහිණියක සේ ගීතය. එය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතය හා තනුවට පද රචනා කළේ නිලාර් එන් කාසිම් මහතා. ළඟදීම කළේ සඳවත ගීතයයි. එය රචනා කළේ මගේ සර් කෙනෙක් වන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය තිලෝචන නාගොල්ල මහතා. සංගීතවත් කළේ කවිඳු කෝකිල.

 

• කොහොමද සඳවතට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම සතුටුයි. යූ ටියුබ් එක අහන පිරිස වගේම පුද්ගලිකව කතා කරලා බොහෝදෙනා මට ප්‍රතිචාර ලබාදුන්නා.

 

• ඊට අමතරව වැඩසටහන්වල දී ගී ගයන්න එකතු වෙනවා නේද?

රූපවාහිනී වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. ගුවන්විදුලියේ ඒ  ශ්‍රේණියේ ගායිකාවක්. සිහිනයකි රෑ වැඩසටහන නිසා හොඳ ප්‍රතිචාර ලැබුණෙ. එදා ගී තේරුවේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා. යුග ගී ගායනයට දයාන් විතාරණ ප්‍රවීනයා එක්වීම මා ලැබූ විශාල ගෞරවයක්. ඒ වගේම භාග්‍යයක්. මහේෂ් නිශ්ශංක මහතා තමයි එම වැඩසටහන මෙහෙයවමින් මාව හඳුන්වා දුන්නෙ. මෑතක දී විශාරද මනෝජ් පීරිස් මහතාගේ සංගීතය යටතේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනටත් දායක වුණා. ඉඩ ලැබෙන විදියට ඒ විදියට සංගීත වැඩසටහන් වලට දායක වෙනවා.

 

• එම වැඩසටහන් වල දී කාගේ ගීත ද ගයන්නෙ?

මම වඩා කැමති චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ ගීත වගේම උරේෂා, නිරෝෂා, ශෂිකා ප්‍රවීණ ශිල්පිනියන්ගේ ගීත ගයන්න ආසයි. මගේ හඬට​ ඒ ශිල්පිනියන්ගෙ ගීත ගැලපෙනවා කියලා හිතනවා.

 

• කොහොමද පුද්ගලික ජීවිතේ විස්තර?

විවාහකයි. සැමියගෙ නම නිපුණ. එකම වයසේ. මගේම බැච් එකේ හිටියෙ. එයත් වෛද්‍යවරයෙක්. නිතරම මගේ කටයුතුවලට දායක වෙමින්, මට ලොකු ශක්තියක් ලබාදෙනවා. මගේ එක්ව නැගිටිමු වීඩියෝ එක අධ්‍යක්ෂණය කළෙත් එයා. ඒ තරමටම මටත් වඩා මගේ සංගීත ගමනට උදවු වෙනවා. මගේ සැමියා නිසා, සංගීත සහ වෛද්‍ය කටයුතු සමබරව කරගෙන යන්න පහසුවක් වෙලා. එයා රඟපෑමට සහ චිත්‍ර අඳින්නත් දක්ෂයි. ඒ වගේ සැමියකු ලැබීම ලොකු වාසනාවක්.

 

• දිනිතිට වෙන තියෙන දක්ෂතා මොනවද?

ඉවුම් පිහුම් හොඳට පුළුවනි.

 

• ආදරය දැනෙන්නෙ කොහොමද?

ලෝකයේ තියෙන සුන්දරම දේ. අප නිතරම අනික් කෙනාට දිය යුතු  දෙයක්. අපි බලාපොරොත්තු නොවි, ලබාදිය යුතු උතුම් දෙයක්. මම ඒ ආදරය මගේ පවුලෙන් සැමියාගෙන් වගේම, මා වටා සිටින අයගෙන් ලබනවා. ආදරය නිසා තමයි අපට නොවැටී ඉන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම ආදරය අවශ්‍යයි.

 

• දිනිති කැමති ආදරණීයම ගීතය?

‘මේ පාළු සීත රාත්‍රියෙ කියා දෙන්න රහසින්’ චන්ද්‍රලේඛා මහත්මිය ගයන ඒ ගීතය අහන්න වගේම ගයන්නත් මම හරි ආසයි.

 

• සැමියා වැඩිපුර ඔබට ගයන්න කියන්නෙ?

එයා මගෙන් වැඩිපුරම ඉල්ලන්නෙ, ශෂිකා නිසංසලා මහත්මියගෙ මල්සර හී සරින් ගීතයයි. අපි යාළුවෙලා හිටපු කාලයේදී මා ලව්වා එය රෙකෝඩ් කරලා ගෙන්නා ගෙන එයා ඇහුවා.

 

• සිංදු කියන මේ ලස්සන දොස්තර නෝනාට ජීවිතය දැනෙන්නෙ කොහොම ද?

ජීවිතය එක පාරටම විග්‍රහ කරන්න අමාරුයි. හැබැයි ජීවිතය කියන්නෙ සුන්දර දෙයක්. බාධක අභියෝග එනවා. ඒ සියල්ල අපි ධනාත්මකව හිතලා අපි අපේ ජීවිත ගොඩනගාගත යුතුයි. අපි හැමෝටම ලස්සන කතාවක් තියෙනවා. ධනාත්මකව හිතලා සතුටින් ජීවත්වීම තමයි හොඳම දේ.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

 20201101Hot (3) 20201101Hot-(4)