අපි ලංකාව දාලා යන්නෙ නෑ
නෙහාරා... අපිට මුලින්ම කියන්නකෝ... නත්තලට ඔයාලගේ සූදානම කොහොමද...?
ඔව්... තව දවස් කිහිපයකින් නත්තල ලබනවා. ඉතින්... නත්තල කියනා දේ අපිට විශේෂයි. මමයි මේනකයි දෙන්නම කතෝලික ආගමේ. ඉතින් සුපුරැදු විදිහට අපි දෙන්නා නත්තල් ගහ හැදුවා. ක්‍රිස්මස් කේක් හැදුවා. ගේ නත්තලට සැරසුවා. අපි දෙන්නා අපේ පවුලේ අයට තෑගි බෝග අරගත්තා. නත්තල දවසේ දේව මෙහෙයට අපි දෙන්නම සහභාගී වෙනවා. දෙසැම්බර් විසිහතර වැනිදා රූ දොළහට තමයි අපි පල්ලි යන්නේ.
නෙහාරා ඔයාගේ ළමා කාලයේ නත්තල හරි අපූරැයිනේ... ඒ නත්තල් කාලය මතකයිද...?
ඔව්... ඒ නත්තල් කාලය හරි අපූරැයි තමයි. ඒ නත්තල් කාලයේදී අපේ ලොකුම ආසාව නත්තල් සීයා එනඑක තමයි. අපි මාසයකට කලින් ඉඳන් නත්තල් සීයාට දිග ලියුමක් යවනවා. ඒ ලියුමේ තමයි අපි ඒ නත්තලට ආස දේ ඉල්ලලා ලියලා යවන්නේ. හැබැයි ඉතින් අපි නත්තල් සීයාගෙන් ඉල්ලන තෑගි අපිට ලැබිලත් තියෙනවා. ඒ නත්තල් සීයා කවුද කියලා ඇත්ත දැනගන්නකන් අපි හිතාගෙන හිටියේ ඇත්ත නත්තල් සීයා කෙනෙක් ඉන්නවා කියලයි. පුංචි කාලේදී නොදැන සිටියත් පහු පහු වෙද්දී අම්මයි තාත්තයි තමයි මෙහෙම නත්තල් සීයා වගේ තෑගි හංඟලා තියෙන්නේ කියලා අපි දැනගත්තේ.
මේනකටත් ඒවගේ නත්තල් සීයා ගැන හරි අපූරැ සුන්දර අතීතයක් තියෙන්න ඇති...?
(ඔන්න එහෙම නම් දැන් බලන්නකෝ මේනකගේත් නත්තල් සීයා ගැන තියෙන අතීත මතකයන් මොනවද කියලා...)
ඔව්... තියෙනවා... මට වයස අවුරැදු දහයේදී විතර තමයි නත්තල් සීයා කියන්නේ අපේ මව්පියන්ටම තමයි කියලා දැනගත්තේ. පොඩි කාලේ ඉඳන් මම හරියට එක එක දේවල් ගැන හෙව්වා. ඉතින් නත්තල් සීයා ගැනත් මට පොඩි සැකයක් ආවා. ඒ නිසා සමහර නත්තල් කාලයේදී මම රූ ඇහැරගෙන හොරෙන් බලාගෙන ඉඳලත් තියෙනවා. හැබැයි ඒ කවදාවත් මම නත්තල් සීයාව හැබෑවටම දැක්කේ නැහැ. නින්ද යන ටික වෙලාවට මගේ ඇඳ ළඟ නත්තල් සීයා තෑගි ගෙනත් තියලා තිබුණා. ඉතින් අවුරැදු දහයේදී විතර මම අල්මාරි ඇතුළේ අවුස්සලා බොහෝම අමාරැවෙන් අම්මලා හංගලා තියාගත්තු තෑගි බෝග දැකගන්න මට පුළුවන් වුණා ඉතින්... නත්තලට මගේ ජීවිතේ හම්බුවුණු හොඳම තෑග්ගක් මට නත්තල් සීයා ගෙනත් දුන්නා... ඉස්සර මම මාළුන්ට හරිම ආසයි... ඉතින් දවසක් නත්තලට මාළු ටැංකියක් එක්ක ලස්සන මාළු ටිකක් මට නත්තල් සීයා ගෙනත් දුන්නා. උදේ නැගිටිද්දී ඒ මාළු ටැංකිය මගේ ඇඳ ළඟ තිබුණා. එදා මට හරි සතුටුයි. හැබැයි පසුකාලේදී තමයි මම දැනගත්තේ ඒ මාළු ටැංකියත් මට ගෙනත් දුන්නේ මගේ මව්පියෝ කියලා.
මේනක... ඉස්සර යාළුවන් එක්ක එකතුවෙලා නත්තල් සමරපු හැටිත් අමතක නැහැනේ...?
පොඩ්ඩකවත් අමතක නැහැ. මම පුංචි කාලේ කතෝලික වටපිටාවක තමයි හැදුනේ. හැබැයි මට බෞද්ධ යාළුවෙක් හිටියා. මගේ තාත්තාගේ යාළුවෙක්ගේ පුත්තු තමයි ඉස්සර මගේ වැඩිපුරම යාළුවෝ වුණේ. ඉතින් දෙසැම්බර් විසිපහේ ඉඳන් ජනවාරි පළවෙනි සුමාන වෙනකම් අපි එක එක පාටි දැම්මා. සුමාන දෙක තුනක් විතර යනකම්ම ඒ කාලේදී අපි නත්තල් සැමරැවා. අපිට ඒ කාලේදීවත් බෞද්ධ කතෝලික කියලා භේදයක් තිබුණේ නැහැ. බෞද්ධ යාළුවෝ. අපිට නත්තල් ගහ හඳන්න උදව් කළා. අපිත් එක්ක ඇඳුම් ගන්න පවා ආවා. සමහර බෞද්ධ යාළුවෝ අපිත් එක්ක ඒ කාලේ නත්තලට දේවමෙහෙයට පවා පල්ලි යන්න ආවා. අම්මා හදලා දෙන නත්තල් කෑම පිගාන අරගෙන අපි බෞද්ධ යාළුවන්ගේ ගෙවල්වල ගියා. ඒ කාලේ හරි සුන්දරයි. නත්තල විතරක් නෙවේ සිංහල අලුත් අවුරැද්ද පවා අපේ ඒ විදිහටම සමරනවා. අපිට භේද තිබුණේ නැහැ. අපි හැමෝම හැම ආගමටම එදත් ගරැ කළා. අදටත් ඒ වගේම තමයි.
මේනක... නෙහාරා මුණගැහුණට පස්සේ නෙහාරා නත්තලට මුලින්ම දීපූ තෑග්ග මතකද...?
ඔව්... හොඳට මතකයි... නෙහාරයි මායි යාළු වුණාට පස්සේ අපි විවාහ වෙන්න කලින් නෙහාරා මට නත්තලට හරි ලස්සන බ්‍රේස්ලට් එකක් දුන්නා. මම කොහොමටත් බ්‍රේස්ලට්වලට හරි කැමතියි. ඒක නෙහාරා දන්නවා. ඉතින් නෙහාරා මට නත්තලට බ්‍රේස්ලට් එකක් තෑගි කළා. ඒක තාමත් මගේ අතේ තියනවා. ඒ බ්රේස්ලට්එකට මම තාමත් හරි ආසයි.
එතකොට නෙහාරාට මේනක දුන්නු මුල්ම නත්තල් තෑග්ග මතකද...?
ඔන්න ඒ ප්රශ්නය නෙහාරාගෙන් ඇහුවමනම් නෙහාරා හරි අපූරැවට හිනාවෙලා ටික වේලාවක් කල්පනා කළා. මේනකත් සද්ද නැතිව නෙහාරා දිහා බලාගෙන හිටියා. නෙහාරා කල්පනා කරන විදිහට නම් තෑග්ග අමතක බව තමයි තේරෙන්නේ... මේනක මට තෑගි දෙන්න විශේෂ දවසක් ඕන වෙන්නේ නැහැ... එයාට හිතුණු දවසකට එයා මට තෑගි අරගෙන දෙනවා. ඉතින් එයා දීපු තෑගිවලට දිනයක් විශේෂයක් කියන්න හරි අමාරැයි. එයා මට තෑගි ගොඩාක් දීලා තියෙනවා. මගේ උපන්දිනය දෙසැම්බර් විසි එක් වෙනිදා... ඉතින් එයා ඒ දවසට මට ලස්සන මුද්දක් තෑගි කළා. ඒ මුද්දට තාමත් මමත් හරි කැමැතියි. එයා හරි ආසයි මට රත්තරන් තෑගි කරන්න. ඉතින් ඒ මුද්ද හරිම ලස්සනයි.
ඔය දෙන්නා එකතුවෙලා මුලින්ම නත්තල සැමරැවේ කොයි කාලේදීද...?
අපි 2012 අවුරැද්දේ තමයි මුලින්ම දෙන්නා එකතුවෙලා නත්තල සැමරැවේ. ඒ ඉතින් 2012 අවුරැද්දේ අපි දෙන්නා එකට නත්තල් දවසේ ගිහින් දේව මෙහෙයට සහභාගී වුණා. අපි දෙන්නා 2014 විවාහ වුණාට පස්සේ අපි දෙන්නා එකතුවෙලා සමරපු මුල්ම නත්තලත් හරිම අපූරැයි. අපි දෙන්නා ඒ වෙනකොට වෙනමම ගෙයක පදිංචි වෙලයි හිටියේ. අපි දෙන්නා එකතුවෙලා ඒ ගේ ලස්සනට සැරසුවා. ලස්සන නත්තල් ගහක් හැදුවා. අම්මලා තාත්තලාට තෑගි ගන්න ඒ නත්තලත් අපිට හරි විශේෂයි. ඒ නත්තල් කාලයක් හරි ලස්සනයි.
දෙන්නාගේම නෑදෑයින්ට හිතමිතුරන්ටත් එන්න කියලා නත්තල සැමරුවා කියලයි ආරංචිය...?
ඔව්... ඔව්... ඔන්න ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ මේනකයි... ඒ නත්තල් අවුරැද්ද අපි දවස් කිහිපයක්ම සැමරැවා. එක දවසක් මගේ යාළුවන්ට. තව දවසක් අපේ නෑදෑයින්ට... අපි ආරාධනා කළා... කොහොමටත් අපි දෙන්නා එකතුවෙලාගත්තු මුල්ම නත්තල නිසා සති අග කිහිපයකම උත්සව ගත්තා. මට මතක හැටියට ඒ නත්තල සැමරීම අපි අවසන් කළේ ඊළඟ අවුරැද්දේ ජනවාරි දහඅට වෙනිදායි. හැම සති අන්තයකම අපේ ගෙදර නත්තල් උත්සවයක් තිබුණා. මගේ අම්මා මැලේ ජාතික කාන්තාවක්. ඉතින් අම්මාගේ නෑදෑයින්ටත් අපි නත්තල සමරන්න අපේ ගෙදරට ආරාධනා කළා. අපි හැම ආගමකම උත්සව සමරන දෙන්නෙක්.
පසුගිය කාලය පුරාවටම නෙහාරාත් මේනකත් ගතකළේ අමෙරිකාවේ. ඒ රටේදී සමරපු මුල්ම නත්තල නෙහාරාට මතකද...?
ඔව්... අමෙරිකාව ක්‍රිස්තියානි ජාතිකයින් ජීවත් වන රටක්. ඒ රට නත්තල් කාලයට ගොඩාක් ලස්සනයි. ඒ කාලේට හිම වැටෙනවා. හැම වීදියක්ම නත්තල හරි ලස්සනට ඒ රටේ මිනිස්සු සමරනවා. සෑම කඩයක්ම හරිම ආලෝකමත්... නත්තල් ගීත හැම තැනම ඇහෙනවා. ඉතින් ඒ වීදි දිගේ ඇවිදගෙන යන්න හරි ආසයි. ඒ කාලේ අමෙරිකාව පුදුමාකාර ලස්සනයි. මම නම් ඒක හරියට වින්දා. හැබැයි අපි දෙන්නා අමෙරිකාවට ගිහින් සමරපු මුල්ම නත්තල සමරන්න සිද්ධ වුණේ මට තනියමයි. ඒ නිවාඩුවට මේනක බාරගත්තු නිර්මාණ දෙකක් අවසාන් කරන්න ලංකාවට එන්න සිද්ධ වුණා. ඒ පාර මම ලංකාවට ආවේ නැහැ. ඉතින් මේනක නැති පාළුව ඒ නත්තල් දවසේ මට තදින්නම දැනුණා. ඒ නත්තල දවසේ මේනකට කෝල් කරලා මම ඇඬුවා. මම පල්ලි ගියේ මගේ ඥාතීන් එක්කයි. ඒ නිසා ඒ නත්තල් අසිරිය විදින්නට ඒ පාළුව එදා මට තදින්ම දැනුණා.
මේ රටේදී අපි ජැකට් ඇඳගෙන පල්ලි යන්නේ නැහැනේ. මේ රටේදී නත්තලට පාස්කු දවසට මිනිස්සු හරි ලස්සනට ඇඳපැළඳගෙන යනවනේ. හැබැයි අමෙරිකාවේ නත්තල් දවස කියන්නේත් සාමාන්‍ය ඉරිදා පූජාවක් වගේ දවසක්. හරිම සිම්පල් දවසක්. මේක්අප් නැතිව විච්චූරණ දේවල් ඇඳපැළඳගෙන යන්නේ නැතිව බොහෝම සාමාන්‍ය විදිහට ඒ අය පල්ලියට යනවා. සීතල කාලය නිසා ඒ අය ජැකට් පැළඳගෙන තමයි පල්ලි යන්නේ. ලංකාවේ නම් නත්තල් දවසේ හැමෝම බලන්නේ හරි ලස්සනට ඇඳපැළඳගෙන විලාසිතා කරගෙන පල්ලි යන්නයි. හැබැයි ඒ රටේ එහෙම නැහැ.
නෙහාරා... තව දවස් කිහිපයකින් නත්තල උදාවෙනවා... ඔය දෙන්නාගේ නත්තල් සුභ පැතුම මොකක්ද...?
හැමෝටම ආදරේ කරන්න... නත්තල් කාලේදී විතරක් නෙමේ. ජීවිතේ හැමෝටම ආදරේ කරන්න. මමයි මේනකයි කියන දෙයක් තමයි අපි දෙන්නට හැමදාම නත්තල්. හොඳ සිතුවිලි අපි ගාව හැමවෙලේම තියෙන්න ඕනේ. අද බොහෝ දෙනාගේ හිත් හරි කුරිරැයි. තව කෙනෙක්ව පහතට දාලා කතා කරන අය වැඩියි. හැබැයි අමතක කරන්න එපා... අපි හැමදාටම ජීවත්වෙන්න මේ ලෝකේට ඇවිත් නැහැ. ඒ නිසා කාත් එක්කවත් තරග කරන්න අවශ්‍ය නැහැ. මම හරිම ආස කලාකරැවෙක් තමයි මයිකල් ජැක්සන් කියන්නේ. ඔහුට ජීවිතේ බොහෝ දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඔහු ඔහුගේ නිර්මාණවලින් කිව්වෙම ආදරය කරන්න කියලයි. ඒ නිසා කාගේවත් කුණඇඳ ඇඳ හොයනවාට වඩා මේ ලෝකේ ආදරය කරන්න. ආදරය බෙදාදෙන්න. එතකොට අපිට ආදරය පෙරලා ලැබෙනවා.
නෙහාරාත්, මේනකත් ආයෙමත් අමෙරිකාවට යයිද...?
නැහැ... අපි දෙන්නා ආයේ අමෙරිකාවට යන්නේ නැහැ. මමත් මේනකත් මේ දවස්වල රවින්ද්‍ර විජේරත්න මහත්තයාගේ අලුත්ම නිර්මාණයකට දායක වෙලා ඉන්නවා. තව ටෙලිනාට්‍ය දෙකකට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දෙකම මම බාර අරගෙනයි තියෙන්නේ. ඒ ටෙලිනාට්‍ය රූගත කිරීම් ළඟදීම පටන්ගනීවී. නව රියලැටි වැඩසටහනකට නිවේදන කටයුතුවලට හෝ විනිශ්චය මණ්ඩලයට ඉන්න කියලා ආරාධනා ලැබිලා තියනවා. තව අලුත් දෙයක් මම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි ඒ ගැන විස්තර තව ටික දවසකින් කියමු. (ඔන්න නෙහාරාගේ අලුත් නිර්මාණ ගැන අලුත් අවුරැද්දේම දැනගන්නටත් පුළුවන් වේවි.)
මේනකත් මේ දවස්වල කාර්යබහුලයි...?
ඔව්... මම මේ දවස්වල නාට්‍ය පහකට පමණ දායක වෙනවා. ඒ ටෙලිනාට්‍ය අනුරාධපුර, දඹුල්ල, කොළඹ වගේ පැතිවලට රූගත කිරීම් කරනවා. ඒ නිසා ඒ නිර්මාණ 2019 වසරේදී දැකගන්නට පුළුවන් වේවී.
ගෙවන 2018 වසර ඔය දෙන්නාට මොන වගේ වසරක්ද...?
ඔන්න ඒ ප්‍රශ්නයට උත්තරය දුන්නේ මේනක.... මම වසරකම ඉලක්ක තියාගන්න කෙනෙක් නෙමේ. හැබැයි මගේ ජීවිතේදී මගේ වයසත් එක්ක මම යම් යම් ඉලක්ක තියාගෙන තියනවා. මම ඒ නිසා ඒ ඉල්ලක්කත් එක්ක බලද්දී නෙහාරායි මායි ඒ ඉලක්ක සපුරාගෙන තියෙනවා. මේ වසරේදී මගේ ඉගෙනීමේ කටයුතු මට අවසන් කරන්න පුළුවන් වෙලා තියනවා. අපි දෙන්නා ලංකාවට ආයෙත් ආවේ අගෝස්තු මාසේ. ඒ ආපු ගමන්ම අපි දෙන්නාටම බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඉතින් ගෙවන 2018 වසර ගැන අපි දෙන්නටම සතුටු වෙන්න පුළුවන් වසරක් වෙනවා.