අපි අවුරුදු හැත්තෑඑකක් සිනමාව සැමරුවා කියලා පම්පෝරි ගහලා වැඩක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-02-ent-275

සම්මානලාභී නිළියක වන නිරංජනී ෂංමුගරාජා වේදිකාව හා සිනමාව යන ක්‍ෂේත්‍ර තුළ මෙන්ම නිවේදිකාවක ලෙසද දැකගත හැකිය. ඇය රංගනයෙන් දායක වන ‘කෝමාලි කිංග්ස්’ චිත්‍රපටය මේ දිනවල තිරගත වන අතර, ඇය දායක වූ නිර්මාණ කිහිපයක්ද ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. ඒ පිළිබඳ හා ඉදිරි කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස ‘සාරවිට’ට සම්බන්ධ කර ගතිමු.

 

‘කෝමාලි කිංග්ස්’ චිත්‍රපටය ගැන මුලින්ම කතා කරමු?2018-03-02-ent-278

‘කෝමාලි කිංග්ස්’ කියන්නේ විකට රජවරු කියන එකයි. 1976 කාලේ ‘කෝමාලිගල්’ කියලා චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. ඒ චිත්‍රපටය අතිසාර්ථක වාණිජමය චිත්‍රපටයක්. ‘කෝමාලිගල්’ චිත්‍රපටය දවස් 95ක් විතර තිරගත වුණා.

ඒ චිත්‍රපටයෙන් පස්සේ අපේ රටේ විවිධ ප්‍රශ්න නිසා සම්පූර්ණ දෙමළ සිනමා කර්මාන්තයක් හැදුණේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. දෙමළ චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිර්මාණය වුණා. ඒත් ඒවා ගොඩක්ම යුද පිටිය ගැන, නැත්නම් සිංහල චිත්‍රපටයක දෙමළ චරිතයක්, සිංහල අධ්‍යක්‍ෂවරයෙකුගේ දමිළ කතාවක්, සිංහල නිෂ්පාදකවරයෙකුගේ දමිළ චිත්‍රපටයක් වගේ දේවල් ආවා. ඒ චිත්‍රපට අපේ දමිළ සිනමා ප්‍රේක්‍ෂකයන් අතරට ගියේ නැහැ. මොකද අපේ දමිළ සිනමා ප්‍රේක්‍ෂකයන් පුරුදු වෙලා තිබුණේ දකුණු ඉන්දීය සිනමා ආකෘතියට.

ඉතින් ඒ ප්‍රමිතියට මෑත කාලයේදී දමිළ චිත්‍රපටයක් ලංකාවේ නිෂ්පාදනය වු‍ණේ නැහැ. මොකද යුද කතාවක් හරි සිංහල අධ්‍යක්‍ෂවරයෙක් දමිළ චරිතයක් දාලා චිත්‍රපටයක් කළොත් ඒක වැටෙන්නේ සිංහල චිත්‍රපටයක් හැටියට. දැන් මේ ‘කෝමාලි කිංග්ස්’ චිත්‍රපටය ගැන කිව්වොත් මේ චිත්‍රපටය දමිළ අධ්‍යක්‍ෂවරයෙක්, දමිළ නිෂ්පාදකවරු කිහිප දෙනෙක් සහ දමිළ කලාකරුවන් එකතු වෙලා ලංකාවේ දමිළ සිනමා කර්මාන්තය නගාසිටුවන්න කරපු වාණිජමය චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට රුපියල් කෝටි 03කට අධික මුදලක් වැය කර තියෙනවා. අවුරුදු හතළිහකට පස්සේ නිර්මාණය වූ සාර්ථකම වාණිජමය දමිළ චිත්‍රපටය තමයි ‘කෝමාලි කිංග්ස්’ කියන්නෙ.

 

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට ප්‍රවීණ දමිළ නළු නිළියන් වගේම ආධුනික නළු නිළියන්ටත් වැඩි තැනක් ලැබිලා තියෙනවා නේද?

මෙහෙමයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නැහැ. මේ චරිත ඔක්කෝම මේ කතාවට අවශ්‍ය චරිත. ඒ කියන්නේ එක චරිතයක් නැති වුණොත් දර්ශනයෙන් දර්ශනය ගැළපෙන්නේ නැහැ. මේ කතාවේ වීරයා සහ දුෂ්ටයා තමයි මේ චරිත සියල්ලම. නළුවෙක් කියන්නේ හරියට වතුර වගේ. මොන වර්ගයේ බෝතලයකට දැම්මත් ඒ බෝතලේ හැඩයට අනුව හැඩ ගැහෙන්න පුළුවන් වෙන්න ඕන. මම හිතන්නේ ගොඩක් අත්දැකීම් තියෙන කලාකරුවෝ වැඩ කරන්නෙ ඒ විදියට. මොකද එතකොට එයාට පුළුවන් නිර්මාණයට සාධාරණයක් කරන්න. මේ චිත්‍රපටයේ නවකයන් හිටියට එයාලගේ රංගනය දිහා බැලුවාම ඒක ආධුනික රංගනයක් කියලා කියන්න අමාරුයි. එයාලා ඒ තරමට දක්‍ෂයි.

 

අලුත් ආරම්භයක් විදියට පූර්ණ දෙමළ චිත්‍රපටයක් නිර්මාණය වුණා, ඉතින් මේ චිත්‍රපටය ලංකාවේ සිංහල ප්‍රේක්‍ෂකයන් මේ බාර ගනියිද?

ලංකාවේ සිනමා කර්මාන්තයේ ඉතිහාසය දිහා හැරිලා බැලුවාම ලංකාවේ සිනමාව පිහිටුවන්නේ දෙමළ කතා කරන අය. ඒකයි ඇත්ත කතාව. එයාලා දෙමළ සිනමාවේ ආභාසය අරගෙන තමයි චිත්‍රපට හැදුවේ. ඔහොම චිත්‍රපට හදලා එයාලා පන්නරයක් ලැබුවාට පස්සේ තමයි සිංහල, දෙමළ අය එකතු වෙලා ලංකාවේ සිනමා කර්මාන්තය නිර්මාණය කරන්නෙ. කවුරුත් තනියම සිනමා කර්මාන්තය ගොඩනැගුවේ නැහැ.

ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕන මේ පුංචි රටේ අපි දෙපාර්ශ්වයක් එකතු වෙලා මේ වගේ කලා ක්‍ෂේත්‍රයක් ගොඩනගපු එකට. හැබැයි අපේ රටේ සිදු වූ ඛේදවාචක නිසා මේ ඇත්ත ඉතිහාසය කාලයක් යද්දි මැකිලා ගියා. මම නම් මේක ප්‍රශ්නයක් කියලා හිතන්නෙ නැහැ. මොකද කලා නිර්මාණයක් රසවිඳින්න අපට භාෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එහෙනම් ලංකාවේ සිංහල ප්‍රේක්‍ෂකයෝ කවදාවත් හින්දි, තෙළිඟු, දමිළ, මලයාලම් චිත්‍රපට බලන්නේ නැහැ

 

සිනමා නිර්මාණයක් ප්‍රදර්ශනය කිරීමේ ගැටලුව ‘කෝමාලි කිංග්ස්’ චිත්‍රපටයත් බලපෑවා නේද?

මෙහෙමයි. ලංකාවේ සිංහලද, දමිළද කියලා නැහැ. ඕනෑම චිත්‍රපටයක් හදන්න ලේසියි. හැබැයි ප්‍රදර්ශනය කරගන්න අමාරුයි. ඒක හැම සිනමාකරුවෙක්ම මුහුණ දෙන ගැටලුවක්. අපි කලාකරුවන් කොච්චර එකතු වෙලා කතා කළත් වැඩක් නැහැ. මේකට වග කියන්න කොටසක් ඉන්නවා. ඒ අය මේ ගැන කතා කරන්න ඉස්සරහට එන්න ඕන. ඒකට හොඳ පිළියමක් හදන්න ඕන. මම උදාහරණයක් කියන්නම්. වැරදියට හිතන්න එපා මම ඉන්දියාව සන්සන්දනය කරනවා කියලා. ඉන්දියාවේ කලාව සම්බන්ධයෙන් තියෙන සංවිධානවල දැඩි නීති රෙගුලාසි තියෙනවා. ඉන්දියාවේ කලාව සම්බන්ධයෙන් තියෙන සංවිධාන ඒ සම්බන්ධයෙන් නීති දාලා තියෙනවා. චිත්‍රපටයක් කළත් ඒක ප්‍රදර්ශනය කරන්න කාලයක් දෙනවා.

ඒ වගේ දැඩි නීති තියෙනවා. මම හිතනවා ලංකාවේ අනිත් හැමදේටම නීති තියෙනවා වගේ සිනමා කර්මාන්තයටත් නීති සම්පාදනය කරන්න ඕන කියලා. ඒක අපට හදන්න බැහැ. ඒක කරන්න ඕන චිත්‍රපට සංස්ථාවයි. මොකද අපි චිත්‍රපටයක් ගැන කතා කරන්න යන්නේ එතැනට. ඉතින් එයාලා සිනමාවට නීති ගේන්න ඕන. එතකොට මේක තවත් ක්‍රමවත් වෙයි. අනිත් එක තමයි අපේ නළු, නිළියන්ට සුදුසුකම් තියෙනවාද කියලා බලන්න ඕන. අධ්‍යක්‍ෂවරුන්ට අවශ්‍ය සුදුසුකම් තියෙනවාද කියලා බලන්න ඕන. සුළු චරිතයක් කරන්න ආපු කෙනා ඊළඟ චිත්‍රපටයේදී අධ්‍යක්‍ෂවරයා වෙනවා. මම නම් කියන්න කැමැති නැහැ, ඒ වගේ දේවල් ලංකාවේ වෙලා තියෙනවා. අවුරුදු කුමාරිය වූ කෙනා ඊළඟ චිත්‍රපටයේදී ප්‍රධාන නිළිය වෙනවා. සල්ලි දීලා නිර්මාණයක් බලන කෙනෙකුට ඒ බලන දෙයට මොකක් හරි වටිනා දෙයක් දෙන්න ඒ අය දැනගන්න ඕන. ඒකට ඉගෙන ගෙන හරි, කියවලා හරි, පාඨමාලාවක් කරලා හරි එන්න ඕන. විශේෂයෙන් කලා ක්‍ෂේත්‍රයට. එතකොට සෞන්දර්ය කැම්පස් ගිහින් හරි ඉන්දියාවේ ඉගෙන ගෙන හරි ඇක්ටින්, නාට්‍ය ඉගෙන ගෙන එන අයට නිසි තැන ලැබෙන්නේ නැහැ. ඒක ලොකු අර්බුදයක්. මම කියන්නේ නැහැ එයාලා දක්‍ෂ නැහැ කියලා. එහෙම ඇවිත් ඉගෙන ගෙන දක්‍ෂතා පෙන්වපු අය ඕන තරම් ඉන්නවා. මම නම් කියන්නේ ක්‍ෂේත්‍රයට එද්දි පොඩි දැනුමක් හරි අරගෙන එන්න කියලා. දැන් ඉන්දියාවෙන් නළු, නිළියන් ගේනවා.

ළඟදි ඉඳලා පුරුදු වෙලා තියෙනවා ඉන්දියාවෙන් අධ්‍යක්‍ෂවරු ගේන්න. තාක්‍ෂණික ශිල්පියන් ගේනවා. මම අහන්නේ ඇයි එහෙම කරන්නේ. අපි හරි නම් දැනගන්න ඕන අපේ අයව ඒ රටවල්වලට ගෙන්නගන්න පුළුවන් විදියට වැඩ කරන්න. මෙයා හොඳ නළුවෙක්, මෙයා නියම අධ්‍යක්‍ෂවරයෙක් කියන තැනට පත්වෙන්න අපි දැනගන්න ඕන. ඉන්දියාවේ ඉන්න හොඳම අය ගෙන්නලා එයාලට අපේ සල්ලිත් දීලා, අපේ පබ්ලිසිටියත් දීලා, අපේ ජනතාවගේ ආදරයත් දීලා යවනවා. එහෙම වෙන්න බැහැ. අපි අධිෂ්ඨාන කරගන්න ඕන මම මගේ තැන හදාගෙන වෙන රටකින් මාව ගන්න පුළුවන් තැනකට එනවා කියලා. අපේ වටිනාකම අපි පෙන්නන්න ඕන මිසක් වෙන රටක කෙනෙක් ගෙනල්ලා එයාලා ඉස්සරහ අපේ අය පහතට වැටෙන විදිහට වැඩ කරන්න බැහැ. මම නම් ඒකට විරුද්ධයි. අපේ රටේ ජාත්‍යයන්තර ඇගයීමට ලක්වූ නළුනිළියන් ඉන්නවා, අධ්‍යක්‍ෂවරු ඉන්නවා, ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ නිර්මාණ තියෙනවා. ඉතින් ඇයි අපි තව රටක් දිහා බලාගෙන ඉන්නෙ. අපි අවුරුදු හැත්තෑඑකක් සිනමාව සැමරුවා කියලා පම්පෝරි ගහලා වැඩක් නැහැ. අපි අවුරුදු සියය සමරද්දි අපට අන්තර්ජාතිකව ආරාධනා ලැබෙන තැනට අපි පත්වෙන්න ඕන.

 

අපේ සාම්ප්‍රදායික ක්‍රමයක් වෙලා තියෙන්නෙ එක නිර්මාණයක් කළාම ඒ වර්ගයේ නිර්මාණ දෙක තුනක් කරන එක. මේ ක්‍රමය නිසා සිනමාව සාර්ථකත්වයට යන්න පුළුවන් කියලා හිතනවාද?

කොහෙත්ම නැහැ. මෑත කාලයේදී නිර්මාණය වූ චිත්‍රපටවලින් සියයට අසූවක් විතරම තියෙන්නේ ඉන්දියාවේ නිර්මාණ සිංහලෙන් කරලා තියෙන එක. එහෙම කරලා පපුව ඉස්සරහට දාලා අපට කියන්න බැහැ මේක තමයි ලාංකේය සිනමාව කියලා. අපි ලැජ්ජා වෙන්න ඕන. අපටම කියලා අනන්‍යතාවක් අපි ගොඩනගා ගන්න ඕන. මොන රටේ කරපු නිර්මාණයක් වුණත් අපේ අය ඒ චිත්‍රපටය බලලා ඉවර කරනවා. හින්දියෙන් හරි දෙමළෙන් හරි කරපු දෙයක් ආයෙත් සිංහලෙන් කරන එක නෙවෙයි අපේ වගකීම. අපේ දෙයක් කරන්න ඕන. අපි අලුත් දෙයක් දෙන්න ඕන. 70-80 දශකවල අපේ රටේ නිර්මාණ කිහිපයක් දකුණු ඉන්දියාවේ දෙමළ භාෂාවෙන් හදලා තියෙනවා. ඉතින් ඒ වගේ ඉතිහාසයක් තිබුණු අපි ඇයි අද මෙහෙම වෙලා තියෙන්නෙ. මේ 2018. දැන් ලෝකය දියුණු වෙලා ඉවරයි. ඉතින් ඇයි අපි තවමත් කොපි කරන්නේ. අපි ඇයි නිකන් කොපි කරන එකට සල්ලි දීලා බලන්නේ. ඊට වැඩිය හොඳයි නිකන් ඉන්න එක. දැන් මේක පුරුද්දකට ගියොත් ඉස්සරහට යන්න යන්න අපි බලාගෙන ඉන්නවා වෙන රටක එකක් එනකන් කොපි කරන්න. මොකද අපි ඒකට පුරුදු වෙලානේ තියෙන්නේ. හැබැයි අපේ ප්‍රේක්‍ෂකයෝ එහෙම මෝඩ නැහැ. අපේ අයව රවට්ටන්න බැහැ.

ඉස්සර අපේ 70-80 දශකවල සිනමා නිර්මාණ හෝල් එකට ආවාම හවුස් ෆුල් වෙනවා. විජය කුමාරතුංග, ගාමිණී ෆෝන්සේකා මහත්මයන්ගේ චිත්‍රපට ආවාම හවුස් ෆුල්. දැන් ළඟදි ආපු ෆිල්ම් කීයෙන් කීයකටද පළවෙනි දවසේ හවුස් ෆුල් වෙන්න ලැබෙන්නේ. නැහැ එහෙම හවුස් ෆුල් වෙච්ච චිත්‍රපට නැහැ දැන්. ‘පද්මාවතී’ චිත්‍රපටය බලන්න පළමුවැනි දවසේ යන්න තියෙන උද්යෝගය අපේ රටේ චිත්‍රපටයක් බලන්න යන්න නැත්තේ ඇයි. ඒක කාගෙද වැරැද්දද? අපේ මිනිස්සුන්ට නිර්මාණයක් රසවිඳින්න බැරි මොළයක් නැති මිනිස්සු නෙවෙයි. මේ වැරැද්ද කරලා තියෙන්නේ ක්‍ෂේත්‍රයේ ඉන්න අපි විසින්මයි. ඇයි අපේ අයට බාල විදියට නිර්මාණ කරන්නේ. ඇයි ඒකට තවත් වර්ණයක් දෙන්නේ නැත්තේ කියන එක ලොකු ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක් තමයි අපේ රටේ වෙච්ච දේවල් තවමත් විකුණන එක. දැන් යුද්ධෙ තවමත් විකුණනවා. තාමත් යුද්ධය ගැන ෆිල්ම් හදනවා, ටෙලිනාට්‍ය කරනවා. ඇයි ඒකෙන් එළියට එන්නේ නැත්තේ. ලංකාවට කලාව හරහා පෙන්නන්න තියෙන්නේ යුද්ධය විතරද, නැත්නම් කොපි චිත්‍රපට විතරයිද? ඇයි අපටම කියලා දෙයක් අපි කරන්නේ නැත්තේ. ඇයි අපටම කියලා ෆ්ලේවර් එකක් අපි ගොඩනගා ගන්නේ නැත්තේ. අපි උඩින් ඉන්න කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා මිසක් එයාව අපේ පැත්තට හරවගන්න උත්සාහ කරන්නේ නැත්තේ ඇයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නෙ.

 

ඔබේ ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්?

තව මගේ චිත්‍රපටයක් එන්න තියෙනවා ‘රතු සමනල සිහිනය’ කියලා. ඒක ප්‍රියන්ත කළුආරච්චිගේ අධ්‍යක්‍ෂණයක්. ඊට පස්සේ එන්න තියෙනවා ඉතිහාස කතාවක් පදනම් කරගෙන කරන මගේ පළමුවැනි චිත්‍රපටය. මම ඓතිහාසික නිර්මාණයකට දායක වෙන පළමුවැනි වතාව. ඒක නම් කරලා තියෙන්නෙ ‘ගිරිවැසිපුර’ කියලා. ඒක දේවින්ද කෝන්ගහගේගේ දෙවැනි අධ්‍යක්‍ෂණය. දේවින්දගේ පළමුවැනි අධ්‍යක්‍ෂණය තමයි ‘බවතරණ’ චිත්‍රපටය. ඒක දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා. ‘ගිරිවැසිපුර’ චිත්‍රපටයේ කතා කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ ඇත්ත කතාව. ඒකේ මමයි, පුබුදු චතුරංගයි, මහේන්ද්‍ර පෙරේරායි ප්‍රධාන චරිත රඟපානවා. මගේ මේ අවුරුද්දට ‘කෝමාලි කිංග්ස්’ චිත්‍රපටයට අමතරව එන්න තියෙන්නේ ඔය චිත්‍රපට දෙක තමයි.

 

අවසාන වශයෙන් සිනමාවට ආදරය කරන ප්‍රේක්‍ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

සිනමාවට ආදරය කරන රසිකයන්ට කියන්න තියෙන්නෙ අපේ දෙයට මුල් තැන දෙන්න කියලා. මොකද චිත්‍රපටයක් කරන්න ලොකු මහන්සියක් වෙනවා. අපේ අයට ආදරය සහ ගෞරවය දෙන්න. අපේ නිර්මාණයක් බලද්දි අනිවාර්යයෙන් සිනමා ශාලාවකට ගිහින් බලන්න කියලා ඉල්ලනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2018-03-02-ent-274  2018-03-02-ent-276 2018-03-02-ent-277