අපි අධ්‍යාත්මිකව සිතුවිලිවලින් අනිවාර්යෙන්ම පිරිසිදු විය යුතුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-54

වෙළෙඳ දැන්වීම් හරහා තනාෂාගේ සුන්දර රුව ඔබ මතකයේ රැඳී ඇතුවාට සැක නැත. අද වනවිට ඇය සුරූපී නිරූපිකාවක් ලෙස මෙන්ම තමාටම අනන්‍ය රංගන කෞෂල්‍යයකින් රඟපෑම් කටයුතුවල නියුතු රංගන ශිල්පිනියකි. දෑස් වසඟ කරන සුන්දර රූ සපුවේ රහස සොයා අද ‘අපි ලස්සන රහස්’ පිටුව සරසන්නට ඇයට ආරාධනා කළෙමු.

 

තනාෂා සතරසිංහ නම හරිද?2019-05-23-ent-55

හරි හරි.

 

මේ දවස්වල මොකද කරන්නේ.

රඟපෑම් කටයුතු වගේම නිරූපන කටයුතුවලත් නිරත වෙන නිසා ටිකක් විතර කාර්යය බහුලයි.

 

කොච්චර කාර්යය බහුල වුණත් ලස්සනට ඉන්න එකනම් අමතක කරලා නෑ නේද?

යෙදෙන වෘත්තිය අනුව උපතින්ම ලැබිලා තියෙන ලස්සන ආරක්ෂා කර ගන්න මම නිරතුරුවම උනන්දු වෙනවා. ඒ වගේමයි නිරූපිකාවක් ලෙසට ශරීරයේ හැඩය ක‍්‍රමානුකූලව පවත්වා ගැනීමටත් උත්සාහ ගන්නවා.

 

ඇෙඟ් හැඩය පවත්වා ගැනීමට මොකද කරන්නේ?

රාජකාරි බහුල නිසාම දෛනිකව ව්‍යායාමවල නිරත වීමට අවස්ථාව අඩුයි. නමුත් ඉඩක් ලැබුණොත් ව්‍යායාමවල නිරත වෙනවා. ව්‍යායාමවලටත් වඩා මම මගේ ඇඟ ගොඩක් ලස්සනට තියාගෙන තියෙන්නේ කෑමබීම පාලනයෙන්. මම දවසකට වතුර ගොඩක් බොන්න පුරුදුවෙලා ඉන්නවා. වතුරවලින් අපිව නිරෝගිව තබනවා වගේම සම පැහැපත්ව තබා ගැනීමටත් ඉමහත් රුකුලක් වෙනවා.

කෑම ගැනීමේදී ඇඟ වෙහෙසා වැඩ කිරීම අඩු නිසා අඩු කැලරි ප‍්‍රමාණයක් ගැනීමට නිරතුරුවම උත්සාහ කරනවා. රාත‍්‍රි ආහාරයට කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගන්නේම නැති තරම්.

එත් එක්කම මම නිතරම ගෝවා මල්, බ්‍රෝකෝලි වැනි එළවළු ආහාරයට ගැනීමට පුරුදුවී සිටිනවා. මෙමගින් ශරීරයේ පැහැය වැඩි වීමට ලොකු දායකත්වයක් ලැබෙනවා. ශරීරය පැහැපත් කිරීමේ රුධිරය පිරිසිදු කිරීමේ සංඝටක බොහොමයක් මෙහි අඩංගුයි. සළාද වශයෙන් මෙන්ම, හුමාලයෙන් තම්බා, ආදී මම කැමති විදිහට මෙම එළවළු ගනු ලබනවා. කොළ පැහැති පළා වර්ග, එළවළු, ආදියත් ගැනීමට මම පුරුදුවෙලා ඉන්නවා. පළතුරුවලින් ගස්ලබු නිතරම වගේ ආහාරයට ගන්නවා.

 

සමේ පැහැය ආරක්ෂා කර ගැනීමට ඔබ යොදා ගන්නා ස්වභාවික ආලේපන මොනවාද?

සුදු හඳුන් උරච්චි කරලා එයට කෝමාරිකා මදය මිශ‍්‍ර කරලා මුහුණේ සහ ගෙලේ ගෑමට මම පුරුදුවෙලා ඉන්නවා. මෙය සමට හොඳ පෝෂණ සත්කාරයක්.

 

බාහිරෙන් ආලේපන ගැල්වීම විතරක් ප‍්‍රමාණවත්ද කෙනෙකුගේ සුන්දරත්වය රැුක ගන්න.

නැහැ. අපි අධ්‍යාත්මිකව සිතුවිලිවලින් අනිවාර්යෙන්ම පිරිසිදු විය යුතුයි. භාවනා කරන්න වෙලාවක් නැතත්, සියලූ සත්වයන්ට යහපතක් වෙන්න කියා නිරතුරුව මෙත් වඩනවා. ඒවගේමයි හිතට දුකක් ආවත් ඒවා මඟ හැරලා පුළුවන් හැම වෙලාවෙම සතුටින් ඉන්න උත්සාහ කරනවා.

 

වර්තමානයේ සම සුදු වීමට බොහෝ ආලේපන, එන්නත් වර්ග, පෙති කරල් තිබෙනවා. ලස්සනට ඉන්න මේ දේවල් භාවිත කිරිම, ඔබ අනුමත කරනවාද?

නැහැ. ක්‍ෂණිකව සුදුවෙන දේවල්වලින් අද සුදු වුණා කියා සතුටු උනත් හෙට දුක් වෙන්න වෙන නිසා මම නම් මේවා කොහෙත්ම අනුමත කරන්නෑ. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ සුදුවීම ලස්සනවීම කියා. එය මිත්‍යාවක්

 

ඔබ යම් ආලේපනයක් තෝරා ගැනීමේදී කුමන කරුණු කෙරෙහිද අවධානය යොමු කරන්නේ.

ක්ෂණිකව ප‍්‍රතිඵල ගෙන නොදුන්නත් සම නිරෝගිව තබන, සමේ තෙතමනය ආරක්ෂාවෙන, රටේ දේශගුණයට ගැලපෙන ක‍්‍රීම් වර්ගයක් තෝරා ගන්න උනන්දු වෙනවා. රාත‍්‍රියේදී සමේ ආරක්ෂාව සහ පෝෂණය වෙනුවෙන් ක‍්‍රීම් වර්ගයක් ආලේප කරනවා. ඒ වාගේම සමේ පැහැය ආරක්ෂා කර ගන්න පෝෂණ අතිරේකයකුත් මම දෛනිකව ලබා ගන්නවා.

 

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

කාන්තාවක් නෙමෙයි. හැම මනුෂ්‍යයෙකුම ලස්සනට ඉන්න ඕනේ. මම හිතනවා මේ ලෝකෙට ඉපදිලා ඉන්න හැමෝම ලස්සනයි. හැම කෙනාටම තමාටම අනන්‍ය වුණ ලස්සනක් තියෙනවා. ලැබිලා තියෙන ලස්සන, ස්වභාවික ක‍්‍රම මගින් ඉදිරියට පවත්වාගෙන යාමයි අපි කළ යුත්තේ.

 

ඔබ ලස්සනයි කියා කෙනෙකු ඔබව අගය කළොත්

ගොඩක් සතුටුයි.

 

ලස්සන කොණ්ඩයකට හිමිකම් කියන ඔබ, ඒ වෙනුවෙන් කරන්නේ මොනවාද කියලා දැන ගන්නත් අපි කැමතියි.

හැමෝම මගෙන් ඔය ප‍්‍රශ්නය අහනවා.

ඇත්තටම මම කොණ්ඩයට ගොඩක් ආදරෙයි. විශේෂයෙන්ම කූල් වතුර බොන්න කැමති වුණත් මම ඒ දේ මඟ හරිනවා. මොකද කුල් වතුර බොන එක හිස කෙස් වර්ධනයට හානිවෙන නිසා. ඊට අමතරව සුමානයකට දවසක් ඔලිව්තෙල්. ආමන්ඞ් තෙල්, පොල්තෙල් එකට මිශ‍්‍ර කරලා එයට විටමින් ඊ කරලක් යොදා හිසට දමා පැයක් පමණ ඉඳලා ෂැම්පු දමා සෝදා හරිනවා. මෙවැනි සත්කාරයක් තමයි දැනට මගේ කොණ්ඩයට වෙන්නෙ.

 

කාන්තාවකගේ සුන්දරත්වය වියැකී යාමට බලපාන ප‍්‍රධානම කරුණ ලෙසට ඔබ දකින්නේ කුමක්ද?

මා හිතන්නේ පිරිසිදු කමින් ඈත්වීම, පිරිසිදුකමයි සුන්දරත්වයයි කියන්නේ කාසියක දෙපැත්තක් වගේ

 

රූමත්කම නිසාම යම් වෘත්තියක රැුඳිය හැකි කියා ඔබ විශ්වාස කරනවාද?

ම්... රූමත් නිසා ඕනෑම වෘත්තියක දොරටු විවර වේවි. නමුත් පැවතීමට දක්ෂතාවය උනන්දුව, උත්සාහය, කැපවීම අවශ්‍යයි.

 

අවසාන ප‍්‍රශ්නය, ඔබ, දැක්ක ලස්සනම කාන්තාව කවුද?

මම මේ ලෝකෙ දැක්ක ලස්සනම කාන්තාව ‘මගේ අම්මා’ ඇය හරිම ලස්සනයි මම අම්මා එක්ක ඉන්නකොට හැමෝම මගෙන් අහන්නේ ඇයි ඔයා අම්මා තරම් ලස්සන නොවුණේ කියලා.

 

අසුන්තා එදිරිසූරිය

ඡායාරූපය - කවිත් මිලින්ද

 

2019-05-23-ent-53