අපට චෝදනා කරන ඔක්කෝම අය හොඳ කට්ටියද?
නිරූපණ ක්ෂේත්රය තුළ කැපී පෙනෙන තැනැත්තියක ලෙස ටීනා ෂනෙල් හැඳින්විය හැකිය. ඇය මේ වන විට සිනමාවටද ප්‍රවිෂ්ට වී සිටින්නීය. සමාජ මාධ්‍ය ඔස්සේ නිතර කතාබහට ලක්වන චරිතයක් වන ඇය මෙවර ‘සාරවිට’ තරු කතාබහට මෙලෙස එක් වූවාය.
මේ දවස්වල මගේ දෙවැනි චිත්‍රපටයේ වැඩකටයුතුවලට සහභාගි වුණා. ඒ චිත්‍රපටයේ නම ‘හෝන්’. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සමීර වක්වැල්ල අධ්යක්ෂවරයා. එහි වැඩකටයුතු සහ මගේ නිරූපණය පැත්තේ වැඩකටයුතු එක්ක තමයි මේ දවස් ටිකේ වැඩකටයුතු වෙන්නේ.
සිනමාවට ‘ටීනා’ කියන චරිතය ගැළපෙනවාද?
ඔව්, අනිවාර්යයෙන්ම මම හිතනවා. ඒ නිසානේ මට සිනමාවට ආරාධනා ලැබෙන්නේ. මම කැමැතියි සිනමාව තුළින් විවිධ වූ චරිත ඔස්සේ රසිකයන් අතරට යන්න. මගේ පළමුවැනි චිත්‍රපටය ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය. ඉතිං ඒ චිත්‍රපටයෙත් මම වෙනස් චරිතයක් සඳහා පණපෙව්වා. දෙවැනි සිනමා නිර්මාණයෙත් මගේ චරිතය ඉතාමත් වෙනසක් සිදුවෙලා තියෙනවා. ප්‍රේක්ෂකයන්ට වෙනස් දෙයක් දැක ගන්න පුළුවන් වෙයි. ඉතිං මම ආරාධනා කරනවා ඒ දෙය නරඹන්න කියලා. හැබැයි කවදා තිරගත වෙයිද කියන දේ මම නම් දන්නේ නැහැ. ලංකාවේ විතරක් නෙමෙයි පිටරට ප්‍රදර්ශනය සඳහා ඒ චිත්‍රපටය සූදානම් වෙනවා.
නිරූපණය ක්ෂේත්රය තුළින් රංගනයට එන අය නිසා රංගන ක්ෂේත්රයේ තියෙන ප්‍රමිතිය නැති වෙනවා කියලා චෝදනා එල්ල වෙනවා නේද?
කවුද ඒ කියන අය කියලා පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද? එහෙම කියන අය ගැන හරියට දන්නවා නම් මට විස්තර කියන්න පුළුවන්. මට හිතා ගන්න බැරි එහෙම දේවල් කියන්නේ ප්‍රවීණ අයද, නැත්නම් රංගනය ක්ෂේත්රයට අලුත් අයද කියලා. මම හිතන්නේ නැහැ ප්‍රවීණ අය එහෙම චෝදනාවක් කරයි කියලා. අපට තරගයක් තියෙන්නේ අපිත් එක්ක කරටකර ඉන්න අයත් එක්කයි. නිරූපිකාවන් එන කොට ඇත්තටම ගොඩක් අය බයයි. ඒක තමයි ඇත්ත කතාව. මොකද නිරූපිකාවන්ට තියෙන ලුක් එක සහ හැකියාවන් එක්ක තමයි නිරූපිකාවක් බිහිවෙන්නේ. ක්ෂේත්රය තුළ කවුරු අතිනුත් වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා එකිනෙකාට ඇඟිල්ල දිගු කරන්න බැහැ. අපි නිරූපිකාවක් වශයෙන් කරන්නේ අපේ වෘත්තිය. එයාලා කරන්නේ එයාලාගේ වෘත්තිය. අපට චෝදනා කරන ඔක්කෝම අය හොඳ කට්ටියද? ඒ බොහෝ අය වෙස් මුහුණු දාගෙන යටින් හොර වැඩ කරනවා. කවුරු හරි කෙනෙක් අපට චෝදනා කරනවා නම්, නමත් එක්ක සඳහන් කරලා කියන්න. මම නියෝජනය කරන්නේ නිරූපණය. මම කොච්චර රංගන ක්ෂේත්රයට ආවත්, මම ආදරය කරන මේ ක්ෂේත්රයට කවුරුත් චෝදනා කරනවාට මම නම් කැමැති නැහැ. අපි හැමෝම රැකියාවක් කරන්නේ. අපි රංගන ක්ෂේත්රයේ අයටත් ගෞරව කරනවා. කුමන හේතුවක් නිසාවත් අපි ඒ අයගේ වෘත්තිය ගැන කතා කරන්න යන්නේ නැහැනේ. ඉතිං ඒ නිසා රංගන ක්ෂේත්රයේ අයටත් අයිතියක් නැහැ නිරූපණ වෘත්තීය පිළිබඳ චෝදනා කරන්න.
ඔබත් සිනමා නිර්මාණ තෝරාබේරා ගන්නවාද?
ඔව් අනිවාර්යයෙන්ම. තෝරාබේරා ගන්නවා. පළමු චිත්‍රපටයට වඩා මගේ දෙවැනි චිත්‍රපටය හාත්පසින්ම වෙනස්. ඒකත් ‘හොරර්’ චිත්‍රපටයක්. මම ආසයි මගේ ඊළඟ චිත්‍රපටය රජ කාලේ චිත්‍රපටයක චරිතයක් යන්න. ඉදිරියේදී වෙනස් වෙනස් චරිතවලින් මාව ප්‍රේක්ෂකයන් දැක ගන්නවාට මම හරි කැමැතියි
ටීනා සිනමාවට පමණක් සීමා වෙනවාද?
ටෙලිනාට්‍යවලට මට ආරාධනා ලැබෙන්නේ නැතුව නෙමෙයි. ගොඩාක් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබිලා තියෙනවා. මට කතා කරන අධ්යක්ෂවරු මාත් එක්ක තරහා වෙනවාත් ඇති. ඉතිං මට කෝල් කරලා ඒ චරිත ගැන කියද්දී මම අහගෙන ඉන්නවා. ඉතිං ලොකු දායකත්වයක් සහ නාට්‍ය කරන්න කැමැත්තක් නැහැ කියලා මම කියනවා. මට හොඳ චරිතයක් ලැබුණොත්, මම ආස විදියේ දෙයක් ලැබුණොත් මම ටෙලිනාට්‍යවලටත් දායක වෙයි. හැබැයි දැන්මම නෙමෙයි. මට අත්දැකීමක් ගන්න කියන දේ හැරෙන්න වෘත්තීමය රංගනයෙන් ටෙලිනාට්‍යවලට එන්න කැමැත්තක් නැහැ.
‘ටීනා ෂනෙල්’ කියන චරිතයට වර්තමානයේ නිරූපණ ක්ෂේත්රය තුළ වාණිජ වටිනාකමක් ලැබෙනවාද?
වටිනාකමක් තියෙනවාද, නැද්ද කියනවාට වඩා, මිනිස්සු මං ගැන කතා වෙන විදිය, මට බණිනවාද කියන දේ සහ මාව කොච්චර දුරට ‘ෆලෝව්’ කරනවාද කියන දේ තමයි මේ දෙයට වැදගත් වෙන්නේ. මම මේ මෙච්චර කල් අරගෙන ආපු දේ සහ මොකක් හරි දේවල් නිසා ටීනා ගැන කතා වෙනවා නම් මම හිතනවා ‘ටීනා’ කියන චරිතයට නිරූපණ ක්ෂේත්රය තුළ වටිනාකමක් ගොඩනැගිලා තියෙනවා කියලා. දක්ෂතාව පෙන්නුම් කරලා මිනිස්සු අතරට ගියපු කෙනෙක් නිසානේ මං ගැන එහෙම කතා වෙන්නේ. ඉතිං ඒ දේවල් රසිකයන් තීරණය කරන්න ඕන දෙයක්.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔබව විවේචනය කරද්දි කලකිරීමක් නැද්ද?
අනිවාර්යයෙන්ම කලකිරීමක් ඇති වෙනවා. අපි කවුරුත් කාගෙන්වත් බැණුම් අහන්න කැමැත්තෙන් ඉන්න අය නෙමෙයි නේ. ඉතිං මට අසනීපයක් වුණොත් ඔය සමාජ මාධ්‍ය ඔස්සේ මට මඩ ගහන අය නෙමෙයිනේ මගේ ළඟින් ඉන්නේ. ඉතිං ගොඩක් අය මට කතා හදන්නේ, මඩ ගන්නේ ඒ අයගේ වින්දනය සඳහානේ. ඉතිං හැමෝම කරන්නේ මට බැනබැන හරි මගේ දේවල් බලන එකනේ. ඒකෙන්නේ ඒ අය රසාස්වාදයක් ලබන්නේ. ඔය දේවල් කරන්නේ වැඩ නැති පේජ්කාරයෝ සහ අනුන්ගේ කුණු හොයන කට්ටියක් තමයි. ඒ අය අපට මඩ ගහන්නේ හරියට ඒ අය වැරදි කරන්නේ නැහැ වගේයි. හැමෝම මනුස්සයෝ, කවුරු අතිනුත් වැරදි වෙනවා. එහෙම විවේචනය කරන්නේ අපව සමාජය තුළ කතාබහට ලක් වෙන නිසා කියලයි මම හිතන්නෙ.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha