'අනුපමා' චරිතයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි
මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන ශාන්ත සොයිසාගේ "නෙතූ" ටෙලි නාට්‍යයේ "අනුපමා" ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවන නිපුණිකා හේවාමද්දුම අද "සාරවිට" තරු කතා බහට අප සමගින් එක් කර ගතිමු. "නෙතූ" ටෙලි නාට්‍යයට අමතරව ඉදිරියේ දී තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඇය ඔබ හමුවට පැමිණීමට නියමිතය. ඒ පිළිබඳව හා අගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව සාරවිට සමග ඇය මෙසේ දොඩමලු විය.
නිපුණිකා කියන්නේ මේ දිනවල කාර්ය බහුලම කලා ශිල්පිනියක්?
ඔව්, ටෙලි නිර්මාණ කිහිපයක රූපගත කිරීම් කටයුතුවලට මේ දිනවල සහභාගි වෙනවා. ඊට අමතරව නිවේදිකාවක් විදිහට ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන %සිංහලේ මානව වංශය^ හා %සියත^ රූපවාහිනි නාළිකාවේ විකාශය වන %යුවතිපති^ විවාහ මංගල්‍යය වැඩසටහන් ඉදිරිපත් කරනවා. මේ වැඩ කටයුතුත් එක්ක ටිකක් විතර මේ දිනවල කාර්ය බහුල වෙලා ඉන්නවා.
"නෙතූ" හි "අනුපමා" චරිතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි?
ඔව්, "අනුපමා" කියන චරිතයට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. මේක මම කරපු වෙනස්ම ටෙලි නාට්‍යය චරිතයක්. පසුගිය කාලේ දඟකාර, කටකාර එක වගේ චරිතවලට මම කොටු වෙලා හිටියා. නමුත්, %අනුපමා^ චරිතය හරහා ඒ රාමුවෙන් මට මිදෙන්න පුළුවන් වුණා. ශාන්ත සොයිසා වැනි දක්ෂ අධ්‍යක්ෂවරයෙක් එක්ක මට වැඩ කරන්න ලැබුණා. ඔහු සමගින් මා වැඩ කරන පළමු අවස්ථාවත් මේක.
"නෙතූ"හි "අනුපමා" චරිතයෙන් පස්සේ නිපුණිකා අපිට දකින්නට ලැබෙන්නේ?
මේ දිනවල ප්‍රභාත් රෝෂන්ගේ "සංසාරා" කියලා ටෙලි නාට්‍යයක වැඩ කරනවා. එහි මා %බිනු^ කියලා චරිතයකුයි කරන්නේ. ඊට අමතරව %මන්දාරම්^ කියලා තවත් ටෙලියක රූපගත කිරීම් කටයුතුවලට මේ දිනවල සහභාගි වෙනවා. %නෙතූ^ ටෙලි නාට්‍යයේ අවසන් රූපගත කිරීම් කටයුතුවලට පසුගිය දවස්වල දායක වුණා. මම හිතන්නේ "සංසාර" හෝ "මන්දාරම්" කියන ටෙලි නාට්‍යය හරහා %නෙතූ^ ටෙලියෙන් පස්සේ මාව ප්‍රේක්ෂකයාට දකින්න පුළුවන් වේවි.
ප්‍රේක්ෂකයන් නිපුණිකා ගැන කතා කරපු ටෙලි චරිත තියෙනවාද?
කිහිපයක් තියෙනවා. මා රංගන ශිල්පිනියක් විදිහට මුලින්ම රඟපාපු නාලන් මෙන්ඩිස් මහත්මයාගේ %දූවරු^ ටෙලි නාට්‍යයේ %නිම්මි^ කියන චරිතය. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ %පබසරා^ ටෙලි නාට්‍යයේ %පබසරා^ කියන චරිතය. මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය වුණේ මේ චරිතය. ඒ වගේම දැනට විකාශය වෙන %නෙතූ^ ටෙලි නාට්‍යයේ %අනුපමා^ කියන චරිතය පිළිබඳවත් අද වනවිට බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් කතා කරනවා.
පසුගිය කාලයේ කලා කටයුතුවලින් නිපුණිකා ඉවත් වෙලා හිටියා නේද?
ඔව්. මගේ උසස් අධ්‍යාපන කටයුතු හා රැකියාව නිසා අවුරුදු 2ක කාලයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටියා. නමුත්, මම නිවේදිකාවක් විදිහටත් ගීත රූප රචනා කිහිපයකටත් ඒ කාලය තුළදී දායක වුණා. කොටින්ම කිව්වොත් මම තාවකාලිකව තමයි කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වුණේ. ඉතින් ආයෙත් රංගනය පැත්තට හිත යොමු කරන්න මගේ ආසාවක් ආවා. ඒ හේතුව නිසා තමයි ආයෙත් රංගනය පැත්තට යොමු වෙන්න හිතුවේ. දැන්නම් මම පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වෙන්න තමයි අදහස් කරමින් ඉන්නේ.
බුද්ධික සේනාධීර