අනාගත නීතීඥවරියක් වීමට අපේක්ෂා කරන සචින්තනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2534

අනාගතයේදී නීතීඥවරියක් ලෙස කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන සචින්තනී මේ වනවිට කලාව තුළින්ද යම් ගමනක් පැමිණ තිබෙනවා. සහන් රංවල ප්‍රමුඛ ‘රංවල බලකාය’ කණ්ඩායම හරහා කලා ක්ෂේත්‍රයට පැමිණි සචින්තනී මේ දිනවල විකාශය වන ‘මුතුලෙන්දොර’ හරහාද ඔබේ ආලින්දයට පැමිණෙනවා. ඉතින් සචින්තනීව මෙවර සාරවිට කතාබහට එකතු කරගන්නට අප මෙලෙස සිතුවා.2019-12-18-ent-2535

 

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම සචින්තනි කෞෂල්‍යා. මම දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය හදාරනවා. ඒ වගේම ‘රංවල බලකාය’ සමග එකතු වෙලා කලා වැඩ කටයුතු කරනවා.

 

කලාව ආරම්භ කරන්නේ කොහොමද?

මම පාසල් කාලේදී කලා කටයුතු, ක්‍රීඩා කටයුතු වගේ හැම බාහිර ක්‍රියාකාරකමක්ම කළා. නර්තනය සමග තමයි පාසලේදී වැඩි සම්බන්ධයක් තිබුණේ. නමුත් උසස් පෙළ කාලයේදී ඒ දේවල් අධ්‍යාපන කටයුතු හේතුවෙන් නැවතුණා. රංවල බලකායට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණාට පසුව තමයි නැවතත් කලා කටයුතුවලට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මම 2017 රූපවාහිනී අවුරුදු කුමාරි තරඟාවලියේ අවසන් දොළොස්දෙනා නියෝජනය කළා. එතනින් අවස්ථාව ලැබුණා වෙළඳ දැන්වීම් සහ රංගන කටයුතුවලට. නමුත් මම ඒ වනවිට විශ්වවිද්‍යාලයට තේරී පත්වෙලා හිටපු නිසා ඒ වැඩවලට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊටපස්සේ මම 2019 හිරු අවුරුදු කුමරිය තරඟාවලියේත් අවසන් දොළොස්දෙනා අතරට තේරුණා. ඒ තරඟාවලියෙන් පස්සේ නැවතත් මට ආරාධනා ලැබුණා කලා වැඩකටයුතුවලට.

 

මේ වනවිට දායක වෙලා තියෙන නිර්මාණ මොනවාද?

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ‘මුතුලෙන්දොර’ ටෙලි නාට්‍යයේ සිතුලි කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා. තව ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. ඊට අමතරව වෙළඳ දැන්වීම් සහ බ්‍රයිඩ්ල් ෂූට්වලට දායක වෙලා තියෙනවා. වැඩියෙන්ම සම්බන්ධ වෙන්නේ රංවල බලකායේ නිර්මාණවලට තමයි. රංවල බලකායේ අවුරුදු වැඩසටහන්වලට, විදේශ සංචාරවලට සහභාගී වෙනවා. අපේකම, අපේ දේ රැකගෙන ඒ හා සම්බන්ධ වැඩවලට වැඩි ඉඩක් ලබා දෙනවා. ඒ වගේම මම නීතිඥවරියක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඒ දේවල්වලට හානියක් නොවී මගේ කලා වැඩ කරගන්නවා. ඒ නිසාම තමයි මම නිර්මාණ තෝරාබේරා ගන්නේ.

 

මුතුලෙන්දොරට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

බොහෝ ටෙලි නාට්‍ය විකාශය වෙන්නේ රාත්‍රියටනේ. නමුත් මුතුලෙන්දොර නාට්‍ය විකාශය වන්නේ උදේ 9.30ට. සිතුලි චරිතයට තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ ප්‍රධාන චරිතයේ යාළුවාට. ගමක කතාවක්. මම ටිකක් දඟකාර කටකාර චරිතයක්. මම සිතුලි චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා විශ්වාස කරනවා.

 

රංවල බලකායට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?

මම 2015දි තමයි රංවල බලකායට සම්බන්ධ වෙන්නේ. අපේ පාසලේ උත්සවයකට සහන් රන්වල මහතා අමුත්තෙක් ලෙස පැමිණි අවස්ථාවක ඔහු මගේ නර්තනයන් දැකලා මට ආරාධනා කළා රංවල බලකායට සම්බන්ධ වෙන්න කියලා. මගේ කලා ලෝකයේ හැරවුම් ලක්ශය වුණේ රංවල බලකායයි.

 

කලාව සහ ඔබේ විශ්වවිද්‍යාල කටයුතු සමබරව ගෙන යන්නේ කොහොමද?

විශ්ව විද්‍යාල වැඩකටයුතුවලට බාධාවක් ඇතිවෙන්නේ නැහැ. මොකද සහන් සර් සහ ගුරුවරු සමග වැඩ කරන එක ගොඩක් පහසුයි. කලාව තුළින් මට මානසික නිදහසක් ලැබෙනවා. මගේ බාහිර වැඩත් එක්ක අධ්‍යාපන වැඩකටයුතු සමබරව ගෙනයන්න පුළුවන්.

 

පවුලේ අයගෙන් මොනවගේ සහයක්ද ලැබෙන්නේ?

මුලදි නම් තාත්තාගේ ලොකු කැමත්තක් තිබුණේ නැහැ. මොකද මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙයි කියලා. නමුත් මම අධ්‍යාපන කටයුතුයි, කලා වැඩයි දෙකම සමබරව කරගෙන යන නිසා දැන් තාත්තාගෙන් ලොකු සහයෝගයක් තිබෙනවා. ඒ වගේම මගේ අම්මා මුල ඉඳලාම මගේ පස්සෙන් හිටියා.

 

කලාව තුළින් තිබෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?

ජනප්‍රිය වෙනවා කියන එක නෙවෙයි මගේ ලොකුම අපේක්ෂාව. කලාවේ තියෙන සොඳුරු නිර්මාණවලට දායක වෙලා, මටත් ආත්ම තෘප්තියක් ලැබෙන වැඩ කරන්න මම ආසයි.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ තමයි මම ඉන්නේ. නමුත් මම නීතිඥවරියක් ලෙස වැඩ ආරම්භ කරන්න යම් කාලයක් ගත වෙනවා. දැනට තිබෙන ලොකුම අපේක්ෂාව විශ්ව විද්‍යාල වැඩකටයුතු කරගෙන යන එක. ඊට අමතරව ලැබෙන ආරාධනා අනුව හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.

 

උදව් කළ අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කළ යුතුයි සහන් රන්වල ගුරුතුමා. ඒ වගේම අම්මා, තාත්තා, නංගි ඇතුළු පවුලේ හැමෝම. ඒ වගේම මගේ විශ්වවිද්‍යාලයේ යාළුවෝ, රංවල බලකායේ මගේ ගුරුවරු සහ සහෝදර සහෝදරියනුත් මතක් කරනවා. නම් කියපු, නොකියපු, මට පොඩි හරි උපකාරයක් කළ හැමෝටම මම මේ අවස්ථාවේදී ස්තූතියි කරනවා.

 

කැළුම් දේවින්ද

 

2019-12-18-ent-2533