අනවශ්‍ය ගොසිප් වලට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ
නවක රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන “සඳනි ප්‍රනාන්දු” මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන “කෝටිපතියෝ” ටෙලි නාට්‍ය තුළින් දැකගත හැකිය. වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ සහ ටෙලි නාට්‍ය රංගනයන් තුළින් දක්ෂතාවය ප්‍රේක්ෂකයන්ට පෙන්වා දුන් සඳනි ඉදිරියේදී සිනමා නිර්මාණයක් තුළින්ද ඔබ හමුවට පැමිණීමට නියමිතය. ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරඟාවලිය ඔස්සේ කලා ක්ෂේත්රයට එක් වූ සඳනිට “සාරවිට” කතාබහට එකතු වූයේ මේ ආකාරයෙනි.
තවම අළුත් අවුරුද්දේ වැඩ කටයුතු කිසිවක් බාර ගත්තේ නැහැ. මේ දිනවල කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ ෂූටින් කරගෙන යනවා. පසුගිය වසරේ “ක්‍රයිම් සීන් සහ තුත්තිරි” කියන ටෙලි නාට්‍යයන් දෙක විකාශය වෙලා ඉවරයි.
දැන් මියුසික් වීඩියෝවල වැඩිපුර පෙන්න නැත්තේ දැන් මියුසික් වීඩියෝ බාර ගන්නේ නැද්ද?
මම කොහොමත් මියුසික් වීඩියෝ දහයක් විතර තමයි කරනවා කියලා හිතාගෙන හිටියේ. මේ වෙද්දි මම දහයකටත් වැඩියෙන් මියුසික් වීඩියෝ වලට දායක වෙලා තිබෙනවා. ඉතින් ළඟදි ආරාධනා ලැබුණු මියුසික් වීඩියෝ රැසක්ම ප්‍රතික්ෂේප කරා.
ඔබට මියුසික් වීඩියෝ තුළින් ජනප්‍රියත්වයක් ලැබුණේ නැද්ද?
මෙහෙමයි. මට මියුසික් වීඩියෝ තුළින් යම්කිසි ජනප්‍රියත්වයක් ලැබුණා. හැබැයි මම කියන්නේ නැහැ මම ජනප්‍රිය වුණේ මියුසික් වීඩියෝ තුළින්ම විතරයි කියලා. මම ක්ෂේත්රයට පිවිසෙන්නේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරඟය හරහා. පසුව මම වෙළඳ දැන්වීම් රැසකට දායක වුණා. ඊටපස්සේ මම හාරකෝටිය ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. හාරකෝටිය ටෙලි නාට්‍ය තුළින් තමයි මම ජනතාව අතරට ගියේ. හාරකෝටිය නාට්‍යයෙන් පස්සේ තමයි මම මියුසික් වීඩියෝ වලට සම්බන්ධ වෙන්නේ.
තවම සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?
එක සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ අරුණ ජයවර්ධන මහත්මාගේ “1970 Love Story” කියන නිර්මාණයට. ඒ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා ඇතුළු රංගන ශිලපීන් පිරිසක්. ඒ චිත්‍රපටය ඉක්මනින් තිරගත වෙයි කියලා හිතනවා.
ඔබ නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක්. මේ ක්ෂේත්‍ර දෙකෙන් කුමන ක්ෂේත්රයේද වැඩිපුරම වැඩ කරන්න කැමති?
රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න තමයි කැමතියි. මම ක්ෂේත්රයට පිවිසුණේ රංගන කටයුතුවලින්. ඒ නිසා රංගන ක්ෂේත්රයට තමයි මම ආදරය කරන්නෙත්.
මේ දක්වා රඟපෑමට නොහැකි වූ, අශාවෙන් සිටින චරිතයක් තිබෙනවාද රඟපාන්න?
එකිනෙකට වෙනස් නිර්මාණ ලැබෙනවා නම් මම කැමතියි. මට ගොඩක් වෙලාවට දායක වෙන්න ලැබුණේ ඒකාකාරී නිර්මාණවලටයි. හැබැයි “තුත්තිරි” ටෙලි නාට්‍යයේ මම රංගනයෙන් දායක වුණේ පිටසක්වල ජීවියෙකුගේ චරිතයකට. ඒක වෙනස්ම චරිතයක්. ඒ වගේ වෙනස් වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්න තමයි කැමතියි.
අනාගතයේදී කලාවෙන් ඈත්වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
වැඩ කරන්න පුළුවන් කාලයක් ක්ෂේත්රයේ රැඳිලා ඉන්නවා. මම කොහොමත් පෞද්ගලිකත්වයට කැමති කෙනෙක්. ඒ නිසා පෞද්ගලිකත්වයට මුල් තැන දීලා කලා ක්ෂේත්රයේ වැඩ කරන්න පුළුවන් කාලයක් ඉන්නවා.
කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මුල් කාලයේදී අම්මලාගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් පසුකාලීනව අම්මා ඇතුළු පවුලේ හැමෝම මගේ වැඩවලට උදව් කරා. ෂූටින් වලට යන්න පවා එනවා. ඉතින් ගෙදරින් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ.
අද වෙද්දි නිරූපණ ශිල්පිනියන් සහ රංගන ශිල්පිනියන් ගැන සමාජය කතා වෙන්නේ වෙනස් විදිහකට. ඒකට හේතුව මොකද්ද?
අපි කරන දේවල් තුළින් තමයි අපි ගැන ප්‍රේක්ෂකයෝ අපි කවුරුද කියලා හිතාගන්නේ. කවුරු හරි වැරැද්දක් කරොත් ප්‍රේක්ෂකයෝ හිතන්නේ හැමෝම එහෙමයි කියලා. ඒ දේ එයාලා පෞද්ගලික දෙයක් කියලා හිතන්නේ නැහැ. ඉතින් ක්ෂේත්රයේ ඉන්නා ඉතා සුළු පිරිසක් කරන දේවල් තුළින් හැමෝටම එකම ලේබල් එක වදිනවා. නමුත් අපි හොඳට ඉන්නවා නම් එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ.
ඔබ ගොසිප් කියන දේට බයයිද?
අනවශ්‍ය ගොසිප් වලට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ. මේ දවස්වලත් අනවශ්‍ය ආකාරයේ ගොසිප් රැසක් මට නිර්මාණය වෙලා තිබෙනවා. හුඟාක් ගොසිප් නිර්මාණය වෙන්නේ සමාජ මාධ්‍ය තුළින්. ඒවා නිර්මාණය කරන්නේ තමන්ගේ ෆේස්බුක් පිටු ජනප්‍රිය කරගන්න සහ රීච් එක වැඩි කරගන්න. ගොසිප් වලට මම බය නැහැ. නමුත් ඒ ගොසිප් රස කර කර බලන අයට සහ ඒ ගොසිප් නිර්මාණය කරන අය ගැන මට පිළිකුළක් තිබෙනවා. තවත් කෙනෙකුව පහතට දාලා, තවත් කෙනෙකුගේ නම කැත කරලා විනෝද වෙන්න තරම් අද මිනිස්සු පරිහානියට පත්වෙලා තිබෙනවා. ඒ අය ගැන ඇත්තටම කණගාටුයි.
ඉදිරියේදි ක්ෂේත්රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ පිරිසට මොකද්ද ලබා දෙන අවවාදය?
මේ ක්ෂේත්රය හොඳයි. හොඳ ගමනක්, හොඳ අනාගතයක් හදාගන්න පුළුවන්. හැබැයි තමන්ගේ ගෞරවය රැකෙන පරිදි තමන් වැඩ කරන්න ඕනේ.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ලොකු බලාපොරොත්තු නැහැ. හොඳ සහ වෙනස් නිර්මාණවලට ආරාධනා ලැබුණොත් නොවරදවාම මම ඒවාට දායක වෙනවා.
ඔබේ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?
මුලින්ම මගේ රසිකයන්ට සහ හැමදෙනාටම මේ නව වසර සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ වැරදි පෙන්වලා දුන්නු, මට ආදරය කරන හැමදෙනාටම මෙච්චර කාලයක් හිටියා වගේම ඉදිරියටත් අපි සමග ඉන්න කියලා කියනවා. ඒ හැමදෙනාටම ස්තූතියි කරනවා.
සටහන- කැළුම් දේවින්ද / ඡායාරූප - සරසි නෙත්මිණි