අද ශ්‍රී ලංකාවේ පැජන්ට් නම් 100ක් විතර තියෙනවා
පසුගියදා පැවති ලෝක රූ රැජින තරග බිම නියෝජනය කරන ශ්‍රී ලාංකේය රූමතිය තෝරා පත්කර ගැනීමේ ‘සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ තරගාවලියේ ජය දුශේනි ද සිල්වා විසින් හිමිකර ගන්නා ලදී. ඒ අනුව ශ්‍රී ලාංකේය රූප රාජිනී තරග ඉතිහාසයේ මිල අධිකම කිරුළ දැරීමට ඇය හැකි විය. එය ඇයගේ වාසනාව බව ඇය පවසයි.
කිරුළක් පැලැඳි කෙනෙක් විදිහට අද මොකද හිතෙන්නේ?
මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කියන්නේ මගේ ජීවිතේ තිබුණු ලොකුම හීනයක්. මම මේකට ගොඩක් මහන්සි වුණා සහ ගොඩාක් කැපකිරීම් කළා. හුඟාක් සතුටුයි ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණ එකට. ලෝකයේ තියෙන ලොකුම සහ පැරණිම තරගාවලිය තමයි මිස් වර්ල්ඩ් කියන්නේ. අනිත් පැජන්ට් වලට වඩා වෙනස් තරගයක්. මම ගොඩාක් වාසනාවන්තයි කියලා තමයි මට දැනෙන්නේ.
විශාල වටිනාකමක් තියෙන කිරුළක් පැලඳීමට තරම් ඔබ වාසනාවන්ත වුණා නේද?
ඇත්තටම ඔව්, මම ගොඩාක් වාසනාවන්තයි. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ තරම් වටිනා කිරුළක් පැලැන්දුවේ. මේක ලක්ෂ 190ක් වටිනා කිරුළක්. රාජා ජුවලර්ස් වලින් තමයි මේ කිරුළ දුන්නේ. ධනංජය බණ්ඩාර තමයි මේ කිරුළ නිර්මාණය කළේ. ලංකාවේ තියෙන මැණික් ගල් වලින් තමයි මේක අලංකරණය කරලා තියෙන්නේ. මගේ මහන්සිය, කැපවීම මම උපරිම විදිහට භුක්ති විඳිනවා. ඒ කිරුළ මට මුලින්ම පැලඳ වීම භාග්‍යයක් විදිහට තමයි මම දකින්නේ.
මේ තරම් වාසනාවන්ත වෙයි කියලා හිතුවද?
මම මෙච්චරම වාසනාවන්තයි කියල නම් හිතුවෙ නැහැ. මගේ හිතේ හැමදාම තිබුණා ඉලක්කයකට යනවා කියලා. මොකද මම මගේ ඉලක්කය සම්පූර්ණ කර ගත්තා. දැන් ඉස්සරහට තියෙන්නේ මේකෙ ජාත්‍යන්තර තරගාවලිය. ලබන මාසේ 18 වැනිදා මම චීනය බලා පිටත් වෙනවා. එතැනින් එහා තමයි ඉතුරු ටික කරන්න තියෙන්නේ. මගේ වයසත් එක්ක මම සාර්ථකයි කියලා හිතෙනවා.
ඔබේ වයසත් එක්ක ජාත්‍යන්තරයට යන්න ලැබුණ එකත් යම්කිසි අභියෝගයක් නේද?
ඇත්තටම ඒක අභියෝගයක්. මම කලින් කිව්වා වගේ වාසනාවක් හින්දා තමයි අවුරුදු 22 වෙනකොට ජාත්‍යන්තරයට යන්න අවස්ථාව ලැබෙන්නේ. ලෝකේ තියෙන ලොකුම තරගාවලිය තමයි ලෝක රූ රැජින කියන්නේ. මේ තරගාවලියට යන්න ලැබීමත් වාසනාවක්. පොඩි කාලයක් ඇතුළතදී මම කරපු කැපකිරීම්, මම ගත්ත අත්දැකීම් තමයි අද මම මේ භුක්ති විඳින්නේ.
රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළ ඔබ කොහොමද නිරූපණයට පැත්තට යොමු වුණේ?
මම රංගන ක්ෂේත්රයට පිවිසුණේ අවුරුදු 20දී. 2015 පැවති අයි.ටී.එන් අවුරුදු කුමරිය තරගයෙන් පස්සෙ තමයි මම ක්ෂේත්රයට එන්නේ.
මගේ ඔළුවෙ තිබුණු එකම ආසාව සහ හීනය තමයි ලෝක රූ රැජින තරගයට යන්න. රංගන ශිල්පිනියක් වුණාට මට තාම වයස අවුරුදු 22යි. ඉතිං මට වයස, රූපය බුද්ධිමත් බව තියෙන නිසා තමයි ලෝක රූ රැජින තරගයට අයදුම් කළේ.
මුල්ම නිර්මාණය මොකක්ද?
මුලින්ම මම දායක වුණේ නිල්වලා ආයතනයෙන් කරපු ‘ආදර වැස්ස’ ටෙලි නාට්‍යයට. ලලිත් වසන්ත මහත්මයා තමයි මාව ඒ නාට්‍යයට ගත්තේ. ඒ නාට්‍යයයේ පුංචි චරිතයක් දීලා ඊට පස්සේ ‘ආදරේ ගින්දරක්’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් දුන්නා.
එම නාට්‍ය තුළින් දැක්කේ ඔබේ අහිංසක බවක්? ඒ චරිතයට විතරද?
නැහැ. මම ඇත්තටම අහිංසකයි කියලා හැමෝම කියනවා. දැනට මම රංගනයෙන් දායක වෙලා තියෙන්නෙත් අහිංසක චරිත 04කට තමයි. ටෙලිනාට්‍ය දෙකක් ඒ අතරින් විකාශය වුණා. චිත්‍රපටයකත් අහිංසක චරිතයක් මම කළා. ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙනවා වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න. මම කැමති නැහැ අහිංසක චරිතය තුළින් සම්පූර්ණයෙන්ම බැහැර වෙන්න. නමුත් උත්සාහ කරනවා ඒ චරිතය ඇතුළේ වෙනසක් කරන්න.
ඔබ චිත්‍රපටයක් ගැනත් සඳහන් කළා?
ඔව්, ඒක මගේ පළවෙනි චිත්‍රපටයයි. සේනක විජේසිංහගේ ‘මේඝ’ කියන චිත්‍රපටය. ඒක මේ අවුරුද්ද අන්තිමේදි හරි ලබන අවුරුද්ද මුලදී හරි තිරගත වෙයි.
අද ක්ෂේත්රය තුළ නවකයන්ට ඇති අවස්ථාවන් ගැන මොකද හිතෙන්නේ?
හොඳයි. මමත් තාම ක්ෂේත්රයට අලුත් කෙනෙක්. අපි හොඳට තෝරා බේරාගෙන දේවල් කරන්න ඕන. ගොඩාක් අලුතින් එය අය හිතන්නේ හැම එකක පෙනී හිටියම ජනප්‍රිය වෙනවා කියලා. නමුත් එහෙම නෙවෙයි. තමන්ට ගැළපෙන දේ තෝරගෙන වැඩකටයුතු කරන්න ඕන. අද ශ්‍රී ලංකාවේ පැජන්ට් නම් 100ක් විතර තියෙනවා. හැබැයි මම පිළිගන්න පැජන්ට් දෙකයි ලංකාවෙ තියෙන්නේ. ඒ විශ්ව රූ රැජින සහ ලෝක රූ රැජින කියන තරග දෙක. මේ පැජන්ට් දෙකෙන් එකක් හරි ජයග්‍රහණය කරන්න කෙනෙක්ට අවස්ථාව ලැබෙනවා නම් ඇය වාසනාවන්තයි. අද ගොඩක් නවක අය විවිධ පැජන්ට් සඳහා යන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි අපි දෙයක් කරන්න ඕන හොඳ තෝරා බේරාගැනීමක් ඇතුවයි කියල තමයි මම නම් හිතන්නේ.
පාසල් කාලේ ඉඳලම බලාපොරොත්තු වුණු දෙයක්ද මේ රංගන ක්ෂේත්රය කියන දේ?
නැහැ. පාසල් කාලේ මට රංගනය ගැන කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ලෝක රූ රැජිනක් වෙන්න ඕන කියන දේ ඒ කාලෙ ඉඳන්ම මගේ ඔළුවෙ වැඩ කරපු දෙයක්. ඒ වගේම මගේ තාත්තටත් විශාල ඕනකමක් තිබ්බා ලෝක රූ රැජින තරගය වෙනුවෙන් ලංකාවෙන් මාව ඉදිරිපත් කරවන්න. එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න පුළුවන් වුණ එක ගැන නම් මට ලොකු සතුටක් තියෙනවා.
ඒ කියන්නේ ජාත්‍යන්තර කිරුළක් සඳහා ලොකු හීනයක් තිබුණේ ඔබේ පවුලේ අයටද?
අනිවාර්යෙන්ම ඔව්. මට ගෙදරින් විශාල සහයෝගයක් ලැබුණා. මට ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. ඒ තුන්දෙනා විශාල සහයෝගයක් දුන්නා. ඒ අය නැත්නම් මම අද මෙතන නැහැ. අවුරුදු දෙකක් තිස්සේ ඒ අය තමයි මගේ හැම වැඩක්ම කළේ. දැන් මගේ නම ඉතිහාසයේ ලියවිලා ඉවරයි. ඒ දේවල් වලට ගෙදරින් ලැබුණ සහයෝගය විශාලයි.
ජීවිතේ ලොකුම බලාපොරොත්තුව?
අද වෙනකොට මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ලෝක රූ රැජින කිරුළ දිනාගන්න එක. ඒකට මාසයකටත් අඩු කාලයක් තමයි තියෙන්නේ. මගේ කැපකිරීමත් එක්ක ඒ කිරුළ ලංකාවට රැගෙන ඒම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මේ වෙනකල් ලංකාවේ කිසිම කෙනෙක් ලෝක රූ රැජින තරගයෙන් අවසන් විසිදෙනා අතරට ඇවිල්ලා නැහැ. මගේ ලොකුම බලාපොරොත්තුව ඒ පැත්තෙන් මගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න තමයි.
ශක්තියක් සහ උදව් කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?
මේ තරගාවලියේදී මට ලොකු ශක්තියක් වුණේ මගේ පවුලේ අයයි. ඒ වගේම තමයි අනුජ් රණසිංහ. එයත් මට ගොඩක් උදව් කළා. මොඩ්ල් ෂොප් ආයතනයේ සංගීතා වීරරත්න, ධනංජය බණ්ඩාර, රමණි ප්‍රනාන්දු, ෂෙරීන් කුමාරතුංග, උමාදි සිල්වා, සේනක ද සිල්වා අය ඇතුළු ගොඩක් දෙනෙක් ඉන්නවා. මගේ ඇක්ට් එක හැදුවේ අයේෂා මධුශානි. අංගම්පොර ඇක්ට් එකක් කළේ සනුන් ප්‍රන්නාදු. ඒ හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. තව විශේෂයෙන් ස්තූති කරන්න ඕන ප්‍රසන්න පද්මනාදන්ට. ඔහු මගේ පෞරුෂයත්වය වැඩි කරගන්න ගොඩක් උදව් කළා. නම් නොකියවුණු ගොඩක් අය ඇති. මේ හැමෝටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
Dilan Chryshantha / Pix - Sandun Gamage