අද විවිධ චරිත රඟපාන නළුනිළියෝ අඩුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

  2018-04-19-ent-01

තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියන් අතරේ ප්‍රමුඛ තැනක් ශාලිකා එදිරිසිංහට හිමිවේ. ‘සියත’ රූපවාහිනි නාළිකාවේ මේ වනවිට විකාශය වන ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘සඳ එළිය’ ටෙලි නාට්‍යයේ ‘විජිතා’ ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවටද එයි. මේ ‘සාරවිට’ තරු කතා බහ සමගින් ඇය එක්වූ මොහොතක්.

 

ශාලිකා කියන්නේ මේ දවස්වල කාර්යබහුල නිළියක්?2018-04-17-ent-03

ඔව්, මේ දවස්වල ටෙලි නිර්මාණ කිහිපයකම වැඩ කරගෙන යනවා. ‘සියත’ රූපවාහිනියේ විකාශය වෙන ‘සඳ එළිය’ ඒ අතරින් එක් ටෙලි නාට්‍යයක්. ඊට අමතරව අරුණ අබේරත්නගේ ‘අන්දර යාය’ හා දනුෂ්ක පෙරේරාගේ ‘පින්ක්’ කියලා තවත් ටෙලි නාට්‍යය දෙකක වැඩ කරනවා. ඉදිරියට රූපගත කිරීමට නියමිතව ඇති තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම මේ වනවිට මම සම්බන්ධ වෙලා ඉන්නවා.

 

මෑතක ඔබ සම්බන්ධ වුණ හැම නිර්මාණයකම ඔබට ලැබුණේ එකිනෙකට වෙනස් චරිත?

දැන් වැඩ කරන දනුෂ්ක පෙරේරාගේ ‘පින්ක්’ ටෙලි නාට්‍යයේ මා නිරූපණය කරන ‘විලන්’ චරිතයක්. ටෙලි නාට්‍යවල කාන්තා ‘විලන්’ චරිත අඩුයිනේ කොහොමත්. ඉතින් ඒක මගේ රංගන දිවියේ ලැබුණ වෙනස්ම චරිතයක්. සියතේ විකාශය වන ‘සඳ එළිය’ ටෙලි නාට්‍යයේ ‘විජිතා’ කියන චරිතයත් වෙනස් එකක්.

 

වෙනසකටත් එක්කද පසුගිය කාලේ ඔබ හාස්‍යමය චරිතවලට දායක වුණේ?

ක්ෂේත්‍රය තුළ අද ඕන තරම් නළුනිළියෝ ඉන්නවා එකම රාමුවකට කොටු වෙච්ච. විවිධ චරිතවල යෙදෙන අය අඩුයි. සමහරු වාරණ දාගෙන ඉන්නවා. මම හිතන විදිහට නම් නළුවෙකුට හෝ නිළියකට ඕනෑම චරිතයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුයි. හාස්‍යමය චරිත සඳහාත් මම යොමු වුණේ ඒ නිසා. මොකද හැමවෙලාවෙම මම බලාපොරොත්තුවෙන දේ තමයි එකම චරිතයට කොටු නොවී එකිනෙකට වෙනස් විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට එන එක.

 

ක්ෂේත්‍රයට ඇවිල්ලත් ඔබ දැන් බොහෝ කාලයක් වෙනවා නේද?

ඔව්, වසර 16ක් විතර වෙනවා. පාසල් කාලයේ ඉඳලා තමයි මම කලා කටයුතුවලට යොමු වුණේ. ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ලොකු කාලයක් වුණාට, නිර්මාණ අතින් ගත්තොත් මගේ සාමකාලීන නළුනිළියන්ට වඩා ඉතා අඩු නිර්මාණ ප්‍රමාණයකට තමයි මම දායක වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මම හැම වෙලාවේම මට ලැබෙන නිර්මාණයේ මට කරන්න තියෙන චරිතය ගැන හිතන නිසා. මට හොඳයි කියලා හිතුණ චරිතයක් භාරගෙන එය සිදු කළා ඇරෙන්න, හැම එකකටම ගිය රංගන ශිල්පිනියක් නෙවෙයි.

 

ශාලිකා කියන්නේ ටෙලි නිර්මාණවලට පමණක් සීමා වුණ කෙනෙක්ද?

නැහැ. පසුගිය කාලේ මම සිනමා නිර්මාණවලටත් දායක වුණා. නමුත්, ඒවා තවමත් ප්‍රදර්ශනය වුණේ නැහැ. නම් වශයෙන් ගත්තොත් ‘බුද්ධි’, ‘සරුංගල්’ හා ‘තුන් වරක් තුන’ කියන චිත්‍රපටවල මම රඟපෑවා. බොහෝ විට මේ චිත්‍රපට අතරින් එකක් හෝ මේ වසරේදී තිරගත වෙයි කියලා මම හිතනවා.

 

ක්ෂේත්‍රයට නිරන්තරයෙන්ම අලුත් මුහුණ එනවා. ඔබට ඔවුන් අභියෝගයක්ද?

අද එන නළුනිළියන් හෝ මා සමග සිටින මගේ සමකාලීන නළුනිළියන් හෝ ඒ අය මට අභියෝගයක් නෙවෙයි. මම කියන්නේ මට තියෙන අභියෝගය තමයි මට ලැබෙන චරිතත්. ඒක නිසා මම හැමවෙලේම ඉන්නේ මම කරන නිර්මාණයත් එක්ක හා මට ලැබෙන චරිතයට සාධාරණයක් කරනවා කියන තැන. අලුත් පරණ නළුනිළියන් මට හා මගේ රංගන දිවියට අදාළ නැහැ.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - චානුක කුලසේකර

 

2018-04-19-ent-02