අද නම් මොනම ක්ෂේත්‍රයක වුණත් රැඳිලා ඉන්න අමාරුයි
රූපවාහිනි නාළිකා කිහිපයක විකාශය වූ ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ පසුගිය දිනවල දී මුණගැසුණ රිතූ ආකාර්ෂා මෙවර ‘සාරවිට’ තරු කතාබහට අපි සම්බන්ධ කරගත්තෙමු. හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වූ ‘හිරු තනිවෙලා’ නාට්‍යය හරහා රංගනයට පිවිසි රිතූ වර්තමානය වනවිට බොහෝ පිරිසගේ ආදරය දිනා සිටින යොවුන් රංගන ශිල්පිණියකි. ඉදිරියේ දී තවත් ටෙලි නිර්මාණ බොහෝමයකින් ඔබ හමුවීමට සූදානමින් සිටින රිතූ ඒ පිළිබඳව අපට පැවසුවේ මෙවැන්නකි.
රිතූ කියන්නේ දැන් කාර්ය බහුල රංගන ශිල්පිණියක්?
එහෙම කිව්වොත් හරි, පසුගිය දිනවල එක දිගට ටෙලි නාට්‍යය කිහිපයක රූපගත කිරීම් කටයුතුවලට දායක වුණා. මේ දවස්වල පුංචි විවේකයක් ලැබිලා තියෙනවා. ඒත්, තවත් භාරගත්ත වැඩ ගොඩක් තියෙනවා ඉදිරියටත් කරන්න.
අන්තිමට රිතූව අපි දැක්කේ?
ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘තුරුම්පු ආසියා’, ජාතික රූපවාහිනියේ විකාශය වුණ ‘චුට්ටේ’, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘සසර සේයා’ හා හිරු රූපවාහිනියේ විකාශය වුණ ‘මල් හතයි’ කියන ටෙලි නාට්‍යය. ඉදිරියට එන්න තියෙනවා ‘කිරුළි’, ‘අවසන් වටය’ හා ‘තුත්තිරි’ කියන ටෙලි නාට්‍යය.
දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලත් කාලයක් වෙනවා නේද?
ඔව්, වසර 7ක් විතර වෙනවා. මුලින්ම ක්ෂේත්‍රයට ආවේ හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘හිරු තනිවෙලා’ කියන ටෙලි නාට්‍යයෙන්.
රිතූ ප්‍රේක්ෂකයන් අතර නමක් හදාගත්තේ ‘උතුම් පැතුම්’ නාට්‍යයේ ‘වරුණි’ කියන චරිතය හරහා?
ඔව්, ප්‍රේක්ෂකයෝ ‘වරුණි’ ගැන ගොඩක් කතා කළා. මම හිතන්නේ මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය වුණේ ‘වරුණි’ චරිතය. අද වනවිට නම් ‘වරුණි’ කියන චරිතයට අමතරව ‘කාසි වත්ත’, ‘ආදර වැස්ස’, ‘සසර සේයා’ හා ‘චුට්ටේ’ කියන නාට්‍යවල මම කරපු චරිතත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත්තා.
ඔබට ලැබුණ චරිත හැම එකක්ම වගේ විවිධාකාර චරිත. මේක වාසනාවක් කියලා හිතනවාද?
මම කරපු හැම චරිතයක් වගේම ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තිබුණා. ඒ වගේම තමයි මම පෙම්වතියට පමණක් සීමා නොවී දුෂ්ට චරිතවල පවා රඟපෑවා. මට අවශ්‍ය කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන්න නෙවෙයි, චරිතාංග නිළියක් වෙන්න.
විවිධාකාර චරිත ඔබට ලැබෙන්නේ, ඔබ ඒවා තෝරා බේරා ගෙන රඟපාන නිසාද?
ඔව්, මම චරිත තෝරා බේරා ගෙන රඟපානවා. එදා සිටි නළුනිළියන් එක්ක ගත්තොත් අපි අවාසනාවන්තයි කියලා මම හිතනවා. දැන් ඉන්දියන් නාට්‍ය එක්ක අපේ නිර්මාණයකට තියෙන්නේ අඩු තැනක්. නාළිකාවල විකාශය කරගන්න බැරිව ගොඩක් ටෙලි නාට්‍යය තියෙනවා. ඒ වගේම අද හොඳ නිර්මාණ බිහිවෙන්නේ නැහැ. අපේ හැකියාවන් ඉදිරිපත් කරන්න තරම් නිර්මාණ ලැබෙන්නේ නැහැ. නිෂ්පාදකවරු ටෙලි නාට්‍යය කරන්න බයයි, ඒවා විකාශය කරගන්න බැරි වෙයි කියලා. අපෙන් මීට වඩා වැඩ කරගන්න තිබුණා. ඒ තරමට අපේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් දක්ෂ අය ඉන්නවා. කලාව අතින් ගත්තොත් අද අමාරු කාලයක් ලබලා තියෙන්නේ කියලා මට හිතෙනවා.
රිතූ ටෙලි නිර්මාණවලටද වැඩි තැනක් දෙන්නේ?
සිනමාවටත් සම්බන්ධ වෙන්න කැමතියි. ගොඩක් ආරාධනත් ලැබුණා. නමුත්, හොඳ නිර්මාණයක් ලැබුණෙ නැහැ. හොඳ අධ්‍යක්ෂවරයෙකු යටතේ හොඳ චරිතයක් ලැබුණොත්, අනිවාර්යයෙන්ම සිනමාවටත් මගෙ දායකත්වය ලබාදෙනවා.
ක්ෂේත්‍රයට එන්න කලින් නම් ඔබ නිරූපිකාවක්?
ඔව්, නිරූපිකාවක් විදිහට වැඩ කළා. නමුත්, ලොකුවට නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න හැකි වුණේ නැහැ. නිරූපිකාවක් විදිහට මම දායක වුණෙත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට පමණයි. ඔය අතරේ තමයි ‘හිරු තනිවෙලා’ නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ.
දැන් වෘත්තියෙන් රංගන ශිල්පිනියක්ද ඔබ?
ඔව්, දැනට මම වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්. කලා කටයුතුවලටම මම කාර්ය බහුල වෙලා ඉන්න නිසා වෙනත් වැඩකට යොමු වෙන්න මට කාලයක් හොයා ගන්න එක දැන් අපහසුයි.
ක්ෂේත්‍රයට එන නවකයන් නම් ඉක්මනින් තමන්ගෙ ස්ථානය හදාගන්න බලනවා. ඒ ගැන රිතූ දරන අදහස මොකක්ද?
මම නම් මේ ක්ෂේත්‍රය තුළ බොහොම හෙමින් ගමනක් යන කෙනෙක්. ඉස්සර නම් අධ්‍යක්ෂවරු උපදෙස් දීලා අපේ රංගන හැකියාවන් වැඩි දියුණු කරනවා. නමුත්, අද ඒ තත්ත්වය නැහැ. ඉතින් අපි දැනගන්න ඕන අපේ දක්ෂතා අපිම වර්ධනය කරගන්න. අපේ නම හදාගන්න ඕන, අපේ පැවැත්ම හදාගන්න, ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්න ඕන, මේ කියන හැමදෙයක්ම අප විසින් අද කරගන්න ඕන. එවිට අපිට ලැබෙන නිර්මාණයට සාධාරණයක් කරන්න පුළුවන්, එහෙම වුණාම අපිට අපේ තැන නිකම්ම හැදෙනවා. මොනයම් ක්ෂේත්‍රයක වුණත් වර්තමානයේ නම් රැඳිලා ඉන්න ගොඩක් අමාරුයි. නමුත්, වාසනාව, දක්ෂතාවය මේ හැමදෙයක්ම අද මේ ක්ෂේත්‍රය තුළ රැදෙන්න නම් අවශ්‍යයි.