අද ගොඩක් අය කැමති ප්‍රසිද්ධ වෙන්නයි
ජයමාලි එරංගිකා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් සමග නිරූපණ ක්ෂේත්රයේ නිරත වන දක්ෂ නිරූපිකාවක්. කාලයක් නිහඬව සිටි ඇය නැවතත් මේ වනවිට වැඩ කරන්නට පටගෙන තිබෙනවා. මේ කතාබහ ජයමාලි සමගයි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම ජයමාලි එරංගිකා විජේසූරිය. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයේ වැඩකටයුතු කරනවා. නමුත් වසර දෙකකින් විතර ටිකක් ඈත් වෙලා හිටියා. දැන් ආයෙත් වැඩ පටන් ගත්තා. ඊට අමතරව පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා.
නිරූපණයට පිවිසෙන්නේ?
මම 2011දි වගේ තමයි නිරූපණ ක්ෂේත්රයේ ගමන ආරම්භ කරන්නේ. මගේ මුල්ම පියවර තමයි රොසෑන් ඩයස් මහත්මියගේ මොඩ්ලින් ඇකඩමිය. නිරූපිකාවක් වෙන්න ඕනේ කියලා මගේ ඔළුවේ අදහසක් තිබුණේ නැහැ. මොකද මම ටිකක් උස කෙනෙක්. ඒ නිසා මම කවදාවත් high heels දාලා නැහැ. අම්මා තමයි මාව රොසෑන් ඩයස් මහත්මියගේ ඇකඩමියට සම්බන්ධ කළේ. එතනින් හදාරලා තමයි ෆීල්ඩ් එකට එන්නේ. ඊටපස්සේ මම පැජන්ට් ජයග්‍රහණය කරනවා.
ඔබ ජාත්‍යන්තර ජයග්‍රහණ සහිත නිරූපිකාවක්?
මගේ මුල්ම පැජන්ට් එක තමයි 2012 දෙරණ මිස් ශ්‍රී ලංකා. 2012 වසරේ asian super model තරඟාවලියෙන් ලංකාවෙන් පළමු ස්ථානය මම ජයග්‍රහණය කරනවා. ඊටපස්සේ මම චීනයේ පැවතුණු පැජන්ට් එකෙන් Best figure සහ top 10 කියන මිනි ටයිට්ල් දෙක හිමි වුණා. ඒ වගේම 2015 ෆේස් ඔෆ් බියුටි තරඟාවලියට මාව නොමිනේට් වෙනවා. ඒකේ අවසාන තරඟාවලිය පැවැත්වුණේ තායිවානයේ. එහිදී මම miss tourism ambassador ටයිට්ල් එක ජයග්‍රහණය කරනවා. ඒ වගේම මම 2013 සියත මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකට සහභාගී වෙනවා. එහි face of the year සහ top 05 යන ටයිට්ල් ජයග්‍රහණය කළා. ඊට අමතරව තවත් පැජන්ට් ජයග්‍රහණ රැසක් තිබෙනවා.
වෘත්තීමය වශයෙන් නිරූපිකාවකට ක්ෂේත්රයේ නිරත වෙන්න පුළුවන්ද?
වෘත්තීමය වශයෙන් ලංකාවේ නිරූපණ ශිල්පිනියකට වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව තමයි අපේ ක්ෂේත්රය හරිම පොඩියි. මම වැඩ කරන්න පටන් ගත්තු කාලේදී ඇත්තටම අපිට වැඩ ගොඩක් තිබුණා. හැමදාම වගේ ෆැෂන් ෂෝ තිබෙනවා. ඒ නිසා ඒ කාලේදි අපි වෙනම රැකියාවක් කළේ නැහැ. සමහර අය විනෝදාංශයට වගේම වෘත්තීයක් විදිහටත් නිරූපණය කරනවානේ. මමත් වැඩියෙන්ම ෆීල්ඩ් එකට කැමැත්ත තිබුණු නිසයි කළේ. නමුත් අද නිරූපණය වෘත්තීමය වශයෙන් කරගෙන යද්දි තමන්ටම තේරෙනවා මොඩ්ලින් විතරක්ම කරලා හරි යන්නේ නැහැ කියලා.
දැන් ගොඩක් අය ක්ෂේත්රයට එන්නේ සෝෂල් මීඩියා හරහා. ඇත්තටම 2011/12 වගේ කාලයේදී සෝෂල් මීඩියා ලොකුවට තිබුණේ නැහැනේ. එතකොට අපේ ජයග්‍රහණ, ෆැෂන් ෂෝ වල පිංතූර හැම එකක්ම ගියේ මැගසින් වල හෝ රූපවාහිනී වැඩසටහන්වල. අද ඇත්තටම කෙනෙකුට නිරූපණ ශිල්පිනියක් වෙන්න ඇඳුමකුයි ෆොටෝග්‍රැෆර් කෙනෙකුයි හිටියාම ඇති. ඒ ගැන හරිම දුකයි. අපි ක්ලාස් වලට ගිහිල්ලා, ඉගෙනගෙන, මහන්සි වෙලා ආවේ. එතකොට තමයි අපිට කිසිම තැනක වැරදුණේ නැත්තේ. මොකද අපි ඉගෙනගත්තේ, වැඩ කළේ ක්ෂේත්රයේ ප්‍රවීණ සහ දක්ෂ අයගෙන්. නමුත් දැන් ඉන්න අයගෙන් බහුතරයක් හිතාගෙන ඉන්නේ වෘත්තීමය නිරූපිකාවක් වෙන්න හරිම ලේසියි කියලා. ක්ෂේත්රයෙන් එළියේ ඉන්න අය හිතන්නෙත් සපත්තු දෙකක් දාගෙන ඇඳුමක් ඇඳගෙන් ramp එකේ එහාට මෙහාට ඇවිදින එක හරිම ලේසි වැඩක් කියලා. ඒක වැරදි අදහසක්.
සෝෂල් මීඩියා හරහා එන ශිල්පිනියන්ගේ පැවැත්ම අඩුයිද?
මෙහෙමයි. ඒක ගුණාත්මකභාවයත් එක්ක තිබෙන දෙයක්. අද ෆොටෝ ෂූට් එකක් ෆේස්බුක් එකේ ෂෙයා වුණාම එයා හිතනවා එයා නිරූපණ ශිල්පිනියක් කියලා. කන්සෙප්ට් එක, කන්සෙප්ට් එකට හැමදේම ගැලපෙනවාද?, ලොකේෂන් ගැලපෙනවාද?, ෆොටෝවල කලර්ස්, ඇඳුම් ඇතුළු හැමදෙයකම එකතුවක් තමයි පිංතූරයක් කියලා කියන්නේ. එතකොට මේ ඔක්කෝම එකතු වුණු තැනක තමයි පිංතූරයේ ගුණාත්මකභාවය තිබෙන්නේ. ගොඩක් අය හිතන්නේ කොහේහරි තැනක ඇඳුමක් ඇඳලා ෆොටෝ ගත්තාම නිරූපිකාවක් වනවා කියලා. ගුණාත්මකභාවයකින් අපි දෙයක් කරනවා නම් ඒකට වටිනාකමක් නිර්මාණය වනවා. ඒ වගේම අයට පැවැත්මක් තිබෙනවාද නැද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඒ ශිල්පීන් වැඩ කරන දිහා බැලුවාම.
ඒ වගේම අද ගොඩක් අය කැමති ප්‍රසිද්ධ වෙන්න. අපි දකිනවා හැම කෙනාම ෆේස්බුක් එකේ freelance model කියලා දාලා තියෙනවා. ඇත්තටම සමහර අය මොඩ්ල් කෙනෙක් කියන්නේ මොන වගේද කියලාවත් ඒ අය දන්නේ නැහැ. ඒ වගේම සමහර අය කරන වැරදි දේවල් නිසා තමයි එළියේ සමාජය ක්ෂේත්රය දිහා සහ නිරූපණ ශිල්පිනියෝ දිහා වැරදියට බලන්නේ. සෝෂල් මීඩියා හරහා ක්ෂේත්රයට ඇවිත් ඊටපස්සේ නිරූපණය ගැන හොඳට ඉගෙනගෙන, වැඩ කරලා ගොඩක් අයට හරි ගිහින් තිබෙනවා. ඔවුන් පැවැත්ම හදාගෙන තිබෙනවා.
ඔබ නිරූපණයෙන් සම්බන්ධ වී තිබෙන නිර්මාණ මොනවාද?
මෙහෙමයි. මම ඇත්තටම ගොඩක් උසයි. මුල් කාලේදී මම ස්ක්‍රීන් ටෙස්ට්වලට ගියා. එතකොටම මගේ උස එයාලාට බලපානවා. ගොඩක් අය හිතන්නේ මොඩ්ල් කෙනෙක් කියන්නේ කොට මහත අයට කියලා. ඒ නිසා මේ වෙද්දි මම ටීවි කමර්ෂල්, මියුසික් වීඩියෝ වගේ දේවල්වලට සම්බන්ධ වෙන්නේ නැහැ. නිරූපිකාවක් කියන්නේ ටී.වී. කමර්ෂල්ම විතරක් කරන කෙනෙක් නෙවෙයිනේ.
ජාත්‍යන්තර තරඟාවලි සහ ලංකාවේ තරඟාවලි අතර තිබෙන වෙනස කොහොමද?
ඇත්තටම ලෝකයේම පිළිගන්න පැජන්ට් තියෙන්නේ තුනයිනේ. ඒ මිස් යුනිවර්ස්, මිසිස් වර්ල්ඩ් සහ මිස් වර්ල්ඩ්. ඊට අමතරව පොඩි පොඩි නිරූපණ තරඟාවලි තිබෙනවා. ලංකාවේ දැන් තමයි හැමතැනින්ම පැජන්ට් බිහිවෙන්නේ. 'මිස් ශ්‍රී ලංකා' කියලා එන්න පුළුවන් එක අවුරුද්දකට එක්කෙනයි. හැබැයි miss sri lanka for face of asia, miss sri lanka for miss world, miss sri lanka for asian super model වගේ අතිරේක පැජන්ට් තිබෙන්න පුළුවන්. අපි ලංකාවනේ නියෝජනය කරන්නේ. නමුත් ලංකාවේ එහෙම තත්ත්වයක් දකින්න නැහැ. ඕනෑ තරම් පැජන්ට් පවත්වනවා. සමහර අයගෙන් සල්ලි ගන්නවා. මම නම් අළුතෙන් එන අයට කියන්නේ හොඳට හොයලා බලලා හොඳ පැජන්ට් එකකට සම්බන්ධ වෙන්න කියලා.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මම ආයෙත් නිරූපණ වැඩ පටන්නවා. ඒවාත් සමගම පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු සහ රැකියාවේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා.
විශේෂයෙන් මතක් කළ යුතු අය ඉන්නවාද?
ඔව්. විශේෂයෙන් රම්සි රහුමාන්, රමණි ෆර්නෑන්ඩු, රොසෑන් ඩයස්, සේනක ඩි සිල්වා, Brian Kerkoven, Lou Ching Wong ඇතුළුම මට උදව් කළ හැමෝවම ආදරයෙන් මතක් කරනවා.
සාකච්ඡා - කැළුම් දේවින්ද