'අංජනා'ට බනින කට්ටිය දැන් අඩු වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-22-ent-39
 

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. ‘අයි.ටි.එන්’ අවුරුදු කුමරිය වීමත් සමග කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට බොහෝ ටෙලි නිර්මාණ කිහිපයකම රංගනයෙන් දායක වී ඇත. එමෙන්ම ඇය ප්‍රධාන චරිත නිරූපණය කරන ටෙලි නාට්‍යය කිහිපයක්ද ඉදිරියේ දී විකාශය වීමට නියමිතය.

 

ටෙලි නාට්‍යය කිහිපයකම අපි ඔබව මේ දිනවල දකිනවා?2018-10-22-ent-40

ඔව්, ‘සියත’ රූපවාහිනියේ විකාශය වන ‘සඳ එළිය’ හා දෙරණ නාළිකාවේ විකාශය වන ‘සිදූ’ ටෙලි නාට්‍යයවල දකින්න පුළුවන්. ‘කොන්කොළ දෝණි’ ටෙලි නාට්‍යයෙත් මා රඟපෑවා. දැන්නම් ඒ ටෙලි නාට්‍යය විකාශය වෙලා ඉවරයි. ඒ වගේම මේ මාසේ 28 වැනිදා ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ඉඩෝර වත්ත’ කියලා අලුත්ම ටෙලි නාට්‍යයකත් මම රඟපානවා. තවත් මම ප්‍රධාන චරිත නිරූපණය කළ ටෙලි නාට්‍යය තුනක් විතර විකාශය වෙන්න තියෙනවා.

 

‘සඳ එළිය’ නාට්‍යයේ ‘නිර්මලා’ටද, ‘සිදූ’ ටෙලි නාට්‍යයේ ‘අංජනා’ටද වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ?

‘අංජනා’ කිව්වොත් හරි. ටෙලි නාට්‍යයේ මා රඟපාන චරිතය විකාශය වුණ කාලේ ඉඳලා මේ චරිතයට ප්‍රේක්ෂකයෝ බනිනවා. මොකද, චරිතය පුරාවටම මම කරන නපුරු වැඩ නිසා. නමුත්, දැන්නම් ටිකක් අඩු වෙලා තියෙනවා. ‘නිර්මලා’ කියන චරිතයට ආදරය කරන වෙනම පිරිසක් ඉන්නවා. ඒත්, පොඩි ළමයින්ගේ ඉඳලා තරුණ වැඩිහිටි මේ හැම කෙනෙක්ගේම ප්‍රතිචාර එක මට්ටමින් ලැබෙනවා ‘අංජනා’ කියන චරිතයට.

 

කාවින්ද්‍යා කියන්නේ දැන් වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්ද?

ඔව්, ‘ජොබ්’ එකක් විදිහට මම රඟපානවා. ඊට අමතරව නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් හදාරනවා. දැනට පළමු වසර ඉවරයි. අධ්‍යාපනය පැත්තෙන් නම් මම රැකියාවකට යොමු වෙන්න අදහසක් නැහැ. දිගටම කලාවේ රැඳලා ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කලාව වෘත්තිය කරගන්න ඕනි, නැත්නම් මේකේ රැඳිලා ඉන්න බැහැ.

 

කවුරුත් නොදන්නවා ඇති කාවින්ද්‍යා කියන්නේ දක්ෂ ක්‍රීඩිකාවක් කියලා?

පොඩි කාලේ මම ගොඩක් ආදරේ කළේ ක්‍රීඩාවට. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ ලොකුම හීනේ වුණේ. ක්‍රිකට්, කරාතේ, නේට් බෝල්, වොලිබෝල් මේ හැම ක්‍රීඩාවක්ම කළා. වොලිබෝල් දිස්ත්‍රික්, පළාත් මට්ටමින් ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා. නේට්බෝල් සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ දිනාගෙන තියෙනවා. කරාතේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් දිනලා තියෙනවා.

 

සිනමාවට තවමත් කැඳවීමක් නැද්ද?

නැහැ. ගොඩක් ආසාවෙන් ඉන්නවා සිනමාවට ආරාධනායක් ලැබෙනකම්. ඒ වගේම ගොඩක් ආසයි වේදිකාවටත් සම්බන්ධ වෙන්න. ටෙලි නාට්‍යය, ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් බොහෝමයකට දැනට මම සම්බන්ධ වෙලා තියෙනවා.

 

රංගන ශිල්පිනියක් වුණ එක ගැන මොකද හිතෙන්නේ?

මම නම් ඒකට ගොඩක් කැමතියි. මේ ක්ෂේත්‍රයට එන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒත්, හැකියාව තියෙන්න ඕන මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න නම්. අනිත් එක මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න ලැබෙන එකත් ලොකු පිනක්.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - සජිව ලක්ෂාන්

 

2018-10-22-ent-38