Dushyanth- Stephanie විවාහය ඉතාලියේදී
මෙම මංගල උත්සවය තරමක අමුතු විදියෙ එකක් ලෙස හැඳින්විය හැකියි. තවත් විදියකට කිව්වොත්, රජ මාලිගයකදී පැවැත්වෙන කුමරකු සහ කුමරියක අතරවූ විවාහ උත්සවයක් මෙනි.
ස්ටෙෆනිගේ යෙහෙළියක් ලෙස සහභාගී වන්නේ බ්‍රෙන්ඩා (කැනඩාවේ පදිංචිව සිටින මෙක්සිකානු ජාතික කාන්තාවකි), ජෝර්ජියා (රුමේනියාව), රංගිකා පතිරණ (ශ්‍රී ලංකාව), ටමාරා අල්කබේන් (කැනඩාවේ පදිංචි ඉරාක සහ ලෙබනන් සම්භවය ඇති), මෙරිකා (පේරු රාජ්‍යය) යන පිරිසය. මෙය සම්ප්‍රදායික යුරෝපීය ක්‍රමයට පැවැත්වෙන මංගල්‍යයකි.
මෙරට සිිටින ප්‍රකට සහ ප්‍රවීන විලාසිතා නිර්මාණ ශිල්පියකු වන මයිකල් විජේසූරිය මනාලිය ප්රමුඛ පිරිවරේ ඇඳුම් නිර්මාණය කර තිබෙන අතර, මනාලයාගේ සහ ඔහුගේ යහළුවන් ඇතුළු පිරිසේ විලාසිතා ආචාර්ය නාමල් බාලචන්ද්රගෙනි. විරාත් සහ අසංක මනාලිය හැඩ වැඩ කිරීමට එක්ව සිටිති.
මෙම මංගල්‍යයේ අලංකරණ සැළසුමේ සිට සියලූ නිර්මාණශීලී සැලසුම් සිදුකරන්නේ ඔන්ඩ්‍රේ ස්ටෙෆන් විසිනි. මෙම පිරිසේ එක් මල් කුමරකු ලෙස සහභාගී වන්නේ සන්තුෂ් වීරමන්ගෙ පුතු ශවේන් වීරමන්ය. එමෙන්ම දුෂ්යන්ත්ගෙ අයියා වන සන්තුෂ්ද මේ මනාලයාගේ යහළු පිරිවරේ චරිතයක් ලෙස පෙනී සිටිනවා. මේ විදියට තවත් අපූරු මංගල්‍යයක් ලෙස පැවැත්වෙන මෙම විවාහ උත්සවය සඳහා දුෂ්යන්ත් සහ ස්ටෙෆනි ඇයි ඒ වෙනුවෙන් ඉතාලිය තෝරා ගන්තෙ? ඒ ගැන මුලින්ම දුෂ්යන්ත් සඳැල්ලට පැවසුවේ මෙලෙසිනි.
‘‘අපි දෙන්නා පෙම්වතුන් බවට පත්වුණේ 2013 දීයි. 2011 ස්ටෙෆනි ශ්‍රී ලංකාවට ඇවිත් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තා. ඉන්පසුව එයා ටෙලිවිෂන් චරිතයක් ලෙස තමයි මට හමුවුණේ. 2008 දී සිරස ඩාන්සින් කිරුළ හරහා මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. මිනිස්සු මට වඩාත් සමීප වුණේ ඒ ජනප්‍රියත්වය සහ මගේ ගායන ශෛලිය නිසයි. නමුත් ස්ටෙෆනි මට ලංවුණේ ඒ කිසිදෙයක් නිසා නෙවෙයි. මම නටනවද? ගායකයෙක්ද? ඒ කිසිවක් ගැන එයා දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා තමයි සැබෑ ආදරය කියන දේ ඇතිවුණේ. මම ස්ටෙෆනිට වඩාත් ලංවුණේ එයාගෙ බාහිර ලස්සන පෙනුමට නෙවෙයි. ඇයගෙ හිත ඇත්තටම පිරිසිදුයි. හරිම කාරුණිකයි. එයාට වඩා එයා අනෙක් අය ගැන හිතනවා. අපි ආගම් දෙකක වුනත්, එයාට භේද නැහැ. මටත් එහෙමයි. ගෙවී ගිය කාලයේදී අපි දෙන්නගෙ ආදරය සුන්දර ලෙසම ගලා ගියේ නැහැ. අපි රණ්ඩු කරගත් අවස්ථා එහෙමත් තිබුණා. ඒ සියල්ල හමුවේ කොහොමද දෙන්නෙක් ජීවිතය පවත්වාගෙන යන්නෙ? කොහොමද විවාහ ජීවිතය පවත්වාගෙන යන්නෙ කියන දේ අපි වටහා ගත්තෙ. අපි දෙන්නම මිනිස්සු දන්නා හඳුනන චරිත වීම නිසා අපට අපේ යාළුවෝ එක්කවත් එහෙ මෙහෙ ගිහින් කතා කිරීමේ නිදහස තිබුණෙ නැහැ. සමහරදාට අපි රාත්‍රී කෑමකට එහෙම ගිහින්, මට ස්ටෙෆනිව එයාගෙ ගෙදරට ඇරලවන්න ගිහින්, පැය තුන හතර කාර් එකේ තමයි කතා කර කර හිටියෙ. බැරිම තැන එයාගෙ ගෙදරින් කිව්වෙ, දැන් ඉතින් ඔය කාර් එකේ කතා කරන එකේ තේරුමක් නැහැ ගෙදරට ඇවිත් කතා කරන්න කියලයි. අනෙක එදා මට තිබුණෙත්, සුපිරි වාහනයක් නෙවෙයි. වාහන කබලක් කිව්වොත් හරි. ඉතින් ඒකයි මම කියන්නෙ ස්ටෙෆනි ආදරය කළේ මට කියලා. සැබෑ ලෙසම එයා ආදරේ කළේ මටයි. මගේ තියෙන්නෙ සිංහලකම සහ බෞද්ධකම. එයාගෙ ආධ්‍යාත්මය වුණේ එයාගේ ආගම. ආත්තම්මාගෙන් ඉගෙන ගෙන එයා පල්ලියට බොහෝම සමීපයි. රණ්ඩුවක් වුණාම ඔන්න ඉතින් මම එයාව පන්සලට නෙවෙයි පල්ලියට එක්කගෙන ගියේ. ඒක තමයි තේරුම් ගැනීම කියන්නෙ.
ස්ටෙෆනි ඇයි විවාහ උත්සවය සඳහා ඉතාලිය තෝරා ගත්තෙ?
අපේ ඥාති පාර්ශවයේ පිරිස ජීවත්ව සිටින රටවල් දිහා බලලා තමයි අපි ඒ තීරණය ගත්තෙ. අපට බොහොමයක් යාළුවොත් ඉන්නවා. මේ ඔක්කෝටම මැද තැනක් තමයි ඉතාලිය. ඉතින් එතැන තෝරා ගත්තා. ඒ වගේම මගේ ආත්තම්මා සහ අම්මාගෙ විවාහ සිදුවුනෙත් මේ විදියටයි. ඒ නිසා දෙන්නම තීරණය කළා, මේ විදියට උත්සවය ඉතාලියේදී පවත්වන්නට. ඒක ඇත්තටම එක අතකට සිහින සැබෑවීමක්. අපි දෙදෙනා ගත්තොත් දෙන්නාට දෙන්නා බොහෝම ආදරෙයි. අපට අවශ්‍යව වුණේ ලෝකයට පෙනෙන්න උත්සවයක් ගන්නවාට වඩා අමතක නොවන විවාහ දිනක අසිරිය සැමදාම ජීවිතයේ රඳවා ගන්නයි. ඉතින් ඒ දවස උදාවුණා. අපි විවාහයෙන් පසුව ලංකාවට ඇවිත් ඉතුරු විස්තර කියන්නම්.
දුෂ්යන්ත් සහ ස්ටෙෆනිගේ මේ විවාහ මංගල උත්සවයට සහභාගි වීම සඳහා තරු රැසක් දැනටමත් ඉතාලියට ගොස් සිටී. ඒ වෙනස් දේශයක සිට, වෙනස් විදියට පවත්වන මංගල උත්සවයක ආස්වාදය විඳ ගැනීම වෙනුවෙනි.
දුෂ්යන්ත් ස්ටෙෆනි යුවළට සුබ මංගලම්.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ