ලංකාවේ ඉන්න දමිළ අය වැඩක් කළාම ඒක බලන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201130Hot (2)

 

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වන වසන්තාව අප මෙවර සාරවිට පිළිසඳරකට ගෙන ආවා. ඇය මේ වනවිට නිර්මාණ රැසකටම දායක වී තිබෙනවා. වසන්තා ඉදිරියේදි ඉන්දීය සිනමාවේදීද දක්නට පුළුවන්.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම වසන්තා කුමාරි. මගේ ගම බදුල්ලේ ලුනුගල. මම දැනට කලා ක්ෂේත්‍රයේ නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව කවි පොතක් ලියාගෙන යනවා.

කලාවට එකතු වෙන්නේ කොහොමද?

මගේ යාළුවෙක් හරහා තමයි ක්ෂේත්‍රයට එන්නේ. පාසැල් කාලේදි නාට්‍ය කරලා තිබුණාට කැමරාවක් ඉස්සරහ රඟපාලා තිබුණේ නැහැ. මට ලැබුණු අවස්ථාවලින් මම උපරිම ප්‍රයෝජන අරගත්තා.

ඔබ දමිල ශිල්පිනියක්ද?

ඔව්. ඒ වුණාට මම සිංහල, දෙමළ දෙපැත්තේම වැඩ කරගෙන යනවා.

දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කතා කරමු?

මුලින්ම සම්බන්ධ වුණේ ෆොටෝ ෂූට් වලට. එතකොට ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිතවලට පෙනී හිටියා. සුදු අඟුරු, ශ්‍රී වික්‍රම ඇතුළු චිත්‍රපට කිහිපයකටත් සම්බන්ධ වුණා. ඉන්දියාවේ දමිල චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. හැබැයි ඒක තවම තිරගත වුණේ නැහැ. ඒ වගේම මම නිවේදිකාවක් විදිහටත් වැඩ කරලා තිබෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයට දමිළ ශිලිපිනියන් සම්බන්ධ වෙනවා අඩුයි නේද?

ඔව් අඩුයි. ලංකාවේ අය ඉන්දියාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට වලට ගොඩක් කැමතියි. ඉන්දීය චිත්‍රපටයක් ආවාම සල්ලි වියදම් කරගෙන ගිහිල්ලා බලනවා. හැබැයි ලංකාවේ ඉන්න දමිළ අය වැඩක් කළාම ඒක බලන්නේ නැහැ. ඒ නිසා ගොඩක් අය සම්බන්ධ වෙනවා අඩුයි.

ඔබ සිංහල නිර්මාණ වලට සම්බන්ධ වෙලා තිබෙනවා. එතකොට භාෂාව ගැටළුවක් වුණේ නැද්ද?

නැහැ. මම ඇත්තටම සිංහල ඉගෙනගෙන නැහැ.මිනිස්සු කතා කරනවා බලාගෙන ඉඳලා මම කතා කරන්න පුරුදු වුණා. මම නිතරම පත්තරවල පොඩි පොඩි දේවල් කියවනවා. ඒකෙන් මම හොඳට කියවන්න ඉගෙනගත්තා. කතා කරනකොට තිබෙන අඩුපාඩු මම හදාගන්නවා. තව ඉස්සරහට මට හොඳටම සිංහල පුළුවන් වෙයි.

ඔබ කලාවට අමතරව වෙන මොනවාද කරන්නේ?

මම මීට අමතරව Home nursing කරනවා. කලාව තමයි මගේ ජීවිතය.

කලාවට ගෙදරින් සහයක් ලැබෙනවාද?

ගෙදරින් ලොකු සහයක් ලැබෙන්නේ නැහැ. මේ ගමන මම තනියමයි ආවේ. මගේ හැමදේම මම කරගත්තේ තනියමයි. අවුරුදු පහළොවේ ඉඳලා මම තනියම තමයි වැඩ කරගත්තේ.

ගමේ ඉඳලා කොළඹ ඇවිත් කලාවට සම්බන්ධ වෙද්දි ලැබුණු අත්දැකීම් ගැන කියමු?

ගොඩක් අත්දැකීම් ලබාගත්තා. දෙමළ, සිංහල ක්ෂේත්‍ර දෙකේම ගොඩක් කැපිලි තිබෙනවා. මමත් ඒවා විඳලා තිබෙනවා. හැබැයි මම ඒවා ගණන් ගන්නේ නැහැ. මම ෆීල්ඩ් එකට ආපු කාලේ ඉඳලා මට හැම පත්තරයකින්ම වගේ ගොඩක් උදව් කරලාත් තියෙනවා.

ඔබ කවි පොතක් ලියනවා කිව්වානේ. ඒ ගැනත් කියමු?

ඔව්. දමිළ භාෂාවෙන් මම කවි පොතක් ලියනවා. මේ දවස්වල ඒකේ සෝදුපත් කියවමින් අනෙක් වැඩ කටයුතු කරනවා. ඊටපස්සේ නවකතාවක් ලියන්නත් බලාපොරොත්තු වෙනවා.

කවුද උදව් කළේ?

මට ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් උදව් කරලා තියෙනවා. නම් කියන්න බැරි තරම් විශාල පිරිසක් උදව් කරලා තිබෙනවා. ඒ හැමෝටම මම මේ අවස්ථාවේදි ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද

20201130Hot (1) 20201130Hot (3) 20201130Hot (4) 20201130Hot (5) 20201130Hot (6) 20201130Hot (7)