ඇත්තටම මේක අහම්බයෙන් ලැබුණු දෙයක්
රූපලාවණ්‍ය ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වන සනුරි මෙවර සාරවිට කතාබහට සම්බන්ධ කරගන්න අප සිතුවා. ඇය කන්සෙප්ට් ෂූට් සඳහා මුල් තැන ලබාදෙන නවක ශිල්පිනියක්. ක්ෂේත්රයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන සනුරි අප සමග කතාබහ කළේ මෙහෙමයි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම සනුරි උදේෂිකා. මම ඉන්නේ නුවර. මම. වෘත්තීයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා.
රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්නේ කොහොමද?
2013දි වගේ තමයි පාඨමාලා හදාරන්න පටන් ගත්තේ. ක්ෂේත්රයේ වැඩ කරන්න පටන් අරගෙන අවුරුදු තුනක් විතර වෙනවා. ඊටකලින් ඉඳලාම තමයි නිරූපණය කරන්නේ
නිරූපණයෙන් දායකත්වය දෙන්නේ මොන වගේ නිර්මාණවලද?
ෆොටෝ ෂූට්, බ්‍රයිඩ්ල් ෂූට් වලට විතරයි. කන්සෙප්ට් ෂූට් ගොඩක් කරනවා.
රූපලාවණ්‍ය ශිල්පිනියක්ව ඔබ අර්ථකථනය කරන්නේ කොහොමද?
ඇත්තටම රූපලාවණ්‍ය ශිල්පිනියක් ක්ෂේත්රය ගැන හොඳට ඉගෙනගන්න ඕනේ. හොඳ ගමනක් දුර ගමනක් යන්න පුළුවන් ක්ෂේත්රයක් මේක. රූපලාවණ්‍ය ශිල්පිනියක් කියන්නේ තව කෙනෙක්ව ලස්සන කරලා සතුටු වෙන්න පුළුවන් එකම කෙනෙක්.
ක්ෂේත්රය ගැන කතා කරමු?
ෆීල්ඩ් එක අද හොඳ තැනක තියෙනවා. හොඳ රූපලාවණ්‍ය ශිල්පිනියන් ඉන්නවා. හොඳට වැඩක් කරන්න පුළුවන් අළුත් ශිල්පිනියන් ඉන්නවා. පරණම අයත් එක්ක බැලුවාම ගොඩක් දක්ෂ අය ඉන්නවා. මම ඒ අයගෙනුත් දේවල් ඉගෙනගන්නවා. ආදර්ශවත් විදිහට වැඩ කරන අයත් ඉන්නවා. ඒ නිසා ක්ෂේත්රය ගැන ගොඩක්ම සතුටු වෙන්න පුළුවන්.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
නිරූපණයටයි රූපලාවණ්‍ය ක්ෂෙත්රයටයි දෙකටම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ ලොකු අම්මා තමයි වැඩවලදි ඇඳුම් නිර්මාණ කටයුතු කරන්නේත්.
රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න හිතුවේ ඇයි?
ඇත්තටම මේක අහම්බයෙන් ලැබුණු දෙයක්. බියුටි කෝස් එක කරන්න පටන් ගත්තේ බියුටීෂියන් කෙනෙක් වෙන්න නෙමෙයි. මගේ පෞද්ගලික ජීවිතයට වැදගත් වෙයි කියලා හිතුණු නිසයි. ඊටපස්සේ ෆීල්ඩ් එකට ආශා හිතුණා.
නිරූපණය සහ රූපලාවණ්‍ය කටයුතු සමබරව ගෙනයන්නේ කොහොමද?
මම ෆොටෝ ෂූට් එකක් කරද්දි මේකප් කරගන්නෙත් මමමයි. කන්සෙප්ට් නිර්මාණය කරගන්නේත් මමයි. ඇඳුම් නිර්මාණය කරන්නෙත් මමයි. ඒ හරහා මම දේවල් ඉගෙනගන්නවා.
උදව් කළ අය කවුද?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ගෙදර අය. එතකොට මගේ ගුරුවරිය සුබෝධනී මධුවන්ති. නුවන් සංජීව, කුරුණෑගල Studio 1000, AKR සන්රෝ බොටික් බංග්ලෝ එකේ සංජය අයියා, කුරුණෑගල මලී බ්‍රයිඩල් ආයතනය, සුබෝධ ධනුෂ්ක, ෂෙරී නංගි, චන්දන දිලීප්, රශ්මික ඇතුළු මට උදව් කළ හැමෝටම මම ස්තූති කරනවා.
කැළුම් දේවින්ද