වෙලාවකට මලක් වගේ වෙලාවකට ගඟක් වගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හේෂානි ලියදිපිට, ඇයගේ නාමයයි. ඒත් ඊට වඩා මේ දිනවල බොහෝදෙනා ඇය හඳුනන්නෙ ‘ධරණි’ නාට්‍යයේ ‘තරුමිණි’ චරිතය නිසයි. හැඩකාර, දඟකාර, විසේකාර විදියේ චරිතයක් නිරූපණය කරන හේෂානි, සෞන්දර්ය සරසවියේ තෙවැනි වසරේ උපාධි අපේක්ෂිකාවක වන්නීය. අද අපේ කතාබහ ‘හේෂානි ලියදිපිට’ තුරුණු රංගන ශිල්පිනිය සමගයි.

 

20201019Heshani (3)• හේෂානිගෙ සම්පූර්ණ නම?

“හේෂානි ලියදිපිට.”

 

• ගම එහෙම කොහෙ ද?

“උපන්ගම අංගොඩ.”

 

• කියන්නකො පවුලේ විස්තර?

“පවුලේ පස්දෙනයි. අම්මයි අප්පච්චියි, අක්කයි, අයියයි. මම බාලයා.”

 

• ඔක්කෝමලා හරි ආදරේ ඇති?

“බාලයාට ආදරය වැඩියිනේ.”

 

• ඉතින් මොන වගේ පවුලක් ද?

“අක්කා විවාහ වෙලා. අයියා ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්නෙ. දැනට අම්මයි මමයි අප්පච්චියි ඉන්නේ. අක්කා මානව සම්පත් කළමනාකාරවරියක්. අප්පච්චි වරාය අධිකාරියේ සේවය කළා. දැන් විශ්‍රාමිකයි. අම්මා විදුලිබල මණ්ඩලයේ සේවය කළේ. අම්මත් දැන් විශ්‍රාමිකයි. ඇත්තම කිව්වොත් අම්මා රැකියාවෙන් ඉවත් වුණේ අපි තුන්දෙනා පොඩි කාලයේදීමයි.”

 

• හේෂානි කියලා ද දන්නෙ?

“ඔව්, මගේ සරසවියේ වුණත්, පාසල් යාළුවෝ වුණත් කතා කරන්නෙ ඒ නමින්.”

 

• පාසල් ගියේ?

“කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයට ගියේ.”

 

• අරමුණ වුණේ?

“කුඩා කාලයේ ඉඳලම කලේ නැටුම්. නර්තනයට හරිම ආසයි. රැජිනි සෙල්වනායගම් මිස් යටතේ ඉගෙන ගත්තෙ. කුඩා කාලයේ ඉඳලාම කලාවට ආසා කළා. පොඩි කාලයේ ඉඳලාම ඒ ආසාව තිබුණු නිසා නර්තන ගුරුවරියක වීම අරමුණ වුණා. උසස් පෙළට කලා විෂයය අංශයෙන් හැදෑරුවෙ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවා. දැනට තෙවැනි වසරේ උපාධි අපේක්ෂිකාවක්. පහතරට නර්තන සම්ප්‍රදාය තමයි ප්‍රධාන විෂයයට හදාරන්නෙ.”

 

• ඇයි අවුරුදු කුමරියට තරග කරන්න හිතුණෙ?

“මට වඩා අපෙ අම්මාට තමයි වුවමනාව තිබුණෙ. අම්මයි අක්කයි එකතු වෙලා අයදුම්පත පවා දැම්මෙ.”

 

• වෙළෙඳ දැන්වීම්වලට ගියේ?

“සේරා කොත්තු හරහා ආවේ. පසුව ෆේෂියා, එයාර්ටෙල් ඇඩ් එක සහ සිංගර්, අබාන්ස් ඇතුළු දැන්වීම් දහයකට විතර පෙනී සිටියා.”

 

• කවුද කිව්වෙ දැන්වීම්වලට යන්න කියලා?

“ඒක නම් මගේ ආසාව නිසා වෙළෙඳ දැන්වීම්වලට ආවෙ.”

 

• ධරණි ගැන කියමු?

“මට ලැබුණු සුන්දරම චරිතයක්. හරිම ආදරයෙන් එය කරන්නේ. මගේ චරිතයේ නම තරුමිණි. හරිම අසීමාන්තිකව ආදරය කරන චරිතයක්. ඒ චරිතය ඇතුළෙ කාන්තාවක් තමන්ගෙ ජීවිතයේ මුහුණ දෙන චරිත කිහිපයක්ම ධරණි ටෙලි නිර්මාණයේ එකවර නිරූපණය කරන්න ලැබුණා. ඒක භාග්‍යයක්.”

 

• මේ ධරණි ඔබගෙ පළමු ටෙලි රංගනය ද?

“ඔව්, මගේ පළමු ටෙලි රංගනය. ලක්සිරි සර් තමයි මාව මීට යොමු කළේ.”

 

• කොහොම ද ප්‍රතිචාර එහෙම?

“බොහොම හොඳයි. ඉතාම හොඳයි. මිනිස්සු හරි ආදරයෙන් වැළඳ ගත්ත චරිතයක්. මෙහි නිෂ්පාදනය ජානක සිරිවර්ධන සර්.”

 

• මේ හැර වෙන රංගනයන්?

“මේ චරිතය හැර තවම වෙන ඒවා කරන්න දැනට වෙලාවක් නැහැ, කැම්පස් එකේ වැඩ නිසා.”

 

• ධරණි තරුමිණිගෙ දෙබසක් මතක ද?

“හැමෝටම මතක හිටින දෙබසක් තිබුණා. අපි සටන් කරන අවස්ථාවක මම මෙහෙම කිව්වා.

‘කට්ටියත් එක්කම එළියට යනවා ද එහෙම නැත්තං මම එළියට දාන්න ද’ කියලා. ඒ දෙබස දැන් සමාජ මාධ්‍යවල පවා ජනප්‍රිය එකක් වෙලා.”

 

• හේෂානි කොහොම චරිතයක් ද?

“සරල දඟකාර ගැහැනු ළමයෙක්.”

 

• ෆයිට් කරන්නත් පුළුවන්?

“ඔව් පුළුවන්.”

 

• ඒ කියන්නෙ කරාටේත් දන්නවා?

“මේ චරිතය වෙනුවෙන් අපට සටන් කලාව මාස දෙකක් විතර පුරුදු පුහුණු වෙන්න වුණා. ඒ නිසා තැළිලා පොඩි වෙලා, නිල් වෙලා, ඒ වගේ දේත් වුණා.”

 

• සැබෑවටත්, කා එක්ක හරි ගහගෙන තියෙනවා ද?

“උසස් පෙළ කාලයේදී නම් පොඩි රණ්ඩුවක් වුණා.”

 

• සැබෑ ජීවිතයේදී නපුරු ද?

“ඔව්, ටිකක් නපුරුයි. නපුරුයි කියන්නෙ ටිකක් විතර සැරයි.”

 

• වෙන දක්ෂතා මොනවා ද?

“නැටුම තමයි මගේ ජීවිතය. තරමක් දුරකට ගීත ගයන්නත් පුළුවනි. රසට උයන්නත් පුළුවනි. ඕනෑම කෑම ජාතියක් හදන්න පුළුවනි.”

 

• හේෂානි ස්පෙෂල් මෙනු එක මොකක් ද?

“නූඩ්ලස්, චොක්ලට් බිස්කට් පුඩිම සහ ස්පැගටි.”

 

• මේවා ඉගෙන ගත්තෙ?

“අම්මා තමයි. අම්මා තමයි හරිම දේ හොඳම විදියට දෙන්නෙ.”

 

• වයස කියන්න පුළුවන් ද?

“24 යි”

 

• කල වයස හරි වගේ?

“නෑ, මං හිතන්නෙ තවම නැහැ.”

 

• අම්මලා මොකද කියන්නෙ?

“ටෙලිනාට්‍ය ගැන ද?”

 

• නැහැ, හේෂානිගෙ ආදරය විවාහය ගැන?

“තවම ඉගෙනීම් ඉවර නැති නිසා ඒවාට හදිස්සි කරන්නෙ නැහැ.”

 

• ආදරය කොහොම ද දැනෙන්නෙ?

“ආසයි, ආදරය ආදරයෙන්ම බාරගන්න.”

 

• ඒ වගේ ආදරයක් ලැබිලා ද තියෙන්නෙ?

“බලාපොරොත්තුවෙන් ඉන්නෙ.”

 

• වැඩියෙන්ම කැමැති චිත්‍රපටවලට ද? ටෙලිනාට්‍යවලට ද?

“ගෙදරදි නම් චිත්‍රපට නරඹනවා. තෙලිඟු චිත්‍රපට නරඹන්න හරි ආසයි. ඒ නළු නිළියන්ටත් ආසයි.”

 

• සිනමාවේ වීරයා කවුද?

“මට සිනමාවේ වීරයෙක් නැහැ. විශේෂයෙන් තෝරලා බේරලා නැහැ. ගාමිණී ෆොන්සේකා මහතාගේ සිට බොහෝදෙනෙක් ඉන්නවා. තවමත් ගාමිණී, විජය තමයි අපේ සිනමාවේ වීරයින්.”

 

• ටෙලි ක්ෂේත්‍රයේ සිත් ගත්ම චරිතය?

“විශේෂයක් නැහැ.”

 

• ගායිකාවක් තෝරා ගන්න කිව්වොත්?

“ශෂිකා නිසංසලා මහත්මිය.”

 

• හේෂානිගෙ ජීවිතය මලක් වගේ ද? ගඟක් වගේ ද? මුහුදක් වගේ ද?

“අපෝ හරි සාමාන්‍යයි. වෙලාවකට මලක් වගේ, තවත් වෙලාවකට ගඟක් වගේ සුමටව ගලා යනවා. තවත් වෙලාවකට මුහුදක් වගේ කැළැඹෙනවා. ජීවිතයෙ හැටි එහෙමනෙ.”

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ විලාසිතා: තාරිකා ජිනාදරී

 හැඩගැන්වීම්: සන්ජු වික්

20201019Heshani (1) 20201019Heshani (2) 20201019Heshani (4)