හැමතිස්සේම ජීවිතය වෙනස් කරගන්න ඕනේ
ජනප්‍රිය ගුවන් විදුලි නිවේදිකාවක්, හඬකැවීම් ශිල්පිනියක් වන හෂානිව සාරවිට කතාබහකට සම්බන්ධ කරගන්න අප සිතුවේ ඇය මේ වනවිට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා. හෂානි ලංකාවේ ජනප්‍රියම ගුවන්විදුලි නාලිකා කිහිපයකම නිවේදිකාවක් ලෙස දස්කම් දක්වා තිබෙනවා. ඉතින් ඇය සාරවිට අපේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ මෙහෙමයි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම හෂානි විජේසිංහ. මගේ පදිංචිය හංවැල්ලේ. ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ 2013දී. ඒක අහම්බයෙන් සිදුවුණු දෙයක්. මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න තමයි හීන දැක්කේ. ඒ වෙනුවෙන් පාඨමාලාවක් කරලා ගෙදර ඉන්න කාලේදී පත්තරයක දැන්වීමක් තිබුණා හරේන්ද්‍ර ජයලාල් සර්ගේ මීඩියා කෝස් එකක් තියෙනවා කියලා. ඉතින් නිකන් ඉන්න එකේ මම ඒ කෝස් එක කරා. එතනින් පස්සේ තමයි මීඩියා ගැන ලොකු ආසාවක් ඇති වුණේ. අවුරුදු දහ තුනක් ඉස්කෝලේ ගියාට මම එකම එක පාරයි වේදිකාවක නැගලා කතාවක් පවත්වලා තියෙන්නේ.
ෂා එෆ් එම් එකට සම්බන්ධ වෙන්නේ?
කෝස් එක කරද්දි ආසාවක්, ඉලක්කයක් තිබුණා ෂා එෆ් එම් එකට සම්බන්ධ වෙන්න. මම පොඩි කාලේ ඉඳලා හැමතිස්සෙම අහනවා. ෂා එෆ් එම් එකට කලිනුත් ඉන්ටවිව් ගියාට ෆේල් වුණා. නමුත් අහම්බෙන් ඒ කාලේදි අවස්ථාවක් ලැබුණා වෙබ් රේඩියෝ එකකට සම්බන්ධ වෙන්න. ඒක කළේ ලක්මාල් කස්තුරිරත්න සහ ප්‍රගීත් විජේසූරිය කියන සර්ලා දෙන්නා. ඒ හරහා මගේ අඩුපාඩු වැරදි ගොඩාක් හදාගන්නවා. අවුරුදු එකහාමාරක් විතර මම එතන හිටියා. ඊටපස්සේ මම 2015 අන්තිමේදී වී එෆ් එම් එකේ මෝරිනිංග් ෂෝ එකට තේරෙනවා. ඒ මෝර්නිං ෂෝ එක මම කරා අවුරුද්දක් විතර. ඊටපස්සේ 2017 වසරේදි ෂා එෆ් එම් එකේ ඉන්ටව් යනවා. එතනදි මම තේරෙනවා.
ඊටපස්සේ?
ෂා එකට ඇවිත් සතියක් විතර යද්දි මට නමක් හම්බෙනවා "නිෂූ ඔන් ෂා" කියලා ඔන් එයාර් යන්න. මම හිතන්නේ ඒක මගේ කැපවීම සහ මහන්සිය මත සිදුවුණු දෙයක් කියලා. ඊටපස්සේ රාත්‍රී අටේ ඉඳලා දහය වෙනකල් බැක් ටු බැක් ප්‍රෝග්‍රෑම් එක කරනවා. ෂා එෆ් එම් එකේ ඉන්නකොට අපේ බොස් කියනවා ඔයාට රඟපාන්න පුළුවන් නිසා රඟපාන්න කියලා. අපි ෂා එක ඇතුළේ ටීම් එකක් හදාගෙන විනාඩි තුන හතරේ වැඩ කරනවා. එතකොට ඔය ටික් ටොක් එන්නත් කලින්. මම ෂා එකේ ඉන්න කාලේ මගෙන් වෙන්න පුළුවන් උපරිමය මම කළා.
හඬ කැවීම් ශිල්පිනියක් වන්නේ?
ඔය අතරේදි තමයි හිරු එකේ හඬ කැවීම්වලට සම්බන්ධ වෙන්නේ. මම වැඩිපුරම හඬ කැවීම් කරේ හිරු එකේ. තාමත් හඬ කැවීම් කරනවා.
ඔබ විවාහ වන්නේත් මාධ්‍ය ක්ෂේත්රයේ අයෙකු සමග?
ඔව්. මාධ්‍ය ඇතුළේ වැඩ කරද්දි විවාහ වන වයස ආවා. ඉතින් විවාහයටත් අපේ සහෝද නාලිකාවේම මාධ්‍ය සගයෙක් හමු වුණා. විවාහයෙන් පස්සේ එකම ආයතනයක වැඩ කළ නිසා අපි දෙන්නගෙන් එක් අයෙකුට අයින් වෙන්න සිදුවෙනවා. එතනදි මම අයින් වුණා.
විවාහයෙන් පස්සේ?
විවාහයෙන් පස්සේ මට ටී.වී. ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩකරන්න බලාපොරොත්තුවක් ඇතිවෙනවා. ටී.වී. ප්‍රසන්ටින් කියන්නෙත් එකපාරටම ඇවිත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉගෙනගන්න ඕනේ, කට්ටක් කන්න ඕනේ. මේ කාලේදි නම් පොඩ්ඩක් නිහඬයි. හැබැයි ඒ නිහඬ කාලයට ඉක්මනටම තිත තියනවා. මේ දවස්වල මියුසික් ටී.වී එකේ ෆ්රීලාන්ස් ටි.වී. ප්‍රසන්ටින් කරනවා. ඒකත් ලොකු අත්දැකීමක් විදිහට මම දකිනවා. අපි හැමතිස්සේම ජීවිතය යන විදිහ වෙනස් කරගන්න ඕනේ. එතකොට අළුත් බලාපොරොත්තු ඇතිවෙනවා. මම අළුත් බලාපොරොත්තු ගොඩක් එකතු කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් දැන් වැඩ කරනවා.
කැළුම්