2014 'මිස් ශ්‍රී ලංකා' ජයග්‍රහණය කළ 'මුතුකුඩ මැණිකේ'
මිස් ශ්‍රී ලංකා ලෙස කිරූළ පළන් ඉමායා ලියනගේ මේ වනවිට රංගන ශිල්පිණියක් ලෙසද ක්ෂේත්රයට පැමිණ තිබේ. කෙටි කාලයක් තුළදී ටෙලි නිර්මාණ මෙන්ම සිනමා නිර්මාණ සඳහාද සිය දායකත්වය ලබාදුන් ඇය මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යය හරහාය. එමෙන්ම මේ දිනවල දිවයින පුරා අති සාර්ථකව තිරගත වන සිරිතුංග ආර්. පෙරේරාගේ ‘පෝරිසාදයා’ චිත්‍රපටයේ ‘චතුරිකා’ ලෙසද සිනමා රංගනයට පිවිස තිබේ.
‘පෝරිසාදයා’ කියන්නේ ඉමායාගේ පළමු සිනමා රංගනයද?
ඔව්, නමුත්, මම මුලින්ම රඟපෑවේ අර්ජුන් කමලනාත් අයියාගේ චිත්‍රපටයක. ඊට පස්සේ තමයි ‘පෝරිසාදයා’ කියන චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ. මේ චිත්‍රපට දෙකම කළේ එකම කාලයකදී. නමුත් අර්ජුන් අයියාගේ චිත්‍රපටයට කළින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. අර්ජුන් අයියාගේ ‘කුසල්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන නිසා බොහෝ දුරට මා රඟපෑ අනිත් චිත්‍රපටයත් මේ වසරේදීම ප්‍රදර්ශනය වේවි කියලා හිතනවා.
‘පෝරිසාදයා’හි ඉමායාගේ චරිතය දිග හැරෙන්නේ?
මගේ පියා විදිහට රඟපාන්නේ කුමරා තිරමාදුර කියන ප්‍රවීණ රංගන ශිල්පියා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් විදිහට තමයි මෙහි පෙනී ඉන්නේ. කතාව දිග හැරෙන්නේ පොලිස් නිලධාරිණියක් හා පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් අතර තියෙන ගැටුමක් පිළිබඳවයි.
මොන වගේ රසික ප්‍රතිචාරද ‘චතුරිකා’ කියන චරිතයට ලැබෙන්නේ?
ඇත්තටම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. මංගල දර්ශනයේ ඉඳලා මේ චිත්‍රපටය නැරඹූ හැමකෙනෙක්ම වාගේ මගේ රංගනය ගැන සුබ පතනවා. සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබෙනවා කියන්නේ වාසනාවක්. ලැබෙන රසික ප්‍රතිචාර අනුව මට හිතෙනවා ‘චතුරිකා’ කියන චරිතයට මමත් හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලා.
‘මුතුකුඩ මැණිකේ’ බොහෝ ජනප්‍රිය වුණ කාලේක තමයි ඉමායාට සිනමාවට පිවිසෙන්න අවස්ථාවත් ලැබෙන්නේ?
අනිවාර්යයෙන්ම. මොකද මම ඒක දකින්නේ යම් වාසියක් වගේම වාසනාවක් විදිහට. මොකද, මාව කවුරුත් දන්නේ නැති කාලේක ‘පෝරිසාදයා’ චිත්‍රපටය තිරගත වුණා නම් මාව නවකයෙක් විදිහටයි පිළිගන්නේ. ඒ වගේම ‘පෝරිසාදයා’ ප්‍රදර්ශනය අවසන් වුණාම සමහරක් විට මා ගැන තියෙන අවධානය ප්‍රේක්ෂකයන් අතරේ නැති වෙන්න පුළුවන්. නමුත්, ‘මුතුකුඩ මැණිකේ’ වගේ ජනප්‍රිය චරිතයක් කරලා ප්‍රේක්ෂයන් අතර නමක් දිනාගෙන ඉන්න අවස්ථාවක ‘පෝරිසාදයා’ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණ නිසා ප්‍රේක්ෂකයන් තුළ මා ගැන තියෙන අවධානය හා උනන්දුව වැඩියි කියලයි මම හිතන්නෙ.’පෝරිසාදයා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සිරිතුංග ආර්. පෙරේරා මහතාත් මට කිව්වේ ‘මුතුකුඩ මැණිකේ’ ජනප්‍රිය වෙලා තියෙන කාලේක මේ චිත්‍රපටය තිරගත වුණ එකත් ඉමායාට වාසියක් කියලා.
ක්ෂේත්රයට ඇවිල්ලා කෙටි කාලයක් තුළදී ඔබට ටෙලි නිර්මාණවලටත්, සිනමා නිර්මාණවලටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා?
ඇත්තටම ඒකත් මගේ වාසනාව වගේම පිනකට හම්බ වුණ දෙයක් වෙන්න ඇති. මොකද මම 2014 ‘මිස් ශ්‍රී ලංකා’ ජයග්‍රහණය කළාට පස්සේ රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වෙන්නේ 2015 වසරේදී. මගේ පළමු චිත්‍රපටයේ වැඩ පටන් ගත්තේ 2016 වසරේ පෙබරවාරි මාසයේ. දැන් ප්‍රදර්ශනය වෙන ‘පෝරිසාදය’ චිත්‍රපටයේ වැඩ පටන් ගත්තේ ඒ වසරේම අගෝස්තු මාසයේදී. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වුණේ. මේ කෙටි කාලය තුළදී මා ප්‍රේක්ෂකයන් අතරේ හා මාධ්‍ය තුළ කතා බහ වන ටෙලි නාට්‍යය චරිත කිහිපයක් කළා. ඒ අතර මෑතකදී මට වේදිකාවටත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. මම හිතනවා මේ ගෙවී ගිය වසර කිහිපයේදී නිළියක් විදිහට රංගනයෙන් මම ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා.
රංගනය ගැන හැදෑරීමක් නැතිව තමයි ඔබ මේ ක්ෂේත්රයට ආවේ?
ඔව් නමුත් ප්‍රවීණයන් සමග රඟපෑම් කටයුතු කරන කොට මගේ රංගන හැකියාවන් ඉබේම වගේ වර්ධනය වුණා කියලා මම හිතෙනවා. කොහොම වුණත් මම කියන්නේ නැහැ මම දක්ෂ නිළියක් කියලා. ඒ තැනට යන්න මට තව කාලයක් යයි කියලා මම හිතනවා. මේ වෙද්දි වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීමත් එක්ක මට හිතෙනවා රංගනය ගැන ඉගෙන ගන්න තියෙන හොඳම තැන තමයි වේදිකාව කියලා.
රංගනය ගැන හදාරලා ඉමායා මේ සූදානම් වෙන්නේ වෘත්තිය මට්ටමේ නිළියක් වෙන්නද?
වෘත්තීය මට්ටමේ නිළියක් වෙන්න මට දැන්ම අදහසක් නැහැ. නමුත් කවදහරි මට නිළියක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. ඒ වගේම මට රූ රැජිණක් වෙන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ මේ හැම දෙයක්ම මට ඉතාම කෙටි කාලයක් තුළදී ලැබිලා තිබෙන දේවල්. මට තවම අදහස් නැහැ ඒ හැම දෙයක්ම වෘත්තීය මට්ටමින් කරනවාද කියලා. ඒ වගේම මම කැමති නැහැ හැම වෙලාවේම මාව දකින නිළියක් වෙන්න. එතකොට මගේ තියෙන වටිනාකම අඩු වෙනවා. තෝරා බේරාගෙන මිනිස්සු අතරට යන්න පුළුවන් චරිත කරන එක තමයි මගේ බලාපොරොත්තුව.