ප්‍රවීණ ශිල්පියෝ මට ලොකු සහායක් ලබා දෙනවා
නිරූපණ ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්රයට අවතීර්ණව මේ වනවිට ගායිකාවක ලෙසින් ප්‍රසිද්ධියට පත්වීමට සනිෂී තෙන්නකෝන් සමත්ව තිබේ. මේ වනවිට ගීත කිහිපයක් නිර්මාණය කර තිබෙන ඇය එළිමහන් ප්‍රසංග වේදිකාවේද ගී ගයයි. නිෂී සාරවිට කතාබහට සම්බන්ධ වුණේ මේ විදිහටයි.
මම නිෂී තෙන්නකෝන්. මම ඉන්නේ බත්තරමුල්ලේ. මම කලා ක්ෂේත්රයට පැමිණුණේ නිරූපණ ශිල්පිනියක් විදිහට. ඊට පස්සේ තමයි මම සංගීත ක්ෂේත්රයට අවතීර්ණ වුණේ. මම මියුසික්වලට එන්නේ 2015දි. මම මගේම කියලා ගීතයක් කරේ 2016දී. ඒ ‘උන්නා මදිද’ කියලා. ඒ ගීතය රචනා කළේ ප්‍රසාද් සිරිවර්ධන, මියුසික් කළේ මගේ වන සැමියා සුනෙත් කැළුම්. දැනට මගේම ගීත හයක් පමණ කරලා තියෙනවා. මේ දවස්වල ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා.
නිෂී නිරූපණ ශිල්පිනියක් විදිහට පැමිණ පසුව සංගීතයට යොමු වන්නේ ඇයි?
මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරද්දි තමයි මට සුනෙත් කැළුම්ව හමු වන්නේ. ඊට පස්සේ අපි රෙකෝඩින් ස්ටූඩියෝ එකක් පටන් ගත්තා. එතනදි සංගීත ක්ෂේත්රයේ අයව ඇසුරු කරන්න ලැබුණා. එයාලම තමයි කිව්වේ මටත් ගායන ක්ෂේත්රයට එන්න කියලා. ඊට පස්සේ තමයි මේ ක්ෂේත්රයට පැමිණුණේ.
නිෂී එතකොට දැන් නිරූපණයෙන් අයින් වෙලාද?
නැහැ. මම සම්පූර්ණයෙන් ඈත්වෙලා නැහැ. මම අන්තිමටම කළේ කුමාර තිරිමාදුර අයියාගේ මහරගම කියන ගීතයේ මියුසික් වීඩියෝව. ඒ ගීතය තව ටික දවසකින් එළිදක්වනවා.
නිෂී ගායිකාවක් හෝ නිරූපණ ශිල්පිනියක් වෙන්නද පුංචි කාලේ ඉඳලා හීන මැව්වේ?
අපේ ගෙදර පසුබිමත් එක්ක ඒ වගේ දේකට යොමු කරවන්න අම්මයි තාත්තයි අකමැති වුණා. අධ්‍යාපනයට තමයි යොමු කළේ. මම උසස් පෙළටත් කළේ විද්‍යා විෂයයන්. ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි මම ඉගෙන ගත්තේ. මොකද මේ ක්ෂේත්රයේ ඉන්නවා කියන එකෙන් අපිට ලොකු ස්ථාවරයක් හදා ගන්න අමාරුයි. ඒත් මට මෙඩිකල් කොලේජ් යන්න ලකුණු මදි වුණා. පස්සේ මම කම්පියුටින් ඉන්ජිනියර් පැත්තෙන් රැකියාවක් කළා. ඊට පස්සේ මම ව්‍යාපාර පැත්තට යොමු වුණා. ඇඩ්වර්ටයිසින් පැත්තෙන්. ඊට පස්සේ අහම්බෙන් තමයි මම මොඩ්ලින්වලට යොමු වුණේ. කොහොමහරි අන්තිමට නැවතුණේ සංගීත ක්ෂේත්රයට ඇවිල්ලා.
සංගීත ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා හිතෙනවාද?
මම ඕ ලෙවල් වෙනකන් සංගීතය හැදෑරුවා. ඕ ලෙවල් වලදීත් මම සංගීතයට ඉහළ සාමර්ථයක් ලබා ගත්තා. දැන් මම විශාරද නිහාල් ගම්හේවා මහත්මයා යටතේ නැවතත් සංගීතය හදාරනවා. ඉතින් මම හිතනවා මට සංගීත ක්ෂේත්රයෙන් අනාගතයක් හදාගන්න පුළුවන් කියලා.
ඔබ ක්ෂේත්රයට ආධුනිකයි. ප්‍රවීණයන්ගෙන් කොහොමද නිෂීට ලැබෙන සහාය?
ප්‍රවීණ ශිල්පියෝ මට ලොකු සහායක් ලබා දෙනවා. ඇත්තටම එයාලා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. එයාලාගේ ආශිර්වාදය මට හැමවෙලාවේම තිබෙනවා. විශේෂයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී ආනන්ද පද්මසිරි මහත්මයාට ලොකු උවමනාවක් තිබුණා මාව මේ ක්ෂේත්රයට ගේන්න. එතුමා ජෝතිපාල මහතාටත් ගීත නිර්මාණය කළ කෙනෙක්. දැන් දවස් කිහිපයකට කලින් සරත් ද අල්විස් මහත්මයා මට ගීතයක් නිර්මාණය කර දුන්නා. මුදල්වලට නෙවෙයි ඒක නිර්මාණය කරලා දුන්නේ. මට තිබෙන හිතවත්කමට.
වර්තමානයේදී සංගීතය වෘත්තියක් ලෙස කරගෙන යන්න පුළුවන්ද?
ඒක ඒ කෙනාගේ දක්ෂතාව සහ වාසනාව උඩ තමයි තීරණය වෙන්නේ. මොකද ගීත ගායනා කරන්න වාදනය කරන්න හැකියාව තිබුණත් ඉදිරියට එන්න බැරිවුණු අය ගොඩක් අපිට හමු වෙනවා. ඉතින් ඒකට වාසනාව වගේම දක්ෂතාවත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.
නිෂීට මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?
මගේ පළමුවැනි ගීතය කරලා මම මාධ්‍යයට නිකුත් නිකුත් කරද්දි අම්මටයි තාත්තටයි ගීතය අහන්න දුන්නා. ඇත්තටම ඒ වෙලාවේ එයාලා සතුටු වුණා. එයාලාගේ ආශිර්වාදය මට තිබෙනවා. එතකොට මගේ සැමියා සුනෙත් කැළුම්ගෙනුත් මට ලොකු සහායක් ලැබෙනවා මගේ සංගීත කටයුතුවලට.
අවසන් වශයෙන් මේ ගමනට උදව් කරපු පිරිස ගැන මතක් කළොත්?
මුලින්ම මගේ සැමියාට මම ස්තුති කරනවා. එයා නිසා තමයි මම මියුසික්වලට ආදරය කරන්න පටන් ගන්නේ. එතකොට ප්‍රවීණ මාධ්‍යවේදී සහ ගීත රචක ආනන්ද පද්මසිරි මහතා, පෝරිසාදයා චිත්‍රපටයේ අධ්යක්ෂ සිරිතුංග පෙරේරා මහත්මයාට ස්තුති කරනවා. මම පෝරිසාදයා චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කරනවා. එතකොට සරත් ද අල්විස් මහත්මයාට සහ මට ගීත රචනා කරපු හැමෝටමයි සංගීත නිර්මාණය කරපු හැමෝටමයි මම මේ වෙලාවේදි ස්තුති කරනවා.
(සටහන - කැළුම් දේවින්ද)