මගේ ජීවිතය ගලා යන විදිහත් එක්ක මම කරන නිර්මාණ තමයි ඔවුන් වැළඳගත්තේ
ඇය රංගන ශිල්පිනියක් මෙන්ම ගායිකාවක් ලෙසද සමාජය තුල කැපී පෙනෙන චරිතයකි. සමනලී ෆෝන්සේකා යනු බොහෝ රසික ආදරය දිනා ගත් කෙනෙකි. පසුගිය කාලයේ ඇයව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූයේ ‘හාදුවක්’ නිසාවෙනි. ඒ ඇයගේ නවතම ගීතයයි. එම ගීතය සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ගීතයක් වූ අතර, ඒ සඳහාද බොහෝ ප්‍රතිචාර හිමිවිය. ඇයගේ එම ගීතය පිළිබඳව සහ ඇයගේ කලාකටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘අද’ තරු කතාබහට මෙලෙස ඇය එක්විය.
මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල කොවිඩ් එක්ක තමයි ඉන්නේ. කරපු වැඩ ටිකක් තිබෙනවා ඒවා ආයේ පටන් ගනියි කියලා හිතනවා. තව අළුත් වැඩ දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. එකක් චිත්‍රපටයක් අනෙක ටෙලි නාට්‍යයක්. ඒවා ළඟදීම පටන් ගනී.
මේ දිනවල එක නිර්මාණයක් විකාශය වෙනවා නේද?
ඔව්, Snap ටෙලි නාට්‍ය විකාශය වනවා.
මේ දවස්වල වැඩිපුර කාලය යොදවලා තියෙන්නේ ගායනය පැත්තටද?
එහෙම නැහැ. පහුගිය දවස්වල ගෙදර හිටපු නිසා සින්දු දෙකක් විතර කළා. නිකන්ම ඉන්නත් බැහැ. තව සින්දු දෙකක් විතර එන්න තිබෙනවා. බලමු.
‘හාදුවක්’ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ ගීතය එච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුවද?
එච්චර හිතුවේ නැහැ ඇත්තටම. මම නිර්මාණයක් කරද්දි මේකට ප්‍රතිචාර ගොඩක් එයිද කියලා හිතන්නේ නැහැ. මම කැමති දෙයක් මම කරන්නේ. නමුත් මේ ගීතයේ සුවිශේෂීත්වයක් තිබෙනවා. සමාජයේ දැනට තිබෙන ප්‍රශ්නයක්, හිස්තැනක් මේ ගීතයෙන් කතා වෙනවා. ආදරවන්තයින්ට තිබෙන ප්‍රශ්න, ඔවුන්ට සමාජය ඇතුළෙන් ලබාදෙන ඉඩ, ඔවුන් දිහා බලන විදිහ, සමාජයක් විදිහට ආදරයවන්තයින්ට ලබාදීලා තිබෙන අවකාශය ගැන මේ ගීතයෙන් කතා කරනවා. ඉතින් ඒ නිසා ‘හාදුවක්’ ගීතය ගොඩක් අය වැළඳ ගත්තු එකට මට සතුටුයි. මොකද ගොඩාක් අයගෙන් හොඳ ප්‍රතිචාර තමයි තිබුණේ. ඒ අයට ජීවිතයේ මග හැරුණු කෑල්ලකුත් මේක ඇතුළේ තිබෙනවා කියන එක ආයේ හිතන්න මේ ගීතයෙන් පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒක ගැන සතුටුයි.
මේ ගීතය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් විදිහට දකින්න පටන්ගත්තා නේද?
පෙම්වතුන් විදිහට ජීවත් වෙච්ච කාලය, පෙම්වතුන් විදිහට ලබපු අත්දැකීම් සහ ලබමින් සිටින අත්දැකීම් ගැන ගීතයෙන් කතා කරන්නේ. මධ්‍යම පාන්තික සමාජය සහ ඊට පහතින් ඉන්න සමාජය තමයි සාමාන්‍ය සමාජයේ වැඩිපුරම ඉන්නේ. ඔවුන් යන්නේ එන්නේ බස් එකේ. ආදරය කරන්නේ බස් එකේ. සංස්කෘතික ප්‍රශ්නවලට, ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ හැමදේත් එක්කම තමයි එයාලාට ආදරය කරන්න වෙලා තියෙන්නේ. එහෙම දෙන්නෙක් මුල් කරගෙන තමයි මේ සින්දුව කළේ. මේ ගීතයෙන් කතා කරන්නේ හාදුවක් ගැන නෙවෙයි. එවැනි පෙම්වතුන්ට සමාජය ඇතුළේ ලබාදෙන ඉඩ, ඔවුන් දිහා බලන විදිහ ගැන. ඒ නිසා ඔවුන් ගන්නා තීරණයන් සහ ඔවුන්ට ආදරය හරියට ප්‍රකාශ කරගන්න බැරි වීම තමයි ගීතයෙන් කතා කරන්නේ.
ඉන්ද්‍රචාපා සහ ඔබ දෙදෙනාගේ යුග ගීතයක් කරන්න අදහසක් නැද්ද?
අපි දෙන්නට එහෙම අදහසක් නැහැ. ගොඩක් අය නම් එහෙම අහනවා. නමුත් අපි දෙන්නා ශානර දෙකක ගීත ගායනා කරන අය. හැබැයි මම ගායනා කරන අළුත් ගීතයකට චාපි මියුසික් කරනවා. අපි දැන් වැඩක් කරන්න ඕනේ වගේ එකක අපි දෙන්නා වැඩ කරන්නේ නැහැ. මොකක් හරි තැනකදි එහෙම දෙයක් හිතුණොත් එහෙම සිද්ධ වෙයි ඉතින්.
ඒ කියන්නේ ඉදිරියේදී එහෙම දෙයක බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?
කොහොමත් රසිකයන්ට මම දුන්නේ එයාලා ඉල්ලන දේවල් නෙවෙයිනේ. මගේ ජීවිතය ගලා යන විදිහත් එක්ක මම කරන නිර්මාණ තමයි ඔවුන් වැළඳගත්තේ. මම හිතන්නේ ඒක තමයි කලාකරුවෙක් කරන්න ඕනේ. ඒ නිසා සමහරවිට එහෙම දෙයක් වෙයි. නැත්නම් කවදාවත් වෙන එකකුත් නැහැ.
ඒ කියන්නේ රැල්ලට නිර්මාණ කරන එක ප්‍රශ්නයක්ද?
නැහැ නැහැ. රැල්ලක ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. තමන්ට මොකද්ද කියන්න ඕනේ, තමන්ට මොකද්ද තිබෙන ගණුදෙනුව කියන එකයි වැදගත්. මම කියන්නේ නැහැ අපි මිනිස්සුන්ට නෙවෙයි නිර්මාණ කරන්නේ කියලා. අපි කලාව අනිවාර්යෙන් කරන්නේ මිනිස්සුන්ට තමයි. හැබැයි ඇයි අපි මිනිස්සුන්ට කලාව කරන්නේ කියන ප්රශ්නය ඇතුළේම ඒකට උත්තරය තියෙන්න ඕනේ. ඇයි අපි මිනිසුන්ට කලාව කරන්නේ කියන ප්‍රශ්නයට මම දකින විදිහට නම් මිනිසුන්ගේ දෘෂ්ටිය, පරිකල්පනය, හිතන විදිහ සහ ආදරය ඇතුළු හැමදෙයක් දිහාම තව ටිකක් එහාට ගිහිල්ලා බලන්න පුළුවන් විදිහේ මනසක් හදන එකයි කලාකරුවාගේ වගකීම. මීට වඩා දියුණු සමාජයක්, මානූෂීය සමාජයක් ගොඩනගන එක කලාකරුවාගේ වගකීමේ කොටසක් කියලා මම හිතනවා. ඒකෙන් මිදෙන්න බැහැ. රැල්ලට යනවා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි රැල්ල ඇතුළේ අපි මොනවාද කරන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම අපිට අළුත් රැලි හදන්න පුළුවන්. ඒ අළුතෙන් හදන රැලි තුළිනුත් මේ මම කියපු කාරණාව සිද්ධ වෙනවාද නැද්ද කියන එක විතරයි මට වැදගත්.
වසර කිහිපයක පටන් කලාකරුවන්ට හිරවීමක් තිබෙන්නේ. මේක දකින්නේ කොහොමද?
ජීවිතය එක තැනක නැවතිලා තිබෙන්නේ කියලා මට හිතෙන්නේ. ජීවිතේ කිසිම ඉදිරියට යාමක් නැහැ. ඊළඟ අවස්ථාව මොකද්ද කියලා හිතාගන්න බැරි වෙලා තියෙන්නේ. මේ මොහොතත් අපට දැන් නැතිවෙලා තියෙන්නේ. මේ වෙලාවේ කලාකරුවන්ට පමණක් නෙවෙයි සමස්ත මනුෂ්‍ය වර්ගයාටම මේ මොහොතත් නැති වෙලා තියෙන්නේ. ජීවිතය කියන්නේ එහෙම තමයි. ඒ වගේ දේවල්වලට හැඩගැහෙන්න සිද්ධ වෙනවා.
ඉදිරියේ තිබෙන බලාපොරොත්තු මොනවාද?
මම කොහොමත් ජීවිතය සැලසුම් කරලා නැහැ. හැබැයි මේ කොවිඩ් තත්ත්වයත් එක්ක මේ මොහොතත් අපට නැති වෙලා තියෙන්නේ. මේ මොහොතේ ජීවත් වෙන එකත් අපිට අනුව කර ගන්න බැරිවෙලා තියෙන්නේ. ඒ ප්රශ්නය තමයි තියෙන්නේ. ඒත් ඉතින් මැරෙනකල් මොනවා හරි වෙයි. ඉතින් අපි කැමති දේවල්, අකමැති දේවල් එක්ක ජීවිතය ගෙනියන්න වෙයි.
ඩිලාන් ක්රියෂාන්ත / ඡායාරූප - තරිඳු දසුන් නුරංග