පාසලේදීත් මම කලාවට සම්බන්ධ වෙලා හිටියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ දකින සෙව්වන්දි නදිශානි රංගන ක්ෂේත්‍රයට තවමත් නවකයෙකි. ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටින සෙව්වන්දිට සාරවිට අප මෙසේ ඉඩක් වෙන් කළා.

ටෙලි නිර්මාණ කිහිපයකින්ම අපි සෙව්වන්දිව දුටුවා?

ඔව් තුෂාරි අබේසේකර මහත්මියගේ චන්දෝලි තමයි මම මුලින්ම රඟපෑවේ. ඊට පස්සේ සිදාදියේ සමණලියෝ ටෙලි නාට්‍යයේ රඟපෑවා. එහි මා නිරූපණය කළේ සෙව්වන්දි කියන චරිතය. ඊට පස්සේ සිත නිදි නැහැ ටෙලි නාට්‍යයේ හෂිගේ චරිතයට මම දායක වුණා. ඉදිරියේදී මා දායක වුණ කවීතා හා රොකී කියලා ටෙලි නාට්‍යය දෙකක් තව එන්න තියෙනවා.

සෙව්වන්දි ක්ෂේත්‍රයට එන්න රංගනය ගැන හදාරලා?

ඔව්, මුලින්ම සුදර්ශන බණ්ඩාර ගුරුතුමන් යටතේ රංගනය ගැන හැදැරුවා. පස්සේ තරංග දිසානායක හා රවින්ද්‍ර විජේරත්න ගුරුවරුන් මෙහෙය වන දුරුතු සිනමා පාසලේ රංගනය ගැන හැදැරූවා. ඊට පස්සේ තමයි රංගනයට මම පිවිසියේ. කොපමණ හැදැරිම් කළත් රංගනය කියන දේ හදාරලා ඉවර කරන්න බැහැ. හැමදාම මේ ක්ෂේත්‍රය තුළ ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

පාසල් කාලයේ සෙව්වන්දි කලාව පැත්තට නැඹුරු වෙලා හිටියද?

ඔව්, රංගනයෙන් පමණක් නෙමෙයි ගායනයෙන්, වාදනයෙන්, නර්තනයෙන් මේ හැම අංශයකින්ම මම ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම පාසල නියෝජනය කරමින් කලා විෂයන් ඔස්සේ තරගවලට පවා ඉදිරිපත් වෙලා මම ජයග්‍රහණ ලබාගත්තා. කලාව මගේ ඇඟේ තිබුණ දෙයක්. ඒ හින්දා තමයි මම කලාව තෝර ගෙන ඒ පිළිබඳව හදාරන්න පටන් ගත්තෙත්.

මේ ගමන එන්න සෙව්වන්දිට උදව් කළේ කවුද?

විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ අම්මා තාත්තා දෙන්නා වගේම අක්කා අයියා දෙන්නාවත්. ඒ අයගේ උදව් නැත්නම් අද කලා ක්ෂේත්‍රය තුළින් මේ තරම් දුරක් මට එන්න බැහැ. ඒ වගේම මට රංගනය ගැන උගන්වපු  සුදර්ශන බණ්ඩාර, තරංග දිසානායක හා රවින්ද්‍ර විජේරත්න ගුරුවරුන්ව. ඊට අමතරව මාව ටෙලි නාට්‍යයවලට එකතු කරගත් සියළුම අධ්‍යක්ෂවරුන්ටත් මේ වෙලාවේ මගේ කතෘවේදිත්වය පිරිනමනවා.

බුද්ධික සේනාධීර