පැණි රස කැම වලට නම් මම වැඩිය කැමති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තවත් නොබෝ දිනකින් දෙරණ රුපවාහිනියේ විකාශය වීමට නියමිත "සංගීතේ" දෙවැනි කතා මාලාව තුළ ඔබට දකින්නට ලැබෙන දිනේෂා රන්දිනි නව පරපුරේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල විකාශය වෙන "සැළෙන නුවන්" ටෙලි නාට්‍යයේ නිතර දකින ඇයට අප මෙවර කලාපයෙන් ඉඩක් වෙන් කළා.

දිනේෂාට රසට කෑම උයන්න පුළුවන්ද?

ඔව්, පුළුවන්. හැබැයි ඇත්තටම කෑම හදන්න දැන් මට වෙලාවක් නෑ. මොකද, රැකියාවේ වැඩයි කලා කටයුතුයි නිසා ගොඩක් වෙලාවට මම කාර්යබහුල ජිවිතයක් තමා ගෙවන්නේ. ඉතින්, උදේට දැන් සුළුවට මොනා හරි දෙයක් හදා ගන්නවා ඇරෙන්න ලොකුවට උයන්නේ නැහැ. ඉස්සර අම්මා රට හිටපු කාලේ නම් මම තමා ගෙදර හැම කෑමක්ම තනියම හැදුවේ.

මොන වගේ කෑමද රසට උයන්න පුළුවන්?

එහෙම විශේෂයක් කියලා නැහැ. ඕනා කෑමක් මට හදන්න පුළුවන්. අම්මා ලංකාවේ හිටපු නැති කාලේ තමා හැම කෑම ජාතියක්ම මම හදන්න ඉගෙන ගත්තේ. රසට බත් හා වෑංජන තමා මට හදන්න ගොඩක්ම පුළුවන්.

උයන්න පිහන්න ගිහින් අමාරුවේ වැටුණ අවස්ථා එහෙම නැද්ද?

විශේෂ මතකයක් නම් නැහැ. මොකද, උයන්න කලින් හැමදේම මම හොයලා බලලා තමා උයන්න පටන් ගන්නේ. හැබැයි ඉතින් ලුනු වැඩි වුණ අවස්ථා වගේම කැම කර වුණ වෙලාවල් නම් ඕනා තරම් තියෙනවා.

මැතකදී කාපු හොදම කෑම වෙල මතකද?

ඔව්, මතකයි. මේ ළගදි මම වැඩ කරන තැනින් ගියා පුත්තලම, කරුවලගස්වැව පැත්තේ වැඩකට. එහෙදි මට විවිධ ජාතියේ රස කෑම ගොඩක් කන්න ලැබුණා. මගේ ජීවිතේ මම කාපු රසම කැම වේල් කිහිපයක් කිව්වොත් හරි. මගේ අම්මාටත් ඒ වගේ රසට කෑම හදන්න පුළුවන්. ඒ කෑම කනකොට මට මගේ අම්මාව ගොඩක් මතක් වුණා.

දිනේෂා අලුත් කෑම වර්ග අත් හදා බලලා නැද්ද?

තියෙනවා. සතිඅන්තේ ගෙදර ගියාම පොඩි පොඩි කැම හදන්න මම උත්සාහ කරනවා. You Tube හා Tik Tok එකේ දකිනවා මම නිතරම අලුත් කෑම ජාති. ඉතින්, ගොඩක් වෙලාවට මම ගෙදර ගියාම ඒ කෑම හදන්න උත්සාහ කරනවා.

පැණි රස කෑම වලට දිනේෂාගේ තියෙන කැමත්ත කොහොමද?

පැණි රස කැම වලට නම් මම වැඩිය කැමති නැහැ. මම ගොඩක් වෙලාවට කන්න ආස සැරට තියෙන කෑම ජාතිවලට. චොකලට්, අයිස්ක්‍රිම් වගේ දේවල් වුණත් මම ගොඩක් වෙලාවට කනවා අඩුයි. හැබැයි ඉතින් පළතුරු අච්චාරුවක් සැරට හදපු කඩල, මුරුක්කු වගේ දේවල් නම් මම නිතරම කනවා.

දිනේෂා ගෙදර කෑම හදපු දවසට කොහොමද අනිත් අයගේ ප්‍රතිචාර?

මම ඉතින් කලාතුරකින් තමා දැන් කැමක් හදන්නේ ගෙදර ඇවිල්ලා. ගොඩක් වෙලාවට මම ගෙදර ඇවිල්ලා කෑමක් හදන කොට ගෙදර අය හැමෝම එකතු වෙන්නේ නැහැ ඒක කන්න. අම්මා නම් ඉතින් මම මොන කෑම හැදුවත් රසයි කියලා කනවා.

බුද්ධික සේනාධිර