ආදරයට ආදරය කරන්න දන්න පුළුවන් කෙනෙක් මම හොයනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දකින හිමේෂා දිල්කි වර්තමානය වන විට කාගෙත් ආදරය දිනාගත් යොවුන් රංගන ශිල්පිණියකි. කලා දිවිය හා පෞද්ගලික දිවිය ගැන නිතර අහන නිසාම මෙවර සාරවිට අප ඇයට වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු විමසුවා. මේ ඇය ඒවාට දුන් ප්‍රතිචාරයි..

හිමේෂා කියන්නේ කවුද..

හිමේෂා කියන්නේ මෙයා යැයි කියලා නිර්චනයට නඟන්න අමාරුයි. මාත් තවම මම කවුද කියලා හොයන ගමන් තමා ඉන්නේ. මම හිතන විදිහට හිමේෂා කියන්නේ ඉක්මණින් තරහා යන ඉක්මණින්ම තරහා නිමෙන බොහෝම සංවේදී දඟකාර ගැහැණු ළමයෙක් කියලා.

රංගන ශිල්පිණියන් නොවුණා නම් හිමාෂා  මොන වගේ වෘත්තියක නිරත වෙයිද..

ඇත්තම කීවොත් මට පොඩි කාලේ එහෙම ඉලක්කයක් හීනයක් තිබුණේ නෑ. කවුරු හරි ඇහුවොත් ලොකු වුණාම කවුද වෙන්නේ කියලා මගේ උත්තරය වුණේ ඩොක්ටර් කෙනෙක්, ටීචර් කෙනෙක් එහෙමත් නැත්නම් ලෝයර් කෙනෙක් කියන එක. ලෝයර් කියන වෘත්තීයට මම අදටත් ආසයි. නමුත්, පාසල් කාලයේ රංගනය පැත්තට අවධානය යොමු කළ නිසා ඒ අසාව මගෙන් නැතිවෙලා ගියා. අද මම නිළියක් නොවුණා නම් මම මගේ උපාධියත් එක්ක රජයේ ආයතනයක කිනම් හෝ නිලධාරීනියක්, ගුරුවරියක් වෙයි. මේ මොහොතේදිත්  මම නිළිය කියන තැණින් නොනැවති මා ලබා ගත් උපාධියෙන් ඉදිරියට යන්න සැළසුම් කරමින් ඉන්නවා කිව්වොත් හරි.

පාසල් කාලේ හිමේෂා දක්ෂ මොනවටද..

මගේ පාසල කුරුණෑගල ශුද්ධ පවුලේ බාලිකාව. පාසල් කාලයේ මම හරිම සුන්දර විදිහට ගත කරපු ශිෂ්‍යාවක්. අදටත් පාසල් ජීවීතේට බොහෝ සේ ආදරේ කරන කෙනෙක්. මම ක්‍රීඩාව පැත්තෙන් කරාතේ ක්‍රීඩාව කළා. තරඟ වලින් ජයග්‍රහණය කරලා පාසලට කීර්තියක් අරන් දුන්නා. ඒ වගේම කලාව පැත්තෙන් සමස්ත ලංකා නාට්‍ය තරඟ වලින් එක දිගට ජයග්‍රහණය කරලා තියෙනවා. කරාතේ සහ නාට්‍ය, නර්තනය කියන දේවල් හරහා මම මගේ පාසල තුළ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුණා.

හිමේෂා ඇගේ ලස්සනම කොටස මොකක්ද

ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. බොහෝ පිරිසක් නම් කියන්නේ මගේ ඇස් ලස්සනයි කියලා. ඒ ඉතින් ඒ කෙනාගේ දෘෂ්ටි කෝණය අනුව පේන විදිහ. කියපු සහ කියන පිරිස් කියන්නේ මට තියෙන්නේ කතා කරන සහ සරාඟි ඇස් දෙකක් කියලා.

ආදරය ගැන හිමේෂාට මොකද හිතෙන්නේ..

ආදරය කියන්නෙත් ඉතින් මේක කියලා නිර්වචනය කරන්න බැරි දෙයක්. මම ආදරේට ගොඩක් ආදරේ කෙනෙක්. විශේෂයෙන්ම මාව තේරුම් ගන්න පුළුවන්, මාව ඉවසන්න පුළුවන් සහ ආදරයට ආදරය කරන්න දන්න උගත් පෙම්වතෙක් තමයි ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ.

අන්තිමට හිමේෂා බලපු චිත්‍රපටය මතකද..

මේ දැන් බලලා ඉවර කරපු චිත්‍රපටය තමයි  Khaawabon ka jhamela කියන හින්දි චිත්‍රපටය.මම ගොඩක් ආසාවෙන් නරඹපු චිත්‍රපටයක් එක. හැබැයි මගේ සිත්ගත්ම චිත්‍රපටය තමයි තමයි sanam theri kasam හින්දි චිත්‍රපටය. ඒක මම හත්පාරකට වඩා නැරඹුවා. තව කැමතියි poor things කියන ඉංග්‍රිසි චිත්‍රපටයටත්.

බුද්ධික සේනාධීර