Jumanji: Welcome to the Jungle
2014 වසරේ දී මිය ගිය සම්මානනීය නළු රොබින් විලියම්ස්ට උපහාර පිණිස නිර්මාණය කරන ලද ක්‍රියාදාම සපිරි ත්‍රාසජනක චිත්‍රපටයක් වන ‘Jumanji: Welcome to the Jungle’ ජේක් කැස්ඩෙන්ගේ අධ්‍යක්ෂණයකි.
1995 වසරේ දී නිපැයූ ජුමන්ජි චිත්‍රපටයේ දිගුවක් ලෙස දිවෙන මෙහි කතාවද දිව යන්නේ කෝඩුකාරයන් සිව්දෙනෙක් වීඩියෝ ක්‍රීඩාවක් හරහා ජුමන්ජි ලෝකයට අවතීර්ණ වීම නිසා උද්ගත වන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටාය. එනම්, මෙවරද චිත්‍රපටය සඳහා පාදක වන්නේ 1981 දී ප්‍රකාශිත ක්‍රිස් වෑන් එල්ස්බර්ග්ගේ ෆැන්ටසි ළමා පින්තූර කතා පොතක් වන “ජුමන්ජි*ය.
ජනප්‍රිය ක්‍රියාදාම නළු ඩ්වේන් ජොන්සන් සමග ජැක් බ්ලැක්, කෙවින් හාට්, කැරෙන් ගිලන්, නික් ජොනාස් සහ බොනී කැනවේල් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ තිර රචනයද අධ්යක්ෂ ජේක් කැස්ඩෙන් සහ ක්‍රිස් මැක්කෙනා, එරික් සොමර්ස්, ස්කොට් රොසන්බර්ග් සහ ජෙෆ් පින්කර්ගෙනි. නිෂ්පාදනය මැට් ටොල්මැක් සහ විලියම් ටෙයිට්ලර්ගෙනි.
මෙහි ඩ්වේන් ජොන්සන් ඩොක්ටර් ස්මෝල්ඩර් බ්රේව්ස්ටෝන් ලෙසින්ද, මහාචාර්ය ෂෙල්ඩන් (ෂෙලී) ලෙසින් ජැක් බ්ලැක්ද, රූබි ලෙසින් කැරෙන් ගිලන්ද, මූස් (ෆ්රෑන්ක්ලීන් ෆින්ගබාර්) ලෙසින් කෙවින් හාට්ද, ජෙෆර්සන් මැක්ඩොනෝ හෙවත් සීප්ලේන් ලෙසින් නික් ජොනාස්ද, ජෝන් හාඩින් වෑන් පෙල්ට් ලෙසින් බොබී කැනවේල්ද රඟන මෙම චිත්‍රපටයට පෙර සෝනි පික්චර්ස් එන්ටර්ටේන්මන්ට් සමාගම ජුමන්ජි චිත්‍රපටය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට අදහස් කරගෙන සිටි අතර, රොබින් විලියම්ස් මිය යන්නේ මේ අතරතුරදීය. කෙසේ වෙතත් එම ප්‍රතිනිර්මාණයට විචාරකයන්ගේ අයහපත් ප්‍රතිචාර ලැබුණු අතර, නැවත තිර රචනය කිරීමට ස්කොට් රොසන්බර්ග් කැඳවන්නේ මේ අනුවය.
මේ අනුව 2016 වසරේ අප්‍රේල් මස වනවිට ඩ්වේන් ජොන්සන් සහ කෙවින් හාට් මෙහි ප්‍රධාන චරිත සඳහා තෝරාගෙන තිබුණි. සංගීතය ජේම්ස් නිව්ටන් හොවාර්ඩ්ට බාර වී තිබිණ. එහෙත් චිත්‍රපටයේ කටයුතු මාස හයකට ආසන්න කාලයකට පසුපසට යාම නිසා පසුව එය වෙනස් වූ අතර, හෙන්රි ජැක්මන් මෙහි සංගීත සංරචකයා වන්නේ මේ අනුවය.
චිත්‍රපටයේ රූගතකිරීම් ඇමෙරිකාවේ හවායිහි හොනොලුල් හි පසුගිය වසරේ සැප්තැම්බර් මස සිදු වූ අතර, එය නිමා වූයේ දෙසැම්බර් මස ජෝර්ජියාවේ අත්ලන්තාහිදීය.
කෙසේ වෙතත් චිත්‍රපටයේ නම තහවුරු වන්නේ මේ වසරේ මාර්තු මස වනවිටදීය. මේ අනුව චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපට පූර්ව ප්රචාරක පටය නිකුත් වූයේ සැප්තැම්බර් මස 20 වැනිදාය.
චිත්‍රපටය පළමුව නිකුත් කිරීමට තිබුණේ පසුගිය වසරේ නත්තල් දින වුවද, පසුව එය වෙනස් විය. ජූලි මස 28 වැනිදා දක්වා එය කල් ගිය අතර, නැවතත් දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පසුපසට කල්ගත විය.
චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය 05 වැනිදා පැරිස් නගරයේ ග්‍රැන්ඩ් රෙක්ස් නගරයේ පැවැති අතර, චිත්‍රපටය දෙසැම්බර් මස 20 වැනිදා සිට ත්‍රිමාණ චිත්‍රපටයක් ලෙස ඇමෙරිකාවේ තිරගත කිරීමට නිර්මාණකරුවන් තීරණය කර තිබේ.
චිත්‍රපටයේ බොක්ස්ඔෆිස් වාර්තා ගැන දැනටම අනාවැකි වාර්තා පළ වන අතර, පළමු දින හය තුළ දී මිලියන 60ක් උපයාවි යැයි ගණනය කර තිබේ. චිත්‍රපටයට එල්ල වන විචාරක ප්‍රශංසාවද හොඳ මට්ටමක පවතින අතර, විනෝදාත්මක පවුලේ චිත්‍රපටයක් වේවි යැයි %TheWrap^ හි විචාරක ඩේව් වයිට් සඳහන් කර තිබේ.
මාලන් විදානපතිරණ