Baahubali 2 - The Conclusion
ඉන්දියාවේ වැඩිම මුදලක් වියදම් කොට තැනු "බාහුබලි" චිත්‍රපටයේ දෙවැන්න වන "බාහුබලි 2 - ද කෙන්ක්යුලේෂන්" එළැඹෙන පසුගිය 28 වැනිදා ඉන්දියාවට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කෙරුණි. මෙහි පළමු වැන්න 2015 වසරේ තිරගත වූ අතර, එය ඉන්දීය රුපියල් කෝටි 665ක මුදලක් උපයා ගන්නට සමත් විය.
නළුනිළියන්
"බාහුබලි 2 - ද කෙන්ක්යුලේෂන්^ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය දමිළ සිනමා නළු ප්රභාස්ය. ඔහුට අමතරව රාණා ඩගුභති, අනුෂ්කා ෂෙට්ටි, තමන්නා භාටියා, රම්‍යා කිෂ්ණන්, සත්‍යරාජ්, නසාර්, සුබ්බාරාජු, ආර්යන් අශික්, සත්‍යම් රාජේෂ් රංගනයෙන් දායක වී තිබේ. එමෙන්ම "බාහුබලි" පළමු චිත්‍රපටයේ සහය චරිත රඟපෑ බොහෝ නළුනිළියන් පිරිසක් "බාහුබලි - ද කෙන්ක්යුලේෂන්^ චිත්‍රපටයටද රංගනයෙන් දායක වෙති.
සෙසු සහයකයන්
"බාහුබලි" පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ එස්.එස්.රාජුමෞලී මෙහිද අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරයි. නිෂ්පාදනය සඳහා ශෝබු යාලගැඩර්, රගුවේන්ද්රර් රාඕ, කරන් ජෝහර් හා ප්‍රසාද් දේවයානි පිරිස දායක වෙති. කැමරාකරණයෙන් සෙන්තිල් කුමාර්, ඇඳුම් නිර්මාණයෙන් රෝමා රාජුමෞලී, සංගීතයෙන් එම්.එම් කීරාවානී, සංස්කරණයෙන් වෙන්කටේස් රාඕද දායක වී තිබේ. කතාව විජේන්ද්‍ර ප්‍රසාද්ගෙන් වන අතර, තිර රචනය හා දෙබස් චිත්‍රපට අධ්‍යක්ෂක රාජුමෞලීගෙනි.
කතාව
පළමු චිත්‍රපටයේ කතාව නිමාව වන්නේ ශිවදුගේ පියා වූ මහේන්ද්‍ර බාහුබලී කටප්පා විසින් ඝාතනය කිරීමත් සමගය. %බාහුබලි 2 - ද කෙන්ක්යුලේෂන්^ චිත්‍රපටයේ කතා තේමාව ගොඩනැගෙන්නේ මහේන්ද්‍ර බාහුබලි හා ඔහුගේ බිරිඳ දේවසේනා අතර ගොඩනැගෙන ආදර කතාවත් සමගය. සිය රාජ්‍ය බේරා ගැනීමට බාහුබලීට එක්වෙන දේවසේනාද දක්ෂ සටන්කාරිනියකි. සතුරන් පරාජයට පත් කරන්නට දිවිහිමියෙන් කැපවෙන දේවසේනාට පෙම්බදින බාහුබලි ඇය විවාහ කරගනියි. මෙයට විරෝධය දක්වන වර්තමාන රාජ්‍ය උරුමකරුවා වන දේවා ඉන් පසුව බාහුබලීට තව තවත් සතුරුකම් කරයි. චිත්‍රපටයේ ගෙවීයන්නේ බාහුබලි හා දේවසේනාට සිදුවන සතුරු කරදර මධ්‍යයේය. කතාව නිමාවට පත්වන්නේ මෙහි තවත් කොටසකට මඟ පාදමිනි.
රූපගත කිරීම්
චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරනු ලැබූවේ 2016 වසරේ ජනවාරියේදීය. මාස 6ක කාලයක් තිස්සේ රූපගත කිරීම් කටයුතු කළ මෙහි සියලු වැඩ කටයුතු අවසන් වූයේ පසුගිය වසරේ ඔක්තෝබරයේදීය. ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ මෙන්ම %අන්නාපූර්ණා^ කලාගාරයේ මෙහි සියලු රූපගත කිරීම් කටයුතු සිදුකර ඇත.
නළුනිළියන් වෙනස්වීම
"බාහුබලි 2 - ද කෙන්ක්යුලේෂන්" චිත්‍රපටය සඳහා බොලිවුඩ් සුපිරි නළුනිළියන් වූ ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි හා දීපිකා පදුකෝනි සම්බන්ධ වන බවට විටෙන් විට සඳහන් වුවද, පසුව පළමු චිත්‍රපටය සඳහා දායක වූ නළුනිළියන්ම මෙම චිත්‍රපටයට සම්බන්ධ කරගත් බව සඳහන් විය. එමෙන්ම මෙහි දුෂ්ට චරිතයක් සඳහා ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩක අන්ඩර්ටේකර්ගේ නමද විටෙක සඳහන් වුවද, ඔහුද පසුව එය ප්‍රතික්ෂේප කර තිබුණ බව සඳහන් විය. පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ තමන්නා භාටියාට මෙවර ලැබී ඇත්තේ සහය චරිතයකි. පළමු චිත්‍රපටයේ සහය චරිතයක් නිරූපණය කළ අනුෂ්කා ෂෙට්ටි මෙවර ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වී සිටින්නීය.
විශේෂත්වය
පළමු "බාහුබලී" චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 200ක මුදලක් වැය කළ අතර, මෙවර "බාහුබලි 2 - ද කෙන්ක්යුලේෂන්" චිත්‍රපටය සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 256කි. එමෙන්ම පළමු චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටයද දමිළ, හින්දි, ඉංග්‍රීසි, චීන, තෙලිඟු, ප්‍රංශ, ජර්මන් හා මලයාලම් භාෂාවලින් හඬකවා තිබෙන බව වාර්තා වේ.
සංගීතය
චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරයා ලෙස එම්.එම්.කීරාවානී කටයුතු කරන අතර, පසුබිම් ගීත ගායනයෙන් කාලා බාහිරවා, සිරිසෞම්ය, ශ්රිනිධි, දිපු හා සෝනි දායක වෙති. චිත්‍රපටය සඳහා ඇතුළත් ගීත ප්‍රමාණය 5කි.
තිරගත කිරීම
අප්‍රේල් 28 වැනිදා ඉන්දියාවේ හා ලොවපුරා ප්‍රදර්ශනය අරඹන මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් සිනමා ශාලා 745ක ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ඉන් දකුණු ඉන්දියාවේ පමණක් සිනමා ශාලා 429ක් ඇතුළත්ව තිබේ. ජර්මනිය, එංගලන්තය, ඇමෙරිකාව, ඉතාලිය, ප්‍රංශය, චීනය, හොංකොං, ජපානය, ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් රටවල් 28ක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.