‘ෆැමිලි’ බෑන්ඩ් එකක් හදන්න කියලා හැමෝම කියනවා
මීනා යනු බොහොම දඟකාර, කටකාර, විසේකාර ගැහැනු ළමයෙකි. මේ මීනා අපට හමුවන්නේ සියතෙ විකාශය කෙරෙන මහේන්ද්‍ර කුලසිංහ නිර්මාණය කළ ‘සංසාරේ’ නාට්‍යයේ චරිතයක් ලෙසය. එලෙසින් මීනා නමින් විසේකාර චරිත රංගනයක යෙදෙන ඇය හෂිනි වෑදණ්ඩය. සංසාරේ සමග හමුවන හෂිනි සඳැල්ලට ආ මොහොතකි මේ.
හෂිනි, මේ ඔබ රංගනයෙන් දායක වූ කී වැනි ටෙලි නාට්‍යය ද?
තුන්වැනි නිර්මාණය. හැබැයි මේ නාට්‍යයේ මුල් අදියරේ කොටස් රූ ගත කළේ අවුරුදු තුනකට විතර පෙරදී. කොරෝනා වසංගත කාලයේ වැඩ නතර වෙලා තිබුණෙ. ඉන් පසුව දැන් නැවත එහි ඉතිරි කොටස් සඳහා ෂූටිං පටන් ගැනීමට නියමිතයි.
හෂිනිගෙ සම්පූර්ණ නම ?
තරංගා හෂිනි වෑදණ්ඩ
වලව් පැලැන්තියකින් වගේ ?
අපේ තාත්තාගේ පරපුර ගත්තොත් එහෙමයි. ඒත් ඉතිං ඒ ගැන අතීත විස්තර නම් දන්නෙ නැහැ.
තාත්තා - අම්මා මොනවද කරන්නෙ ?
තාත්තා සංගීත ගුරුවරයෙක්. අම්මාත් සංගීත ගුරුවරියක්. දෙදෙනාම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධි ලැබූ ගුරුවරු දෙදෙනෙක්. අම්මා තවම උගන්වනවා. තාත්තා ඉන්නෙ විදෙස්ගත වෙලා. තාත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සංගීත ආයතනයක් පවත්වාගෙන යනවා. මට තියෙන්නේ සංගීත අංශයේ උපාධියක්.
හෂිනිගෙ පවුලෙ විස්තර?
අම්මයි - තාත්තයි, අයියලා දෙන්නයි, අපේ ලොකු අම්මයි. එයා අපේ ගෙදර දෙවැනි අම්මා වගේ තමයි. පොඩි කාලයේ ඉඳලා මාව බලා ගත්තෙ, ටියුෂන් ක්ලාස් යනකොට, එක්ක ගෙන ගියේ ලොකු අම්මා. අදටත් ෂූටිංවලට යනකොටත් කොච්චර අමාරුකම් එයාට තිබුණත් මගෙ තනියට එන්නෙ එයා. අම්මත් ඉතින් ඒ විදියම තමයි.
අයියලත් සංගීතයට දක්ෂ ද?
මගේ ලොකු අයියා ඩ්‍රීම් ස්ටාර් තරගයට ගියේ මාත් එක්ක. මටත් වඩා එයා ඒ තරගයෙන් ඉදිරියට ගියා. වාද්‍ය භාණ්ඩ කීපයක්ම වාදනය කරන්න පුළුවනි. අනෙක් අයියත් එහෙමයි.
ගෙදර අය එකතුවෙලා ‘ෆැමිලි බෑන්ඩ්’ එකක් නිර්මාණය කළොත් හොඳයි නේද?
හැමෝම වගේ එහෙම කියනවා. මගේ පෙම්වතා දෙව්නක පෝරගේටත් හොඳට සංගීතය පුළුවනි. ඉතින් එයත් පවුලට එකතු වුණාම පවුලෙ අයගෙන්ම සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන්න පුළුවනි. ඉදිරියේ දී බලමු. අපේ චූටි අයියටත් හොඳට මියුසික් පුළුවනි. හැබැයි දැන් එයා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. එයා විවාහකයි. චුටි බබෙක් ඉන්නවා.
ඒ කියන්නේ හෂිනි දැන් නැන්දා කෙනෙක්.
ඔව් දැන් මම නැන්දා.
දැන් එතකොට හෂිනි සහ දෙව්නක විවාහය කවදාද?
ලබන වසරේ දී වගේ ගන්න ඉන්නෙ. අපි දෙන්නම දැන් මාස්ටර්ස් (ශාස්ත්‍රපති) උපාධිය කරමින් ඉන්නේ. ඒක ඉවර කරලා තව අපේ සැලසුම් වගයකුත් තියෙනවා. ඒ ඔක්කොම කරගෙන විවාහ උත්සවය ගන්න ඕනෑ. දැන් වයසත් හරිනෙ. විවාහයට පෙර අපි ස්ථාවර වෙලා ඉන්න එපායැ.
කොහොම ද දෙව්නකගෙ ආදරේ ?
එයාගෙ ආදරේ නිසා තමයි මම මෙච්චර ශක්තිමත් වෙලා ඉන්නේ. මම මොන දේ කරන්න ගියත් මට කවදාවත් තහනමක් දාන්නෙ නැහැ. ඒ කරන දේ සාර්ථක කර ගන්නෙ ලොකු සපෝට් එකක් දෙන්නෙ. මම කැමති දේ සාර්ථක කර ගන්න මට වඩා මහන්සි වෙන්නෙ එයා. අපි දෙන්නට දෙන්න සපෝට් කරගෙන ධෛර්යවන්තව ජීවිතයට මුහුණ දෙනවා. අපි දෙන්නම රඟපාන වැඩ කරන්නෙ තෝරා බේරාගෙන. ඒකට හේතුව අපි දෙන්නම ශාස්ත්‍රපති උපාධියට ඉගෙනීම් කරන නිසා.
සංසාරේ නාට්‍යයේ හෂිනිගෙ චරිතය ගැන කතා කරමු. හැමෝම වගේ කියන්නෙ මේ චරිතය හරි අමුතුයි කියලයි. මොකක් ද අමුත්ත ?
මීනා කියන්නෙ හරිම දඟකාර විසේකාර චරිතයක්. කොයිම වෙලාවකදිවත් නිකම් ඉන්න කෙනෙක් නොවෙයි. ඇවිදිනකොට පවා විසේකාර වැඩක් කරන කෙනෙක්. නිතරම නිකං ඉන්නෙ නැහැ. හැබැයි එයාගෙ පෙනුම අහිංසකයි. ඉතින් එයා හරියටම කවුද කියලා ඉදිරියේ දී දැක ගන්න පුළුවනි. අම්මට ආදරේ කරන ගෙදරට මුල් තැන දෙන චරිතයක්.
මීනා සහ හෂිනි, අතර සැසඳීමක් කළොත්?
සමහර මගේ යාළුවෝ කියන්නෙ ඔයාට ඉතින් ඒ චරිතයේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැනෙ කියලයි. වෙලාවකට මීනා වගේම වුණත් එයා වගේ දඟලන ගතියක් මට නැහැ. මගේ ළඟ සිටින අය එක්ක නිතරම සිංදුවක් කියලා, නටලා දඟලලා ඉන්න චරිතයක්. මීනා වගේම ටිකක් කටකාරකමකුත් තියෙනවා.
කටකාරකමට මොනවද දොඩවන්නේ? මොනවා ගැනද?
වැඩියෙන්ම ඉතින් දෙව්නක එක්ක ඉන්නකොට තමයි. මම මොන දේ ගැන කියෙව්වත් එයා අහගෙන ඉන්නවා. එයා එක්ක මුල දී බැඳුණු ආදරේ අද තවත් වැඩි වෙලා මිසක් අඩුවෙලා නැහැ. අලුත්වෙවි යන ආදරයක්. ඒ විදියට මම හරි ආසයි. මම කොච්චර කියෙව්වත් එයා අහගෙන ඉන්නවා.
පසුගිය දිනෙක ඔබ දෙදෙනාට අති උතුම් දලෙයිලාමා තුමා හමුවීමට අවස්ථාව ලැබුණා නේ ද?
අනේ ඔව්. ඒක නම් මම පෙර ආත්මයේ කළ පිනක්. බුද්ධාගමේ ශුද්ධෝත්තම කියන වචනය අද පාවිච්චි කරන්නෙ උන්වහන්සෙට. ලෝක බෞද්ධ ජනතාව විශ්වාස කරන්නෙ මතු බුදු වෙන්නෙ උන්වහන්සේ කියලයි. උන්වහන්සේ ළඟට ගියාම ජීවිතයම වෙනස් වුණා වගේ හරිම පුදුම හැඟීමක් ඇති වුණේ. උන් වහන්සේගේ ස්පර්ශය ලබන්නට හැකිවීම මොන තරම් නම් පිනක් ද? ඒ පින මට ලැබුණෙ දෙව්නක සහ එයාගෙ අම්මයි තාත්තයි ඇතුළු පිරිස නිසයි. එයාලට බොහෝම පින් කියලා මේ වෙලාවෙ බොහොම ගෞරවයෙන් මම කියන්න කැමතියි. දෙව්නකගෙ අම්මයි තාත්තයි තමයි මට ඒ පින ලබා දුන්නේ.
අති පූජනීය දලෙයි ලාමාතුමා අසලට ගියාම ඔබ උන්වහන්සේ වෙතින් දුටු වෙනස කොහොම ද පැහැදිලි කරන්නේ.
උන්වහන්සේ හමුවීමට ලෝකයේ බොහෝ දෙනා අවුරුදු ගණන් බලා සිටිනවා. දින සති පාර දිගේ හිටගෙන ඉන්නෙ උන්වහන්සේ දැක ගන්න. ඒ විදියට පැමිණෙන කිසිවකුට උන්වහන්සේ විඩාව පෙන්වන්නෙ නැහැ. හැමෝම පිළිගන්නෙ බොහොම කරුණාවෙන්. ඒ සිනහමුසු මුහුණ දුටුවාම අපේ සිත් නිවෙනවා. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ දෙයක්. ඒ කරුණාව නොසිඳෙන බවක් පෙනෙන්නෙ. එතැනට ගියාම මුළු පළාතම එළියයි. ඒක හරි පුදුමයි.
උන්වහන්සේ ප්රමුඛ මහා සංඝයා වහන්සේලා සහභාගි වූ ලෝක බෞද්ධ සග සමුළුවටත් සහභාගි වෙන්න ලැබුණා නේද? බුද්ධගයාවට ගිහින් ඔබ සහ දෙව්නක ප්‍රාර්ථනා කළේ මොකක්ද?
දුකින්, පීඩාවෙන් පෙළෙන සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කළා. ප්‍රශ්නවලින් මිදිලා යථාර්ථය අවබෝධ වෙත්වා කියලා ප්‍රාර්ථනා කළා. බුද්ධගයාව නමැති පින් බිමට යාමට ලැබීමම මම කළ මහා පිනක්.
හෂිනි ගැන වැඩි දෙනෙක් හඳුනන්නෙ කොහොම ද?
ඩ්‍රීම් ස්ටාර්වලින් ආව කෙනා කියලා දන්නවා. ඒ ඔක්කෝමටත් වඩා අද බොහෝ දෙනා දන්නෙ දෙව්නකගෙ පෙම්වතිය කියලයි. මේ අවුරුද්දෙ අපි දෙන්නාම එකතු වෙලා කරන ගී නිර්මාණ කීපයක්ම එළි දැක්වීමට කටයුතු මේ දිනවල සූදානම් කරමින් ඉන්නේ.
අද හෂිනිට ජීවිතේ දැනෙන්නෙ කොහොමද?
ජීවිතේ කියන්නේ හරිම සුන්දර දෙයක්. දැන් තමයි වගකීම් අරගෙන හරියටම ජීවත් වෙන්න හදන්නෙ. හරි තීරණ, වගකීම් ගන්න සිදුවෙලා. ඒ ගත්ත හැම වගකීමක්ම තීරණයක්ම හරි සුන්දරයි. මොකද හරි කෙනා ජීවිතයට ලැබිලා තිබෙන නිසා. ජීවිතේ ඒ නිසා හරි ලස්සනයි.
ඔබ සහ දෙව්නක මාස්ටර්ස් ( ශාස්ත්‍රපති) උපාධිය හදාරන්නෙ?
බෞද්ධ දර්ශනය පිළිබඳව අපි දෙන්නම බෞද්ධ වැඩ බොහොමයකට දැන් සම්බන්ධ වෙලා සිටින නිසා අපට ඒ ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා තමයි බෞද්ධ දර්ශනය ගැන ශාස්ත්‍රපති උපාධිය හදාරන්නෙ. ලංකාවේ සිට කළ හැකි ඒ අංශයේ උපාධිය කැලණිය සරසවිය වෙතින් මේ දිනවල කරමින් සිටිනවා.
සඳුන් ගමගේ