ළමයින් සමාජයේ හොඳ මිනිසුන් කිරීමට නම් ගෙදර පරිසරය සැමවිටම සුරපුරයක් ලෙස තබාගත යුතුයි
ඔහු මතුපිටින් පෙනෙන්නේ ඉතාම සරල දඟකාර චරිතයක් ලෙසය එහෙත් පේෂල මනෝජ් නමැති මේ හැඩකාර සංගීතවේදියා සහ නිවේදන ශිල්පියා පියකුගේ භූමිකාවේදී වෙනස්ම චරිතයක් වග ඔහු දක්වන අදහස් අනුව අපට වටහාගත හැකිය. තාත්තයි - පුතයි විශේෂාංගය අද හැඩ කරන්නේ මේ කටකාර-හැඩකාර විශාරද සංගීතවේදියාය. තාත්තාගේ හැඩයට ඔහු දී ඇති අරුථ මොන වගේද කියා අද අපට මැන ගත හැකි වේවි.
පේෂල ඉස්සෙල්ලාම කියන්න කොහොමද වැඩ කටයුතු මේ දිනවල?
ජීවිතේ හොඳින් වැඩ කරගෙන යනවා, ගෙදර වැඩයි, කලාවේ වැඩයි ඔක්කොම හොඳින් කරගෙන යනවා. කාර්යබහුල ජීවිතයක් ගෙවමින් සිටිනවා.
ඒ ඔක්කොම අතරේ තාත්තාගේ භූමිකාව මොන වගේද?
ජීවිතේ ඒක වෙනස්ම අත්දැකීමක්නෙ. මනුෂ්‍යයින් විදියට අපි ඒ වගකිම හරියටම ඉෂ්ට කරන්න ඕනෑ කියන තැන මම ඉන්නෙ. කොච්චර බිසි වුණත්, කොච්චර වැඩ තිබුණත්, හම්බ කරන එක විතරක් නෙවෙයි, අත්‍යවශ්‍ය වැඩක් යෙදුණෙ නැත්නම් පොඩි දරුවාගේ පැම්පර් එක මාරු කරන වැඩේ වගේම ලොකු එක්කෙනාව පාසලට යවන වැඩේ පවා කරනවා. එහෙම කළ යුතුය කියලා මම විශ්වාස කරනවා.
දරුවන්ගෙ විස්තර කියමු?
ලොකු පුතා පාසල් යනවා, ලයිසියම් ජත්‍යන්තර පාසලේ හය වසරේ ඉගෙන ගන්නෙ. පොඩි පුතාට මාර්තු මාසෙට අවුරුදු තුනයි.
මේ දරුවො දෙන්නා එක්ක ඔබට තිබෙන සමිප හෝ දුරස්ථ බව මොනවගේද?
දෙන්නම මාත් එක්ක බොහොම එකතුයි.
එහෙම වෙන්න විශේෂ වූ දේ හැටියට ඔබ දකින්නෙ?
මම හිතන විදිහට පොඩි ළමුන්ව බොහොම නිරවුල් පරිසරයක තියන්න ඕනැ. එයාලට අවශ්‍ය කෑම බීම විතරක් දීලා මදි. මානසිකව ඒ ළමයින්ව යහපත් පරිසරයක තැබීම කළොත් එයාලගෙ ලෝකය වඩාත් සුන්දර වෙනවා. ගේ ඇතුළෙ වුණත් ඒ ළමයින්ට ඉන්න හිතෙන තැනක් වියට දැනෙන්න ඕනෑ.
ඒ විදිහට ඉන්න නම් මොනවගේ පරිසරයක් ද ගෙදර තිබිය යුත්තේ?
ෆැමිලිවල ප්‍රශ්න තියෙනව නම් ඒ දේවල් වලට ගෙදර පළමු තැන දිය යුතු නැහැ. ඒ වගේම ළමයි ඉදිරියේදී ඒවා ගැන කතා කළ යුතුත් නැහැ. ලොකු අය ඒ ප්‍රශ්න විසඳ ගැනීමේදී පොඩි අය ඉදිරියේ කළ යුතු නැහැ. පොඩි ළමුන්ට ඒවා තේරෙන්නේ නැහැනෙ. ඒවා ඒ අයට දැනුණොත් එයාලා වැඩිහිටියන් වුනාම එයාලා ජීවත් වෙන්නෙත් ප්‍රශ්න ගොඩක. ඒ වගේම ගේ ඇතුළෙ ඉන්න එයාලට හිත දෙන්නෙත් නැහැ. මම උදේම ගෙදරින් එළියට ගිහින් රෑ වෙලා ගෙදර එනවා නම්, එක්කෝ ගෙදර එන්නෙ සතියකට වතාවක් වගේ නම්, දරුවන්ට මාව දැනෙන එකක් නැහැ. ඒ නිසා පුළුවන් සෑම වෙලාවකම මම ඉන්නෙ ගෙදර. එයාලාට ළැදි තරමට එයාලා ගෙදර පරිසරයට ආසා කරනවා. ගෙදරදි මම කෑ ගහගෙන ඉන්න කෙනෙක් නම්, ළමයින්ට සතුටක් නැහැ
පුතාලගෙ නම් සදහන් කරමු ද?
ලොකු එක්කෙනාගෙ නම ආදිත්‍ය. පොඩි එක්කෙනාගෙ නම අභිමන්යු.
මේ දෙන්නා දෙපැත්තෙ තබාගෙන ඔබ ඒ දෙන්නාට මැදිව ඉන්න කොට දැනෙන හැගීම මොන වගේ ද?
ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හැගීමක්, ලොකු ආලෝකයක් දැනෙනවා, කොල්ලො දෙන්නෙක්නෙ. ඒක ලොකු ශක්තියක් සහ මට නම් ඒක මාරයි.. ඒ දැනෙන හැගීම වචනවලට පෙරළන්න බැහැ.
එයාලා එක්ක කාලය ගත කරන්න ඕනෑය කියලා වෙලාවන් වෙන් කරගෙන ද තියෙන්නෙ?
අපි එයාලා එක්ක එළියට යනවා නම් එයාලා වඩා කැමති තැන තමයි තෝරා ගන්නෙ. ළමයි වඩා කැමති තැන්වලට තමයි අපි වැඩිපුර යන්නෙ.
අපේ රටේ තාත්තලා ඔබ වගේ කටයුතු කරනවාය කියලා හිතනව ද?
බහුතරයක් තාත්තලා එහෙමයි කියලා හිතනවා. මොන දේ නැතත් ගේ ඇතුළ අපි තියා ගන්න ඕනෑ සුරපුරය වගේ. මොකද ගෙදර එහෙම නොවුණොත් අපට අපේ කිසිම වැඩක් හරියට කර ගන්න ලැබෙන්නෙ නැහැ. මිනිස්සු වැටෙන්න ප්‍රධාන හේතුව ගේ අවුල් වීමයි. අන්න ඒ නිසා තමයි මම කිව්වෙ ගෙදර පරිසරය සැම විට සුරපුරයක් වගේ තියාගන්න ඕනෑය කියලා. එවිට ළමයින්ගේ ජීවිත වැඩෙන්නෙ යහපත් මානසිකත්වයකින්. කවුරුවත් මේ ලෝකයේ එක හා සමාන වෙන්නෙ නැහැ. ඒ නිසා ගලපාගෙන ප්‍රශ්න අවම කරගෙන ජීවත්වීමට පුළුවන් නම් .. ඒ ගෙදර ළමයින්ට සුරපුරයක්ම තමයි.
ළමයින් මුරණ්ඩු වැඩ කළාම දඩුවම් දෙන්නෙ කොහොමද?
මෙයාලා තවම පොඩියිනෙ, ඒ කරන දේ වැරදි නම් ඒ ගැන කියා දෙනවා. මෙයාලා දෙන්නා එහෙමයි කියලා වැරදි වැඩ කරන්නෙත් නැහැ. ළමයින් විදිහට එයාලා කරන දැඟලිලි එච්චර ගණන් ගත යුතු නැහැ.එයාලා ළමයිනෙ. එයාලගෙ ස්වභාවයේ හැටි එහෙමයි. දඩුවම් දිය යුතු කාලයේදී ඒ අනුව දඩුවම් දීම හැර අනවශ්‍ය විදිහට ළමයි මර්දනය කළ යුතු නැහැ.
තාත්තා කෙනෙක් ගෙදරදී හැසිරිය යුතු විදිය ගැන පුද්ගලිකව ඔබ හිතන්නෙ කොහොම ද?
බිරිද එක්ක ලොකු වාදවලට ගිහින් රණ්ඩු විය යුතු නැහැ. වැඩිහිටි දෙපළ එහෙම කරද්දී ළමයින් ගේ ඇතුළෙ හැංගෙනවා. ඒ තැනට නිවස පත් කළ යුතු නැහැ. ඒ වගේම නිතරම ලොකු පිරිසක් ගෙන්වාගෙන නිරන්තරයෙන් පාටි දැමිම කළොත් ඒ ගේ ඇතුලෙ දරුවන් හුදෙකලා වේවි. අපි මේ සෑම දෙයක්ම කරන්නෙ සතුටින් හොදින් ජීවත් වීම උදෙසා නම් ? ඒ කිසිවක් වදයක් විය යුතු නැහැ.
අනාගතයේදි දරුවන් මොන වගේ විය යුතුය කියල ද හිතන්නෙ? ඔබ කැමති අරමුණකට ඔවුන් යා යුතු ද? කලාවම තෝරා ගත යුතු ද?
දෙන්නටම කලා හැකියාවන් ටික ටික තියෙනවා. මම බලෙන් එයාලට කියන්න යන්නෙ නැහැ. ළමයින්ට එහෙම කළ යුතු නැහැ. කලාවම කළ යුතුය හෝ වෙන දෙයක් කළ යුතුය කියලා බල නොකර ඔවුන්ට අවස්ථාව දිය යුතුයි. සමාජයේ හොඳ මිනිසකු කිරීමට නම් ගෙදර සුරපුරයක් ගානට පරිසරය තිබීම වැදගත්. හැමෝම සතුටින් නම් හොදයි. මව්-පිය දෙපළ අතර ප්‍රශ්න නම් එයාලා බලන්නෙ ගෙදර ඉන්න නෙවෙයි. ආච්චිලාගෙ ගෙදර යන්න, එක්කෝ නෑදෑ ගෙදරක යන්න..
එහෙම වුනොත් අම්මා - තාත්තා අසාර්ථකයි.
ළමයින්ට ඉල්ලන ඉල්ලන දේ දීම තාත්තලා කරන වරදක් කියලා තමයි අම්මලාගේ චෝදනාව ? එහෙම නම් ඔබත් ඒ වැරැද්ද කරනව ද?
මම නම් කියන්නෙ එහෙම ඉල්ලන ඉල්ලන දේ දෙන්න අවශ්‍ය නැහැ. අනෙක අපේ ළමයි එහෙම ඉල්ලන්නෙත් නැහැ. ඇඩුවා කියලා අරන් දුන්නොත් ළමයි හිතාවි අපි එයාලට යටත් කියලා. ඉතින් එහෙම වෙන්නත් හොද නැහැ.අපේ සීමාව තියාගෙන එයාලව හසුරුවන්න ඕනෑ බොහොම ආදරණීය විදිහට.
අද කාලයේ බොහෝ ළමයින් ඉලෙක්ට්‍රොනික මෙවලම්වලට ඇබ්බැහි වෙලා, කොහොමද ඒ ගැන හිතන්නෙ? ඔබගේ දරුවන් ඒ ඇබ්බැහි වීමට හුරුවෙලා ද?. එහෙමනම් කොහොමද එයින් මුදවා ගන්නෙ?
අපේ ළමයිනුත් ෆෝන් එකෙන් කාටූන් බලනවා. ඒ වගේ වෙලාවට මම කරන්නෙ එයාලව මම කරන මියුසික් වැඩකට හෝ වෙනත් දෙයකට සම්බන්ධ කර ගන්න එකයි. ඒ විදිහට ඉලෙක්ට්‍රොනික මෙවලම් වලින් ඈත් කර තබන්න මම නිතරම උත්සාහ ගන්නවා.
පිය පුතු බැදීම අර්ථවත් කර ගැනීමට නම් ඔබ අනුගමනය කරන ක්‍රමය මොකක් ද?
සමබර විදිහට සියලු දේ ගැන හිතන්න පුළුවන් නම් මම හිතන්නෙ ඒක වඩා හොදයි. පූර්ණිකා වැඩකට ගියාම පුතාලා දෙන්නා බලා ගන්නෙ මම.. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ දෙන්නා මාත් එක්ක ඉන්නවා. එයත් එක්ක විතරයි මාත් එක්ක ඉන්නෙ නැහැ කියලා දෙයක් අපේ ගෙදර නැහැ. අපි දෙන්නා එක්ක ඒ දෙන්නා ඒ මොහොත සතුටින් ගත කරනවා.
දරුවන් ඉදිරියේ මත් පැන් වගේ දේ භාවිතා කිරීම ඔබ දකින්නෙ මොන විදිහට ද? සමහර තාත්තලා සීමාව ඉක්මවා නොගොස් ඒ දේ කිරීම සිදු කරන බව කියනවා. ඔබ කොහොම ද හිතන්නෙ ඒ ගැන?
ඉස්සර වගේ නෙවෙයි අද කාලයේ ළමයින්ට බොහෝ දේ තේරෙනවා. පාසල් අධ්‍යාපනයේදීත් එයාලට ඒ දේවල්වල ආනිශංස ගැන කියා දෙනවානෙ. ඉතින් අපිත් ගෙදර ඒ වගේ දේ සීමාව ඉක්මවා ගිහින් කරන්නෙත් නැහැනෙ. ඒ නිසා ඒ ළමයින්ට හොද නරක හොදට තේරෙනවා.
පුතාලා වෙනුවෙන් ගී නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
ඉදිරියේදි කරන්න හිතාගෙන ඉන්නෙ.
ඔබ කැමතිම පිය ගුණ ගීතය? අහද්දී හිත වඩාත් සංවේදී වූ ගීතය?
පියාණනී, මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා.......
සඳුන් ගමගේ