හස්බන්ඩ් මම රස්සාවක් කරනවාට කැමැති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාවින්ද්‍යා දුල්ෂානි මේ දිනවල සිටින්නෙ ඕස්ට්‍රේලියාවෙ. විවාහයෙන් පසුව ඇය සැමියා වෙසෙන ඕස්ට්‍රේලියාවට ගිහින් මාස කිහිපයක් ගත වෙලා හමාරයි. නමුත් මෑතක් වනතුරුම ඇය කෝලම්කුට්ටමේ සුද්දි යන චරිතයට දායකවීම නිසා මෙරට විතරක් නෙවෙයි, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පවා ඒ ගැන ඇයගෙන් විමසන්නේ ‘‘සුද්දි’’ගේ චරිතයට කැමති නිසයි. මේ විදියට ඇය ගැන බොහෝ දෙනා විමසුම් කරද්දි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෙසෙන ‘‘දුල්ෂානි’’ අපට හමුවූ අයුරුයි මේ.

කොහොමද දුල්ෂානි ජීවිතේ?

ජීවිතේ හොඳයි. හස්බන්ඩ් ළඟ නිසා හොඳයි. ඒත් ලංකාවේ ගෙව්ව ජීවිතයට වඩා වෙනස්.

මොකක්ද ඒ වෙනස?

ලංකාවේ සිටියදී රූගත කිරීම්වලට සහභාගි වෙමින් කාර්යබහුල වෙලානෙ හිටියෙ. ඉතින් නිතරම වැඩ රාජකාරිවල හිටපු මම දැන් ගෙදරට වෙලා, ගෙදර වැඩ කරගෙන ඉන්නෙ. ගෘහණියක්, බිරිඳක් විදියට ගත කරන ජීවිතය පෙර ගෙවූ විදියට වඩා වෙනස්. ඒ වෙනස ලොකුවට දැනෙනවා. 

දවසේ කටයුතු කරන්න සැලැස්මක් තියෙනවද?

ලොකු සැලැස්මක් නැහැ. සාමාන්‍ය බිරිඳක වෙතින් කළ යුතු වැඩ ටික කරන්න තියෙනවා. ඒවා සාමාන්‍ය වැඩ කටයුතුනෙ. දවල් කාලය නිකරුණේ ගෙවන්න වෙන නිසා වත්තෙ ඉඩ තියෙන තැන්වල මම වවන්න පටන් ගත්තා. ඒවා තමයි ඉතින් කරන්නෙ. මෙහෙ පැළ වර්ග, බීජ වර්ග ඕනෑම දෙයක් ගන්න තියෙනවා. ඒවා අරගෙන ගෙදර පොඩියට මිරිස්, තක්කාලි, එළවළු වගා කරන්න පටන් ගත්තා.

කොහොමද ඵලදාව?

ඵලදාව ඉතා හොඳයි. මේ දිනවල තක්කාලි, මිරිස් වැඩිවෙලා. ඒවා බෙදා ගන්න දෙන්න විදියක් නැතුව ඉන්නෙ. 

ලංකාවෙ ඔයාගෙ ගෙදර අයට එවන්න විදියක් නැද්ද?

නැහැනේ....

මොන වගේ කෑම වට්ටෝරු ද සැමියා හදලා ඉල්ලන්නේ?

අනේ එයා එහෙම වද දෙන කෙනෙක් නෙවෙයි. මම හදලා දෙන ඕනෑම කෑමකට කැමතියි. මම වගේම බත් කන්න එයා වැඩිය කැමති නැහැ. ලෙහෙසියට හදා ගන්න පුළුවන් පොඩි පොඩි කෑම ජාති හදා ගන්නවා.

දුල්ෂානි ඕස්ට්‍රේලියාවට ගිහින් හරියටම මාස කීයක් වෙනවද?

මාස 4ක් වෙනවා.

අන්තිමට රඟපෑ නාට්‍ය අතරින් විකාශය වුණේ?

කෝලම්කුට්ටම. එහි මගේ චරිතයේ කොටස් පසුගියදා ඉවර වුණා. 

විකාශයට නියමිතව තිබෙන්නෙ?

මම මාර්තුවල ලංකාවට එනවා, ඒ එන්නෙ වැඩ කරමින් ඉඳලා නතර කළ නාට්‍ය දෙකක වැඩ ඉවර කරන්න. ඒ ඩ්‍රාමා දෙකේ රූගත කිරීම් ඉවර කරලා ආපහු යනවා.

ඒ හැර අලුත් නිර්මාණ බාර ගත්තෙ නැද්ද?

එක දිගට ලංකාවේ ඉන්නෙ නැති නිසා අලුත් මෙගා නාට්‍ය භාරගත්තෙ නැහැ. හැබැයි කොටස් කීපයකට සීමා වූ හොඳ නිර්මාණයක් ආවොත් භාර ගන්නවා.

රඟපෑම අත්හරින්න අදහසක් නැහැ?

රඟපෑම අත්හරින්නෙ නැහැ. මගේ හස්බන්ඩ් බුද්ධික නිෂ්පාදන අංශයට සම්බන්ධ නිසා රඟපෑම අත්හරින්නෙ නැහැ. එයා දැනට කරලා තියෙන්නෙ මියුසික් වීඩියෝ විතරයි. ටෙලිඩ්‍රාමා එකක් මෙහේ රූගත කරන්න අපි ප්ලෑන් කරගෙන යනවා. ඒ වැඩකටයුතු මේ දිනවල සැලසුම් කරනවා. ශ්‍රී ලාංකීය නළු නිළියන් රැසක් මෙහෙත් ඉන්නවනෙ.

කවුද හමුවූ නළු නිළියන්, එහි සිටින?

බුද්ධදාස විතානආරච්චි අංකල් හමුවුණා. චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂවරයා මෙහේ ආවා. ‘‘උතුරු සුළඟ’’ ප්‍රදර්ශනයට. එහි ප්‍රධාන චරිතය රඟපෑවෙ මම.

ඕස්ට්‍රේලියාවේදී රඟපෑමට ආරාධනා ලැබුණෙ නැද්ද? වෙනත් අයගෙ නිර්මාණවල?

ටී.වී. දැන්වීම්වලට දායක වෙන්න ආරාධනා ලැබුණා.

විවාහයෙන් පසුව පවුලේ අයගෙන් ඈත්වෙලා ගත කරන ජීවිතය දැනෙන විදිය කොහොමද?

පිටස්තරව ඉඳලා බලන අයට එය සුඛෝපභෝගී ජීවිතයක් කියලා දැනෙන්න හැඟෙන්න පුළුවනි. සැමියා සමග ගෙවන ජීවිතය හොඳයි තමයි. ඒත් අවුරුදු විසි ගාණක් එකට ජීවත් වූ පවුලෙන් ඈත්වෙලා ජීවිතය ගත කරන්න ලැබුණාම, සහ අවුරුදු කීපයක් ගත කළ කලාවෙන් ඈත් වෙලා කටයුතු කරන්න වුණාම, ඒක ටිකක් අමාරු දෙයක්. ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වගේ ස්වභාවයක්නෙ. ඒ නිසා තවම මම අමාරුවෙන් හුරුවෙමින් පවතිනවා. හැබැයි වෙනස් වෙච්ච ඒ ජීවිතයට සියයට සියයක්ම මම කැමතියි.

ලංකාවේ නළු නිළියන්ට කතා කළොත්, නිතරම එයාලා බිසී, එහෙම නැති තත්පරයක්වත් එයාලට නැති තරම්. ඕස්ට්‍රේලියාවෙ සිටින දුල්ෂානිත් එහෙමද නැත්නම් මොන විදියද?

මෙහේදි නම් මට ලොකු විවේක කාලයක් තියෙනවා. ලංකාවේදි ඒ හිටපු ‘‘බිසී’’ විදිය නැහැ. හස්බන්ඩ් නම් එයාගෙ ව්‍යාපාරික වැඩ එක්ක බිසී. හැබැයි ඉඩ ලැබෙන සෑම වේලාවකම අපි ට්‍රැවල් කරනවා. ඕස්ට්‍රේලියාව  ඇතුළෙ වගේම, පිටත රටවලටත් ට්‍රැවල් කරනවා. මේ මෑතකදී අපි ‘‘වියට්නාම්’’ ගියා.

වියට්නාමයේදී දුටු වෙනස?

කොහේ ගිහින් මොනවා බැලුවත් ලංකාව වගේ නම් ලස්සන තැනක් තවත් නැහැ. ජීවත් වෙන්න හොඳම රටක්. අවාසනාවකට දේශපාලනය, ආර්ථිකය විසින් පවතින්නෙ දුර්වල තැනක. වියට්නාමයේදී එහෙම ලොකු වෙනසක් දුටුවෙ නැහැ. ඒ රටේ මිනිස්සු හරිම හොඳයි, ඒ වගේම ලස්සන තැන් එහෙමත් තියෙනවා.

ගෙදර අය මොනවද ඉතින් කියන්නෙ?

අම්මයි, තාත්තයි, නංගිලා තුන්දෙනයි මට ඉන්නෙ. ලොකු නංගිත් විවාහ වෙලා ඉන්නෙ. එයාලට මම නැති අඩුව දැනෙනවා. වීඩියෝ කෝල් අරගෙන නිතරම එයාලා කතා කරනවා. තාක්ෂණය දියුණු නිසා හොඳයි. බාල නංගිලා දෙදෙනා තවම ඉගෙන ගන්නවා.

‘‘විවාහය’’ දැනෙන විදිය කොහොමද විස්තර කරන්නෙ?

එළියෙන් බලන විග්‍රහය, විදිය නෙවෙයි, එහි යථාර්ථය. විවාහ වෙනවාය කියන්නෙ ඒ විවාහ වූ යුවළට පවුල් තුනක් ගැන බලන්න වෙනවා. මගේ අම්මා - තාත්තා වගේම, සැමියාගේ පවුලේ අම්මා - තාත්තා ඇතුළු සියලු දෙනා. මමයි, සැමියයි ගත්තාම ඒකත් වෙනම පවුලක්නෙ. ඉතින් වගකීම් වැඩියි.

විවාහයෙන් පසුව බැඳීම, ආදරය පෙර විදියටම පවතිනවද?

ඔව්. ඒ ආදරයේ වෙනසක් නැහැ. හරි ආදරයක් නම් පටන් ගත් දා සිට එය දිගටම පවතින්නට ඕනෑ. ඒක ඒ විදියට තියෙනවා.

විවාහය සාර්ථකව පවත්වාගෙන යාමට නම්? බිරිඳක සතු ප්‍රධාන වගකීම?

සියලු දේ සමබරව සිතා බලා කටයුතු කිරීම වැදගත්. සැමියාගේ වැඩට මූලිකත්වය දීලා කටයුතු කිරීම තමයි මම කරන්නෙ. එයානෙ පවුල ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කරන්නෙ. එයාගෙ මනස සැහැල්ලුවෙන් තැබීමට කටයුතු කිරීම බිරිඳකගේ වගකීමයි. 

නිකම්ම ඉන්න එකේ දුල්ෂානිටත් රැකියාවක් කළොත් හොඳයි කියලා තිතෙන්නෙ නැද්ද?

එහෙම හිතෙනවා. ඒත් හස්බන්ඩ් මම රස්සාවක් කරනවාට කැමැති නැහැ. ඒ නිසාම තමයි එයා නිර්මාණ නිෂ්පාදන ආයතනයක් පවා පටන් ගත්තෙ. එතකොට මම ආසම දේ වෙනුවෙන් දායක වෙන්න පුළුවන්නෙ.

ගෙදරදි දෙදෙනා මොන වගේ විෂයයන් ගැනද කතා වෙන්නෙ?

අපි දෙන්නා කරන්නෙ ෆිල්ම් බලන එක. එයා ෆිල්ම් බලන්න හරිම කැමතියි. මම තනියම ඉන්න වෙලාවට කරන්නෙ පොත් කියවීම.

දුල්ෂානි නිතරම රෙස්ටුරන්ට්වලට යන්න කැමති කෙනෙක් නේද? මෙල්බර්න්වල නොගිය තැනක් නැති තරම් නේද?

අපොයි ඔව්. බොහෝ තැන්වලට ගිහින් තියෙනවා. කොහොමත් මම ෆුඩ් ලවර් (ආහාරවලට කැමති) කෙනෙක්නෙ. තවත් තැන් තියෙනවා යන්න. සතියකට තුන් වතාවක්වත් යනවා. අපි දෙන්නගෙ පළමු විවාහ සංවත්සරය සමරන්න මෙල්බර්න් ක්‍රවුන් හොටෙල් එකේ අවන්හලකට ගියා. එතැනට මම හරිම ආසයි.

මෙල්බර්න් කැමතිම තැන?

ගෙදර. සතුටින්ම නිදහසේ ඉන්න පුළුවන් තැන.

ඕස්ට්‍රේලියාවේ අසල්වාසීන් කොහොමද?

ඇත්තම කිව්වොත් අල්ලපු ගෙදර වෙන දේ අනෙක් ගෙදර කෙනා දන්නෙ නැති තරම්. එච්චරටම නිදහස් සහ පුද්ගලිකත්වය ඇති ජීවිත. ලංකාවේ සුළුතරයක් ඉන්නවනෙ, වැරදි දේ ගැන විතරක් කතා කරන. අන්න ඒ වගේ අය මෙහෙදි හමුවීම අඩුයි. ඒක හොඳ දෙයක්නෙ. අනෙක් අයගෙ දේ නොසොයා තමුන්ගෙ ජීවිත ගැන බලා කියාගෙන හිටියොත් ප්‍රශ්න අඩුයිනෙ. නිදහසේ ජීවත්වීමේ පරිසරයක් මෙහේ තියෙන්නෙ.

එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් හමුවෙනවද?

ඔව්. බොහෝ දෙනා හමුවෙනවා. එයාලා රඟපෑම් ගැන කතා කරනවා. යන්නෙ නැද්ද කෝලම්කුට්ටමේ රඟපාන්න? කෝ ‘සුද්දි’ කියලා අහනවා. සමහර අයගෙන් බොහෝ අරයුම් ලැබෙන්නෙ ඩිනර්වලට එන්න කියලයි. බොහොම ආදරණීය ප්‍රේක්ෂක පිරිසක් මෙල්බර්න්වල ඉන්නවා.

සඳුන් ගමගේ