හිරු ස්ටාර් කියන්නෙ මගේ ජීවිතයේ හැරවුම් ලක්ශය
තමාගේම ගීත කිහිපයක්ම දැනට නිකුත් කර ඇති කසුන් මංගල ඕපාත සංගීත ක්ෂේත්රයට නවකයෙකි. ගායකයෙක් සේම කිබෝඩ් වාදන ශිල්පියෙකු ලෙසද වර්තමානයේ කටයුතු කරන ඔහු නුදුරේම තවත් ගීත කිහිපයක්ම එළිදක්වන්නට සූදානමින් සිටියි. මේ නිසාම මෙවර කලාපයෙන් අප කසුන්ට ඉඩක් වෙන් කළා.
කසුන්ව අපි මුලින්ම අඳුනගමු?
මා ගැන කියනවා නම් මම පොළවේ පය ගහලා ජීවත් වෙන ඒ වගේම පරිසරයට ආදරේ කරන තරුණ ගොවියෙක්. මගේ ළමා කාලය පටන් ගත්තේ මැටි ගෙදරකින්. අවුරුදු දහතුනේදි වුණ අනතුරකින් මම ආබාධිත වුණා. නමුත් ඒ කිසිවක් මම මගේ ජීවිතේට බාධාවක් කර ගත්තේ නැහැ. අද වෙන කොට මම ගායකයෙක් විදිහට කලා ක්ෂේත්රයට පිවිසිලා තියෙනවා. දැන් තියෙන එකම ඉලක්කය මේ ක්ෂේත්රය තුළ සාර්ථක ගමනක් යන එක.
ගීත ගායනය, සංගීතය ගැන ඔබට දැනුමක් තියෙනවද?
කුඩා කාලේ ඉඳන්ම සංගීතයට ගොඩක් ආස කළා. ඒ වගේම උසස් පෙළ දක්වා සංගීතය විෂයක් විදියට හැදෑරුවා. අද මම ගායකයෙක් විදිහට කලා ක්ෂේත්රය තුළ යම් දුරක් ඇවිල්ලා තියෙනවා. කොටින්ම කියනවා නම් සංගීතය, ගායනය කියන දේ අද ඉගෙන ගෙන හෙට ඉවර කරන්න බැරි දෙයක්. හැමදාම මේ ක්ෂේත්රය තුළ ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
නවකයෙක් විදියට මේ ක්ෂේත්රය ඔබ දකින්නේ?
නවකයෙක් විදියට මම දකින්නේ සංගීතය කියන්නේ අධ්‍යාත්මික සුවය ගෙනෙන ඕනම හිතක් සනවසවන්න පුළුවන් හරිම සුන්දර දෙයක් විදියට. ඒ වගේම යහපත් දෙයක් සමාජ ගත කරන්න හොඳ මාර්ගයක්. තරුණයන්ට තමන්ගේ හැකියාව පෙන්වන්න පුළුවන් ක්ෂේත්රයක් විදිහටත් මම සංගීත ක්ෂේත්රය දකිනවා.
නවකයෝ හැමවිටම ප්‍රවීණයන් අනුගමනය කරනවා?
ඇත්තෙන්ම මමත් ප්‍රවීණයන් අනුගමනය කරනවා. ප්රවීණයන්ගේ නිර්මාණ අත්දැකීම් තුළින් මගේම දෙයක් කරන්න හැමවිටම මම උත්සාහ කරනවා. ඉතින් ඒ ඔස්සේ ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම කණ්ඩායම් සංගීතය හරහා මම අවුරුදු දාහතරේදි කී බෝඩ් වාදන ශිල්පියෙක් විදිහටත් කටයුතු කළා. එහිදි ප්‍රවිණයන්ගෙන් යම් යම් ගුරුහරුකම් මට ලැබුණා. අදටත් ඔවුන් දුන්න ඒ උපදෙස් අවවාද ගොඩක් වැදගත් වුණා මගේ සංගීත දිවිය තුළ ඉදිරියට එන්න.
කසුන් කියන්නේ හිරු ස්ටාර් තරු මාවතේ අප දැකපු තරුවක්?
හිරු ස්ටාර් කියන්නෙ මගේ ජීවිතයේ හැරවුම් ලක්ශය කිව්වොත් හරි. ඒ මගේ පළවෙනි රියලිටි අත්දැකීම. හරිම නුහුරු දෙයක්. මේ ක්ෂේත්රයේ නොදන්න බොහෝ දේ ඒ තුළින් මට ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම මා වටා විශාල රසික පිරිසක් ගොඩ නඟාගන්නටත් මට හැකිවුණා. ඇත්තටම ඒක ලොකු පන්නරයක් වුණා මා ආපු මේ ගමනට.
ඉදිරියේදී අපිට රසවිඳින්න ලැබෙන කසුන්ගේ නිර්මාණ මොනවද?
එකිනෙකට වෙනස් නිර්මාණ කිහිපයක් ඉදිරියෙදි එළිදක්වන්න මම කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මා විසින්ම නිර්මාණය කල හාල් මිටට අම්මේ.. ගීතය මේ වනවිට එළිදක්වලා තියනවා. ඒ ගීතයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් අදටත් ලැබෙමින් පවතිනවා. ඒ සියලු දෙනාට මගේ කෘතවේදිත්වය මේ මොහොතේදී පිරිනමන්න කැමැතියි. ඒ වගේම මගේ ඉදිරි නිර්මාණත් ආදරයෙන් ඔබ සැම රසවිඳින්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා.
බුද්ධික සේනාධීර