හේමාල් අශ්වයා පිටට නැග්ගා විතරයි හිතාගන්න බැරි වේගයකින් අශ්වයා දුවන්න ගත්තලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වවපු දිග කෙහෙරැලි, උඩු රැවුල, ඉන් නොනැවතී මුහුණ පුරා වැවූ රැවුල, මඳක් සිහින් දිග දෙතොල්, රළු ඇහිබැම, කතා කරන හිතුවක්කාර තියුණු අනුරාගී ඇස්, පළල් නළලත, ශක්තිමත් යස උරහිස, දිගු බෙල්ල, මස්පිඬුවලින් පොහොසත් හයිය බාහු යුග්මය, දිගු ශක්තිමත් ඇඟිලි, රෝම පිරුණු පළල් පපුව, සිහින් ඉඟ, දිග ශක්තිමත් දෙපා යුග්මය, නහර මතු වූ අත්, පිරිමියකුගේ පිරිමි සුන්දරත්වය ගැන ගැහැනියක හිත රඳන සොඳුරු සුලක්ෂණ සේ මම දකිමි. මේ සියල්ල තුළ පිරිමි පෞරුෂත්වය මූර්තිමත් වනඅයුරු මම සිතින් විඳිමි. 

රජෙකුට නොබැඳෙන ගැහැනුන්ගේ හිත් බැඳෙන ආලවන්ත ඉම් එවැනි පිරිමියකු සන්තකයේ ඇති වග නිර්ලෝභීව ලියන්නට මගේ හිත නම් නොපැකිලේ. එවන් පිරිමියකු පසුගිය ඉරිදා හැන්දෑවේ අශ්වයකු පිට නැගී තරමක වේගයෙන් අසු පදවාගෙන ආවේ වෙද ගෙදරක වෙද මාමා හොයාගෙනය. ලේ ගලන තුවාලයක් සහිත කකුලක වේදනාවත් ඉවසාගෙන ඒ හැඩිදැඩි පිරිමියා අසු පිටින් බහිද්දී ඒ කැරලිකාර පිරිමි සිරුරේ දහදිය නැගුණු නළලත්, දහදියෙන් පෙඟුණු පිරිමි සිරුරත් පිරිමියකු පිරිමියකු ලෙස නිර්මාණය විය යුතු සෑම රසකාරකයන්ගෙන්ම සන්නද්ධ වූ සඳ එය ක්ෂීර සාගරය මෙන්ම, ගැහැනු හිතක සියුම් අහුමුලු කලඹාලූ මොහොතක්ද වූ වග නම් සැබෑය. 

පිරිමි ගති සොබා පිරිමියකු සන්තකයේ නැති කල කුමාරයකු, රජෙකු තබා සක්විති රජෙකු වුවත් කුමකටදැයි හිතෙන ගැහැනු හිත්ද නැතුවාම නොවේ. ආදරය තුළ ආදරයම මිස, ආලවන්ත අනුරාගය තුළ අනන්තයම මිස පිරිමියකු සංකේන්ද්‍රණය කරගෙන යස ඉසුරු ජීවිතය දෑල සරසන්නට නොසොයන ගැහැනු ලොබ බඳින්නේම පිරිමි හුස්මක් ළය දරාගත් පිරිමින්ටමයැයි මට සිතුණේ ගිය ඉරිදා වන් ගෝල්ෆේස් පී.වී.ආර් සිනමා ශාලාව තුළ ක්ෂීර සාගරය කැලඹිණ තිරය මත දිගහැරුණු මොහොතේය.
සැබැවින්ම සිනමා සාගරය කලඹන්නට සපැමිණි ක්ෂීර සාගරය කැලඹිණ නැරඹීමෙන් ඉනික්බිති මම ඒ කැරලිකරුට පෙම් කරමි. නිවැරදිවම ඔබ ඒ ප්‍රේමය තේරුම් ගත යුතුය. හේමාල් රණසිංහ නම් සිනමා නළුවාට නොව, ක්ෂීර සාගරය කැලඹිණ මා අභිමුව දිගහැරෙද්දී මට හමුවූ ඒ කැරලිකාර සැබෑ පිරිමියාට මම පෙම් කරමි. ඒ වග ලියන්නට සිත් වුණේම මෙතෙක් එදා ඒ කැරලිකරු තුළ සිනමා ආලයෙන් හුස්ම ගත් නළු භූමිකාවෙහි සරන්නා ළඟ මගේ හිත නැවතුණු එතරම්ම ප්‍රබල ඉසියුම් රංගනයක් මා අත් නොවිඳි නිසා යැයි කීවොත් එය අව්‍යාජම ප්‍රකාශනයයි. 

එහෙයින්ම හේමාල් රණසිංහගේ රංගන සුවිසැරියේදී ඔහුගේ නළු ආලය ප්‍රේක්ෂක ආල නිම්නයට මුදාහල සොඳුරුතම සහ අනගිතම සිනමාමය සම්ප්‍රාප්තිය ක්ෂීර සාගරය කැලඹිණ වන වග මම ලියා තබමි. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිනමා වියමන් පෙළගැස්මේ මගේ හිත ආදරයෙන්ම නැවතුණු සිනමා සිත්තමද ක්ෂීර සාගරය කැලඹිණ වූ වග මේ මොහොතේ සටහන් කර තබන්නේ සිංහල සිනමාවට එවන් අපූර්වතම සිනමා තිළිණයක් තිළිණ කළාට ඔබට බොහොම ස්තූතියි යන ප්‍රශංසාවද පිරිනමමිනි. 

කැරලිකාරයාගේ චරිතයට හේමාල් සාධාරණයේ උපරිමය අවසාන අංශුමාත්‍රය දක්වාම ඉටු කරමින් දවස් තිස් හතරක් පුරා රූගත කිරීම් කළ ක්ෂීර සාගරය කැලඹිණ තිරයෙන් එහා හේමාල් හා යා වුණු කතාන්දර ඉතින් මම සොයා යමි.  

 

කැරලිකාරයා වෙදගෙදරට යාමට අශ්වයා පිට නැග්ගා පමණි. හේමාල්වත් අන් කිසිවකුවත් නොසිතූ අනපේක්ෂිත සිදුවීමක් නිර්මාණය කළේ ඒ අශ්වයාය. අශ්වයකුට යා හැකි උපරිම වේගය එය දැයි කියන්නට නොදනිතත් තියුණු වේගයකින් අශ්වයා එක්වරම දිව ගියේය. වට දෙකක් පමණ එක හා සමාන වේගයකින් අසු එසේ දුව ගොස් නවතිද්දී දර්ශන තලයේ සිටි වැඩි දෙනෙක් සිටියේ ඉහළට ගත් හුස්ම සමඟින් යැයි හිතෙන තරමට ඒ මුහුණු පුරා බයත් කුතුහලයත් රුඳී තිබුණි. හේමාල් නොවෙන්නට වෙන කෙනෙක් ඒ අසු පිට සිටියා නම් විසි වී ගොස් වැටී තුවාල වෙන්නට ඉඩ තිබුණා යැයි දර්ශන තලයේ සිටි අය කීවේ හේමාල් ක්ෂණයකින් තත්ත්වය තේරුම් අරගෙන කලබල නොවී තමන්ගේ හිතේත් සිරුරේත් ශක්තිය එකට මුහු කරගෙන අශ්වයා හසුරවා ගන්නට තරම් ප්‍රායෝගික වූ හෙයිනි. එම දර්ශන තලවලට පැමිණෙන්නට පෙර අවස්ථාවල අශ්වයා සමඟ පුහුණු වී මිත්‍රත්වයක් ඇති කරගෙන සිටියත් ඕනෑම කෙනෙකු ඕනෑම මොහොතක වෙනස් විය හැකිය යන සිද්ධාන්තය අශ්වයාටද වලංගු වූවා විය හැකිය. 

දවස් තිස් හතරක් තිස්සේ රන්මිහිතැන්න, දඹුල්ල, සීගිරිය ආදී ප්‍රදේශවල හිත නිවන නිස්කාංසු සුවයක් දනවන සාර සුබාවට දළු ලෑ ගහකොළ අතරේ රූගත කෙරුණු මෙම සිනමා වියමන අපේ දෑස් අභිමුව දිගහැරෙද්දී අප විඳි සිනමාමය සන්තුෂ්ටිය කොතෙක් වීද, එපමණකටම සොඳුරු වූ වෙහෙසක් ඒ සිනමා වියමනේ අවසන් මොහොත දක්වා ඒ සමඟ සිටි හැම කෙනෙක්ම දෙවුර දැරූ වගට සාක්ෂි කොතෙකුත් තිබෙනවාට සැකයක් නැත. ක්ෂීර සාගරය කැලඹිණ රූගත කිරීම් කරද්දී කොවිඩ් වසංගතය හේතුවෙන් මාසයක් පමණ රූගත කිරීම් නවත්වන්නටද සිදු විය. රූගත කිරීම් අතරේ ඇතිවූ ලොකුම බාධාව එයයි. 

දර්ශන තලය තුළ ගත කරන කාලයේදී හෝ පිරිස සමඟ හැසිරෙද්දී අනවශ්‍ය ආකාරයෙන් කා සමඟවත් ප්‍රශ්නයක් ඇතිකර නොගන්නා නළුවෙක් ලෙස හේමාල් ප්‍රශංසාව ලබයි. ක්ෂීර සාගරය කැලඹිණ කැරලිකාරයාගේ චරිතය තුළට ඔහු රුගෙන යාමේදී වේෂ නිරූපණ ශිල්පියාට ඒ වෙනුවෙන් දිගු කාලයක් වැය කරන්නට සිදු විය. නුපුරුදු ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිනමා අධ්‍යක්ෂකවරයාට තමන් වෙතින් දකින්නට අවශ්‍ය ස්වරූපය මතුවෙන තුරු වේෂ නිරූපණ ශිල්පියාට ඉඩහැර බොහෝ ඉවසීමෙන් හිඳීම හේමාල්ගේ ස්වභාවයයි. ජංගම දුරකථනයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අය අතරේ දර්ශන තලයට පැමිණෙන්නට පෙර සූදානමේදී පවා ජංගම දුරකථනයට අවධානය යොමු නොකරනම නළුවෙකි; ඔහු. ඒ වගේම එක් සිනමා නිර්මාණයක් බාරගෙන එය කරගෙන යද්දී තවත් කිසිම වැඩක් බාර නොගන්නා වෘත්තිමය සදාචාරයක්, විනයක් සහ තමන් කරගෙන යන කාර්යය කෙරේ ගෞරවයක් හේමාල් සතුය. ඔහු හදවතින්ම තමන් කරන කාර්යය උදෙසා කැපවෙන, කැපකිරීම් කරන නළුවෙකි. කැරලිකාරයාගේ චරිතය තුළදී ඔහුගේ කොණ්ඩය ගොතන්නට, කොණ්ඩ දමන්නට ලොකු කාලයක් ගත වෙද්දී ඔහු ඔහුගේ කාලය ගෙවන්නේ හිතින් ඊළඟ දර්ශන වාරය තුළ තම රංගනය මෙනෙහි කිරීමෙන් විය යුතු යැයි සිතට තරමට ඔහුගේ දෑස් අරමුණු සහගතය. එක් චිත්‍රපටයක රූගත කිරීම් කෙරෙද්දී වෙනත් නිර්මාණ තබා ගමනක් හෝ යොදා නොගන්නා හේමාල් රූගත කිරීම් අවසානයේ තමන්ට වෙන් වූ කාමරයටත්, නැවත දර්ශන තල සඳහා කාමරයෙන් එළියටත් ඇරෙන්නට වෙනත් ගමනක් තමන්ට නැති තරමට එම නිර්මාණය සමඟ ආත්මීයව බැඳී සිටී. එසේම කිසිවකුටවත් වදයක් නොවෙනා ගති ස්වභාවයක්ද ඔහු සතුය. තමන්ට අවශ්‍ය විශේෂ කෑමක් බීමක් තිබේනම් එයද ඔහු විසින්ම පිළියෙළ කර ගන්නා සංයමයක්ද වරෙක ඔහු සතුව පවතී. කෑම බීම පවා විශාල ප්‍රශ්නයක් කර ගන්නා වරෙක එවැනි දේවල් අරභයා ගැටුම්ද ඇතිකර ගන්නා ඇතැම් නළු නිළියන් අතරේ වදයක් නොවී තමන්ට තේ කෝප්පයක් අවශ්‍ය නම් එය තමන්ම වුවත් පිළියෙළ කර ගන්නා පුරුද්දක් ඔහු සතුය. 

ජැක්සන් ඇන්තනී සමඟ ගැටුමකදී ජැක්සන් සතු විශේෂ සටන් ක්‍රමයක් ඇති බවට කැරලිකරුවා වූ හේමාල් හේමාල් ප්‍රතිචාර දක්වයි. සැබැවින්ම එම සටන් ජවනිකාව සටන් ක්‍රම කිහිපයක් ආශ්‍රයෙන් නිර්මාණය කර ගන්නා ලද්දකි. රූගත කිරීම්වලට පෙර ඒ සඳහා තිබුණු පුහුණුවීම් එකක්වත් අත්හැර නොගත් හේමාල්ගේ තවත් වැදගත් පුරුද්දක් වන්නේ හරියටම නියමිත වෙලාවට දර්ශන තලය කරා පැමිණීමයි. 

''හේමාල් කියන්නේ හරිම ප්‍රොපෙෂනල් නළුවෙක්.'' හේමාල් සමඟ දර්ශන තලවල වැඩ කරන ඔහු මැනවින් හඳුනාගත් කවරෙකු හෝ හේමාල්ට දෙන එක් චරිත සහතිකයකි; ඒ. එමෙන්ම පිටපතේ සඳහන් දෙබස් ඔහුට හොඳට මතකය. තනියම ගෙදර හිඳිමින් හෝ ඔහු හොඳ පුහුණුවක් ඇති කරගෙන ඇතැයි සිතෙන තරමට දර්ශන තලය තුළ හේමාල්ගේ පරිණතභාවය ප්‍රකට වේ. 

ක්ෂීර සාගරය කැලඹිණ සිනමා වියමනේ එක් තැනක මහ ලේනා පැමිණ බැත අරන් යන්න යද්දී ඔහු පසුපස පන්නා ගොස් කෑ ගසා, බය කර ඔහු අල්ලා ගන්නා දර්ශනයේදී හේමාල් සිනමා පිටපතට හානියක් නොවන පරිදි තමන්ගේ අභිමතයද එක් කර ඇත. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂවරයාගේද ප්‍රශංසනීය අනුදැනුම පෙරදැරිවය. සිනමා නිර්මාණයක් රූගත කරද්දී හේමාල්ට එම නිර්මාණයෙන් එහා කිසිවක් නැති තරම්ය. කිසිවක් අංක එක හෝ වලංගු දෙයක් නොවන තරම්ය. 

මෙම සිනමා වියමනේ එක් දර්ශනයකදී පුද්ගලයකු හිස පහළට සිටින සේ එල්ලා තබන දර්ශනයක් ඇත. ඔහු එසේ ගසේ එල්ලා රූගත කිරීමේ මොහොත එනතුරු ඔහුට අපහසුවක් නොදැනෙන සේ පිරිස ඔහුව අල්ලාගෙන සිටියත් රූගත කිරීමේ මොහොතේදී එය අල්ලා ගැනීම් අත්හල යුතුය. මොහොතකට හෝ එසේ එල්ලී සිටීම කෙතරම් දුෂ්කර දැයි දන්නේ එවැනි රංගනයන්හි යෙදෙන පුද්ගලයන්ම පමණි. ක්ෂීර සාගරය කැලඹිණ යනු එවන් ඉවසා දරාගැනීම් සහ අවසානයේ සොඳුරු වෙහෙසක් ලෙස දැනුණු වෙහෙසකර තත්ත්පර සමුදායක එකතුවක් බව එම සිනමා රූපකාරකය නැරඹීමේදී ඒත්තු යයි. හේමාල් රණසිංහ යනු ඒ සිනමා වියමන ප්‍රබල ලෙස ආලෝක ගැන්වූ තීරණාත්මකම රංගධරයෙකි.                   

(විශේෂ ස්තූතිය : ක්ෂීර සාගරය, කැලඹිණ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ විමල් දේශප්‍රියට)

I සංජීවිකා