හැමෝම කරන විදියට කසාද බැඳලා, දරුමල්ලෝ හදාගෙන, කුටුම්භගත ජීවිතයක් ගත කළ යුතුය කියලම හිතන කෙනෙක් නෙවෙය
පසුගිය දිනවල ජාත්‍යන්තරව ජගත් මනුවර්ණ ගැන කතා වුණේ, ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය නිසයි. තවමත් තිරගතවීමට නියමිත එම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන මොහොතක දී පසුගියදා එය සම්මානයට පාත්‍ර වූයේ රොටර්ඩෑම් සිනමා උළෙලේ දීය. එලෙසින් ජාත්‍යන්තරව අපේ සිනමාවට කීර්තියක් ලබා දුන්, ජගත් මනුවර්ණ රංග ශිල්පියා සහ සිනමා අධ්‍යක්ෂවරයා ගැන මේ දිනවල වැඩිදෙනා කතා වන්නේ කොඩිගහ යට ටෙලි නාට්‍යය නිසාය. එහි විශේෂත්වය වන්නේ අධ්‍යක්ෂණය සහ රඟපෑමට ද ඔහු දායකව සිටීමය.
ජගත් මනුවර්ණ, කොහොමද ඉතින් විස්තර? ජීවිතේ කොහොමද?
මේ දවස්වල ‘කොඩිගහ යට’ ටෙලි ඩ්‍රාමා එක විකාශය වෙනවා. සෙනසුරාදා සහ ඉරිදා රෑ අටහමාරට. ඒක සම්පූර්ණයෙන් ෂූට් කරලා ඉවරත් නැහැ. ඉදිරි කොටස් වෙනුවෙන් තව ෂූට් කරන්න තියෙනවා. එහි රඟපාන අතරේ අධ්‍යක්ෂණය කරන්නෙත් මම. ටෙලිවිෂන් එකට අධ්‍යක්ෂණයෙන් මම දායක වන පළමු අවස්ථාවයි මේ.
කොඩි ගහ යට ගැන කතා කරන්න කළින් පසුගියදා ජාත්‍යන්තරව අගැයීමට ලක්වූ ඔබගේ ‘රහස් කියන කඳු’ ගැන කතා කරමු?
‘රහස් කියන කඳු’ මගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. ඒ ෆිල්ම් එක රූගත කළේ 2017 දී, ප්‍රථමයෙන් එය රූගත කිරීමේ නිෂ්පාදන වියදම දැරුවෙ සුනිල් ටී. ප්‍රනාන්දු මහතා. 2017 දී ෂූට් කරන්න පටන් ගත්ත. ඒ ෆිල්ම් එක කරන්න මම පටන් ගත්තේ 2011 ඉඳලා. නමුත් 2017 දී තමයි විධිමත් විදියට මට ඒ වැඩේ ඉවර කරන්න පුළුවන් වුණේ. නිෂ්පාදකවරු සොය සොයා සෑහෙන දුෂ්කර කටයුත්තක යෙදුණෙ. මෙහි නිෂ්පාදකවරු හතර දෙනෙක් ඉන්නවා. සුනිල් ටී. ප්‍රනාන්දු, රසික ජිනසේන, චන්න දේශප්‍රිය මුලින්ම එක් වුණා. පසුව මුල්‍යමය දායකත්වයක් එක්ක තව නිෂ්පාදකවරයෙකු එක්වුණා. එයාගේ නම නිර්මාණ බණ්ඩාර. 2022 දී තමයි ෆිල්ම් එකේ වැඩ ඉවර කළේ. 2023 දී රොටර්ඩෑම් සිනමා උළෙල නියෝජනය කළේ ඉන්පසුවයි. මම විතරක් නොවෙයි, තවත් සිනමාකරුවකු වන විසාකේස චන්ද්‍රසේකරගේ ෆිල්ම් එකත් එහිදී අගැයීමට ලක්වුණා. ශ්‍රී ලංකාවේ ෆිල්ම් දෙකකට එකවර සම්මාන ලැබීම විරල අවස්ථාවක්. මගේ ප්‍රථම ෆිල්ම් එකට ඒ වගේ සම්මානයක් ලැබීම පුද්ගලිකව ලොකු සතුටක්. ‘රහස් කියන කඳු’ බොහෝ විට මේ වසරේ අපේ රටේ තිරගත වේවි.
ඇයි මනුවර්ණ ටෙලිනාට්‍යවල වැඩිය දකින්න නැත්තෙ?
රංගන ශිල්පියකු විදියට තමයි වේදිකාව හරහා මම කලාවට එන්නෙ. ඒකට හේතුව රඟපෑම කියනදේ මම කැමැත්තෙන් සහ ආසාවෙන් කරන දෙයක්. ඒ නිසා චරිතයක් ලැබුණාම ටිකක් හොයනවා, බලනවා වැඩියි. මට කරන්න පුළුවන් මට්ටමක තියෙනවාද? ගැළපෙනවාද? එහි පිටපත කොහොමද? ඒ වගේම දේවල් ටිකක් බලලා තමයි චරිතය කරන්නෙ. හොඳට සූදානම් වෙලා කරන්න කිව්වොත් හරි. රඟපානවා කියන විෂයය විඳිමින් කළ යුතු දෙයක්නෙ. විඳවන්නේ නැතුව. මගේ ගැන හොඳට දන්න නිසා මගේ විදිය දන්න නිසා මට ගැලපෙන ඒවාට විතරයි අධ්‍යක්ෂවරු කථා කරන්නේ. ඒ නිසා තමයි නිතර දකින්නට නැත්තෙ. ඒ වුණාට ෆිල්ම් කීපයක නම් රඟපෑවා. ඒවා එන්න තියෙනවා. ආයු, මැරීන් ඩ්‍රයිව්, ප්‍රධානව මම රඟපෑ චිත්‍රපට. ඒවා ඉදිරියේ තිරගත වේවි.
ප්‍රධානව මනුවර්ණ දායකත්වය ලබා දෙන්නෙ රංගනයට ද? අධ්‍යක්ෂණයට ද? නැත්නම් වෙන මොන අංශයකට ද?
රඟපෑම සහ අධ්‍යක්ෂණය ඒ සියල්ලම මම ආසාවෙන් කරන වැඩ. රඟපෑමේ දී තෝරා බේරා ගෙන ඒ වැඩේ කරනවා. වේදිකා නාට්‍යවලදිත් එහෙමයි. මට අවකාශය තියෙන විදියට තමයි ඒවාට දායක වෙන්නෙත්. නැත්නම් අධ්‍යක්ෂවරු අමාරුවෙ වැටෙනවානෙ. අධ්‍යක්ෂවරයකු ලෙස තවත් ෆිල්ම් එකක් කිරීමේ උනන්දුව, ආසාව, පෙළැඹවීම තියෙනවා. ෆුල් ටයිම් මේ වැඩ තමයි කෙරෙන්නෙ. රඟපෑම ආදායම් ලබන විෂයක් වුවත්, මට එහි ආත්ම තෘප්තිය තමයි වැදගත්.
මේ කියන කරන සියලු වැඩ අතරේ ඔබගේ ප්‍රේමය - ආදරය කොතැන ද නතරවෙලා තියෙන්නේ?
ඒවා සාමාන්‍ය විදියට ජීවිතේ ගතවෙමින් යනවා. හැමෝම කරන විදියට කසාද බැඳලා, දරුමල්ලෝ හදාගෙන, කුටුම්භගත ජීවිතයක් ගත කළ යුතුය කියලම හිතන කෙනෙක් නෙවෙයි මම. නිදහස්කාමී විදියට ගෙවන ජීවිතයක් තියෙන්නෙ. කලාවේ මගේ වැඩවලට ඒ නිදහස් මනස වැදගත් වෙනවා. කලාව, දේශපාලනය, රඟපෑම මේ සියල්ල මගේ ජීවිතයේ කොටසක්. ඒ සියලු දේ එක්ක අරමුණු ටිකක් තියෙනවා. ඒ අරමුණු ඔස්සේ වැඩ කරනවා.
පසුගිය කාලයේ දී මිනිස්සු ඔබව දැක්කෙ බොහොම රැඩිකල් දැඩි මතධාරී, උද්වේගශීලී පුද්ගලයකු විදියට. ඒ ස්වරූපයේ සිටින ඔබ ‘ආදරය’ කියන මාතෘකාවේ දී මොන වගේ ද?
ජීවිතේ සම්බන්ධතා ඇතුළෙදි, ඒ කියන්නෙ ගෙදර අය වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන් හෝ යාළුවන් වෙන්න පුළුවන්, අපේ සම්බන්ධතා කියන දේ වල දී නිශ්චිත හැඩයක් නැහැනෙ. ඒ කියන්නෙ යම්කිසි විදියකට පවත්වාගෙන යා යුතුයි කියලා. සරලවම කිව්වොත්, අපි යාළුවො ගනිමු. ඒ කවරාකාරයේ සම්බන්ධතා වුවත්, ඒවා රණ්ඩුවෙවී, යාළුවෙවී යන දේවල්. ඒක තමයි ස්වභාවය. ඒවා ඇතුළෙදි අපිත් අත්දැකීම් ලබනවනෙ. එහෙම තමයි. ඒවා විශේෂ තත්ත්වයන් ලෙස මම රාමු කරන්නේ නැහැ. ඒවාට යන්න දීලා මගේ වැඩ කරනවා.
‘කොඩිගහ යට’ ‘මහේෂ්’ ගැන කියමු?
මහේෂ් කියන්නෙ දාමරිකයෙක්. පවුලට හිතැති, දරුවට – බිරිඳට ආදරය කරන, තමුන්ගේ යටගියාව ගැන වේදනාවකින් පසුවන කෙනෙක්. ඔහුගේ මියගිය පියා වෙනුවෙන් කිසිවක් කරන්න බැරි වුණාය කියා පසුතැවිල්ලෙන් සිටින පුද්ගලයෙක්. ඒ සියල්ල අතරේ, ඔහුට රැකබලා ගන්න පවුලක්, බිරිඳක්, දරුවෙක් ඉන්නවා. එතැනින් එහාට ජීවිතය ගෙන යන්න, ඔහු දන්නා දේ එක්ක කරන ජීවිකාව තමයි විකාශය වෙන්නෙ. පරාර්ථකාමී නොවුවත්, පවුලට ළැදි චරිතයක්. ඒක සරු නොවූ සංකීර්ණ චරිතයක්.
රඟපාමින් - අධ්‍යක්ෂණය කිරීම ඔබට කොහොමද දැනෙන්නේ?
ලංකාවේ හැටියට දුෂ්කර වැඩක්. අපට ලැබෙන සම්පත්, ලැබෙන මුදල් ප්‍රමාණය සහ ඒ වටපිටාව ඇතුළෙ, ඒ දුෂ්කරතාවය ඇතිවෙනවා. ඒ දුෂ්කර වැඩේ මාත් අත්දකිමින් ඉන්නෙ තවම. මේ වැඩේ ඉවර වුණාම මට ඒ ගැන හරියටම කියන්න පුළුවන් වේවි.
‘කොඩිගහ යට’ ටෙලිනාට්‍යයෙන් ඔබට කතා කරන්න ඕනෑ වුණේ මොකක් ගැන ද?
සමාජයේ යම් හරස්කඩක් මේ ටෙලිනාට්‍ය ඇතුළේ කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේක අපරාධ නැත්නම් එළියෙ සමාජයේ අපි දකින් ප්‍රචණ්ඩත්වය ගැන යම්කිසි විදිහකට කතා වෙනවා. ප්‍රවෘත්ති ඇතුළු මාධ්‍යයේ දී එදිනෙදා අපි දකින සිදුවීම් තියෙනවනෙ. ලාංකීය සමාජයේ එළියේ සිදුවන සමහර දේ අතිශය ප්‍රචණ්ඩයි. ඇයි මේවා වෙන්නේ? මේවාට පසුබිම් වූ සමාජ – දේශපාලන - ආර්ථික සාධක මොනවාද කියන එක දිහා අපි බැලීම කළ යුතුයි. තනිවම පුද්ගලයකු කිසිවකට වග කියන්නේ ද? කියන එකට එහා ගිය දෙයක් මේ ප්‍රචණ්ඩත්වයේ තියෙනවා.
අපි ආවේගශීලී චරිතයක් කියලා හිතන ඔබ, ඇත්තටම මොන වගේ කෙනෙක් ද?
මගේ තියෙන මම අත්දකින සිදුවීම් එක්ක ඒවා සඟවාගෙන ජීවත් වෙන්න උත්සාහ ගන්නෙ නැහැ. මේ එළියට පෙනෙන්නට ඉන්න මම ම තමයි මේ. ඒ දකින ස්වරූපයෙදි ප්‍රචණ්ඩයි වගේ, ආවේගශීලියි වගේ කියලා මිනිස්සු දකින්න පුළුවන්. හැබැයි ඒ ප්‍රකාශනයන්ට හේතුවූ ඔවුන් දකින දේ ඔවුන්ට වටහා ගන්න පුළුවන් නම්, ඔවුන්ට තේරේවි මාව. සමාජ අසාධාරණ යැයි හැඟෙන අවස්ථාවල දී ඒ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. අපට එල්ලවෙන පීඩාව හමුවේ පුරවැසියන් ලෙස එල්ලවන ඒ පීඩාවේ තරමට තමයි ප්‍රතිචාරය තියෙන්නේ. එහෙම ප්‍රතිචාර දැක්වූවේ නැත්නම් ඒක වෙන පැත්තකට හැරෙනවානෙ. අපි යහපත් කියලා විශ්වාස කරන ලෝකයක් තියෙනවානෙ. ඒ නිසා අයහපත් දේ අපට දෙන පීඩාවේ තරමටම පීඩාවක් අනෙක් පැත්තට දිය යුතුයි.
පසුගිය කාලයේ දී රටේ වෙච්ච දේ එක්ක ආවේගශීලී අදහස් දක්වපු කෙනෙක් ඔබ? අද ඒ ගැන මොකද හිතෙන්නේ?
එහෙම ප්‍රකාශ කිරීම ගැන කිසිම පසුතැවිල්ලක් නැහැ. ඉතිහාසයේ වූ දේ ගැන වර්තමානයේ සිට උත්තර සපයන්න බැහැ. කාලානුරූපීව, ඒ මොහොතට අනුව වෙන දේවල්. ඒ නිසා නැවත වර්තමානයේ සිට ඒවා ගැන පසුතැවීම් කියා ගත යුතු නැහැ.
සඳුන් ගමගේ