හැමෝම කියන්නේ ’ජිම් ගර්ල්’ කියලා
නිෂී සමරවීර කලා ක්ෂේත්රයට ආවේ නිරූපණ ශිල්පිනියක විදියට. ඉන් පස්සේ රූපවාහිනී වෙළඳ දැන්වීම්වලට පෙනී සිටින අතරේ මියුසික් වීඩියෝ සඳහාත් පෙනී සිටි චරිතයක්. ඒ ඔක්කෝටම අමතරව ඇය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. මේ දිනවල සමාජ මාධ්‍යයේ ‘නිෂී’ වඩාත් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ (ජිම් ගර්ල් -gym girl) යන නමින්. ශාරීරික ව්‍යායාම් සහ සුවතාවය වෙනුවෙන් නිතරම ‘ජිම්’ එකට ගිහින් ව්‍යායාම් කරන්න බෙහෙවින්ම කැමති ඇය සමග මේ කතාබහ ක්‍රියාශීලී ජීවිතයකට ව්‍යායාම් අවශ්‍යද? යන්නයි. ඇය මේ විදියට ව්‍යායාම් කරන්නෙ විලාසිතාවකටද? අනෙක් අයගෙ ආකර්ෂණය ලබා ගන්නද? ‘නිෂී’ ඒ ගැන අපට මොනවද කියන්නෙ බලමු.
නිෂී ගැන අද වැඩි දෙනෙක් කතා කරන්නෙ?
අද නම් ඉතින් හැමෝම වගේ කතා කරන්නේ ජිම් ගර්ල් කියලයි.
මේ ඔක්කෝටම කලින් ‘නිෂී’ කලා අංශයට ආ විදිය ගැන සඳහනක් කළොත්?
බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදියට ඇවිත්, මියුසික් වීඩියෝ සහ දැන්වීම්වලට පෙනී සිටියා. පසුව තමයි රඟපෑමට ආවේ.
රඟපෑම් පටන් ගත්තෙ?
දෝන කතිරිනා, නාට්‍යයෙන් කරළියට ආවේ. මෑතකදී නීල පබලු නාට්‍යයේ රඟපෑවෙ.
දැන් රඟපෑම් කරන්නෙ නැද්ද?
මගේ ව්‍යාපාර කටයුතු සහ පුද්ගලික හේතු මත රඟපෑමට දැනට සමුදීලා තියෙන්නෙ.
පෙම්වතා එපා කිව්වද?
මගේ සැලෝන් ව්‍යාපාරයේ කටයුතු එක්ක රංගනයට කාලය දෙන්න අමාරුයි. එක දෙයක් සාර්ථක කර ගන්න එපායැ.
එතකොට ජිම් එකට නිතරම යනවද?
දවසේ වැඩ කටයුතු ඉවර වුණාම, හවසට මම ජිම් එකට යනවා. දැන් ඒ වැඩේට ඇබ්බැහි වෙලා.
ජිම් එකට ගිහින් ඇඟ හදා ගන්න විශේෂ හේතුවක් තියෙනවද?
මොඩ්ලින් වගේම ඇක්ටින්, වගේම බියුටිෂියන් යන අංශවලට අමතරව ජිම් යන්නත් මම හරි ආසයි. ඒ අංශයෙන් ඉෙගනීම් පවා කරනවා. මගේ අමතර කාලයේ වැඩි වෙලාවක් දෙන්නෙ ජිම් එකට.
සිරුරේ හැඩකාර බව පෙන්වන විදියට නිෂී නිතරම ඡායාරූප යොමු කරන බව දකින්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය හරහා මේ විදියට කරන්නෙ අනෙක් අයගෙ ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින්ද? නැතිනම් සිරුරේ හැඩය පෙන්වන්න තියෙන කැමැත්ත නිසාද?
ඔව් ඉතින් කොහොමටත් හැඩකාර සිරුරක් තියෙන කෙනෙක් ඒ හැඩකාර රිද්මය ඉස්මතු වන විදියට විලාසිතා කිරීම හොඳ දෙයක්. මම මට ගැලපෙන විදියට අදාල තව කෙනෙකුට එය මෝටිවේෂන් එකක් (අභිප්‍රේරණයක්) ලබා දෙන්න කැමතියි. ඒ නිසා තමයි ෆොටෝ එකක් අරගෙන දාන්නෙ. ඒවාට හොඳ වගේම සමහර අයගේ නරක ප්‍රතිචාරත් ලැබෙනවා. ගැහැනු ළමුන්ට වඩා පිරිමි ළමුන් මගේ ජිම් යන වැඩේ අගය කරනවා. කාන්තාවක් වෙලා මම කරන දේ ජිම් එකට යාමට පිරිමි ළමුන්ට හොඳ ගැම්මක් කියලා තමයි එයාලා කියන්නෙ. මම ආහාර පාන ගන්නා විදිය ගැන වගේම ව්‍යායාම් කරන විදිය ගැන අහනවා.
මේ විදියට නිෂීගේ හැඩකාර පෙනුම නිසා ලැබෙන යෝජනා එහෙම කොහොමද?
අනේ එහෙම අයුතු යෝජනා නම් එන්නෙ නැහැ. ඔයාගෙ බොඩි ෂේප් එක හොඳයි. ලස්සනයි. ඒ වගේ තමයි වර්ණනා කරන්නේ. ප්‍රේම ඇරයුම් නම් එහෙම එන්නෙ නැහැ.
ජිම් ගිහින් ව්‍යායාම් කිරීම කාන්තාවකට කොතරම් වැදගත් කියලද හිතන්නෙ? ලාලිත්‍ය නැතුව යන්නෙ නැද්ද? ඕනෑවට වඩා මස් පිඩු තද කර සවිකර ගැනීමෙන්?
මෙහෙමයි, ව්‍යායාම්වල වර්ගීකරණයන් තිබෙනවා. ඇඟ හදා ගන්න වගේම අඩු කර ගන්න විදියට ඒ ව්‍යායාම් කරන්න පුළුවනි. කාන්තාවක් ජිම් යාමෙන් නිරෝගිකම රැක ගැනීමට හැකිවීම වගේ සිරුරේ හැඩය පවත්වා ගැනීමට හැකි වෙනවා. මේ වනවිට මම ඒ ව්‍යායාම් සහ ෆිට්නස් වෙනුවෙන් පුහුණු වූ කාලය වැඩියි. ඒ නිසා දැන් මගේ අරමුණ තවත් පිරිසකට උපදේශකත්වය ලබාදීම දක්වා මෙම අංශයෙන් හැදෑරීමටයි. ෆිට්නස් මොඩල් කෙනෙක් සහ ෆිට්නස් සිරුරක් වෙනුවෙන් කරන ව්‍යායාම් සහ ක්‍රම වෙනස්.
නමුත් හැමෝම කැමති කාන්තාවකගේ නාරි දේහයට. ඉතින් ජිම් ගියාම ඒ ස්වභාවය පවත්වා ගන්න බැහැ නේද?
මම ව්‍යායාම්වල යෙදෙන්න මගේ සිරුරට ගැලපෙන විදියට. ඒ හැරත් ෆිට්නස් උපදේශිකාවක ලෙස කටයුතු කරනවා නම් වඩාත් නම්‍යශීලී සිරුරක් හදාගත යුතුයි.
ඔබට අවශ්‍ය කරන්නෙ යකඩ ගැහැණියක් හෙවත් අයන් වුමන් කෙනෙක් වීමටද?
එහෙම අරමුණක් නැහැ. ඒත් බොහෝ දෙනෙක් යෝජනා කරන්නෙ නම් මෙම අංශයේ තරගවලට දායක වෙන්න කියලයි. ඒත් මට එහෙම අදහසක් නැහැ.
විවාහයෙන් පසුව මේ ජිම් යන වැඩේ දිගටම කාන්තාවකට පවත්වාගෙන යන්න බැහැ නේද?
විවාහ වෙලා දරුවකු බලාපොරොත්තු වනවා නම් ඒ ගැන හිතලා කාලයකට නවත්වන්න වෙනවා. ඉන්පසුව බබා ලැබිලා ටික දවසකට පස්සේ නැවතත් සුපුරුදු පරිදි ව්‍යායාම් කරගෙන යාම වැදගත්. ජිම් එකකටම නොයා සිරුර පාලනය කර ගන්න ගෙදර ඉඳලා ව්‍යායාම් කරන්නත් පුළුවනි.
කෙට්ටු තරුණියක් සිරුර වඩවා ගන්න මොන වගේ ආහාර වේලක් ගතහොත් හොඳද?
කෙසඟ සිරුරක් ඇති අය කාබෝහයිඩ්රේට් වැඩි ආහාර ගැනීම කළ යුතුයි. ශරීරයට අහිතකර නොවන පිෂ්ටය සහිත ආහාරපාන ගැනීම වඩා හොඳයි. තෙල්, පිටි, සීනි අඩු කිරීම අනිවාර්යය දෙයක්. සිරුර මහත් කර ගන්න කියලා අනවශ්‍ය විදියට මේද සහිත ආහාර ගත යුතු නැහැ. එක එක්කෙනාගේ සිරුරේ විදිය අනුව ව්‍යායාම් කිරීම වගේම ආහාරපාන ගැනීමත් වෙනස් වෙනවා.
තරුණියක් සිරුර මේ විදියට හැඩට හදා ගන්න උනන්දු විය යුත්තේ මොන වයස් සීමාවේදිද?
වයස් කාණ්ඩයක් නිශ්චිතව කියන්න බැහැ. මම දන්න සමහර කාන්තාවන් විවාහයෙන් පසුවත් බබාලා එහෙම හදලා ව්‍යායාම් කරලා ලස්සන සිරුර නිරෝගීව පවත්වාගෙන යන අය සිටිනවා. අපටත් වඩා හොඳට හැඩකාර විදියට සිටින මගේ යාළුවෝ ඉන්නවා. ඒ නිසා වයස කියන්නේ ඇත්තටම ඉලක්කමක් විතරයි. තමුන්ගෙ සිතිවිලි තමයි බලන්නෙ. මේ විදියට ව්‍යායාම් කිරීමෙන් මානසික සුවයක් ලබනවා.
ජිම් යාම නිසා ඔබට ලැබුණු හොඳම දේ?
අද වනවිට බොහෝ තරුණ තරුණියන් වැරදි දේට එනම් තහනම් මත්ද්‍රව්‍යවලට යොමුවෙලා සිටින වග පෙනෙනවා. ඒ අනුව ගත්තාම මම ඇබ්බැහි වෙලා ඉන්නෙ ජිම් එකට. ඉතින් ඒක මට ලැබුණු ලොකුම මානසික සුවයයි. මට ලැබුණු හොඳම දේ තමයි එය.
සඳුන් ගමගේ