හැමෝම කතාවෙන “හස්බන් සහ වයිෆ්” කතාවේ ඇත්ත නැත්ත දයාන් ම කියයි
ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ කියන්නෙ අතිශය ජනප්‍රිය චරිතයක්. විශේෂයෙන්ම කලා ලෝකයේ තරු ගැන, ඔහු නිරන්තරයෙන් ම මුහුණු පොත අලුත් කරන කෙනෙක් විදිහටත් ප්‍රසිද්ධ යි. ඉතින් පසුගිය දවසක දයාන්, අපේ රටේ හිටපු අපූරූ රංගන ශිල්පිනියක් ගැන මතක ආවර්ජනයක යෙදුණා.
මේ තියෙන්නෙ දයාන් මුහුණු පොතේ තැබූ සටහනක්.
මා තුෂ්ණිම්භූත වූ දුරකථන ඇමතුම ..
මීට සුළු වේලාවකට පෙර මට දුරකථන ඇමතුමක් පැමිණි අතර, 'ආ කොහොමද දයාන් ... මම ඔයාගේ wife කතා කරන්නෙ..' යනුවෙන් දුරකථනයෙන් විමසීමත් සමග මමත් මදකට මහත් සේ පුදුමයට පත්වූවේ කිසිත් සිතාගත නොහැකිව ය. පසුව මා ඇය කතා කරන විලාසයෙන් ඇය කවුදැති අනුමාන කරන විටම ඇය විසින්ම 'දයාන් දයාන් මම ග්‍රේස්' යනුවෙන් පැවසූ අතර මට එලෙසින් කතා කළේ මා රංගනය කළ මුල්ම ටෙලිනාට්‍ය වන 'සාගරය පරදා' ටෙලිනාට්‍යයේ මගේ බිරිඳ ලෙස රංගනය කළ සුරූපී නිළි අචලා අලස් ය.
එකල එම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කෙරෙන අවදියේ සේම ආසන්නතම පසුකාලයන්හි පවා අපි හමුවෙන විටෙක එකිනෙකා වෙනුවෙන් 'Husband' සහ 'Wife' ලෙස සරදම් කරගැනීම සිරිතක්ව පැවැතුණි. එකල එම ටෙලිනාට්‍යයේ අපට පුංචි පුතෙකු ද සිටි බව මතකය. පුදුමයට කරුණ වන්නේ මෑතකදී ඇය මට මුණගැසුණේ කලකට පසු වුවත් මා සමග ඇය රංගනයේ යෙදෙන කාලයේ මෙන්ම අදටත් ඇය තාරුණ්‍යයට වඩා සමීප සුන්දරත්වයෙන්ම පසුවීම ය.
මෑතකදී මා ඇය ඡායාරූප ගත කළ අවස්ථාවේ මට ඇගේ සැමියා වන මේජර් විජිත වැලිකල ද මුණගැසී මා ඔහුගේ ද ප්‍රථම වතාවට ඡායාරූප ගත් අතර, මේ සමග ග්‍රේස්ගේ සැබෑ ජීවිතයේ සැමියා සේම ටෙලිනාට්‍ය තිරයේ සැමියා ද එක්ව ගත් ඡායාරූපයක් ද ඇයට තිළිණ කරන්නෙමි. සුවිශේෂීත්වයක් වන්නේ ඔහුත් මමත් දෙදෙනාම වර්තමානයේ එකම වයසක පසුවන සැට විය සපුරන ලද දෙදෙනෙක් වීමත් ය.
මා ඉකුත් දිනෙක ඇගේ එකම එක් ඡායාරූපයක් මුහුණුපොත තුළ පළ කළ අතර ඇගේ රසිකයන් ද බොහෝ දෙනෙක් ඊට ප්‍රතිචාර දක්වා තිබුණි. එමෙන්ම ඇය අද මිත්තණියක් ද වන අතර, ඇගේ මිණිපිරිය ද එම ඡායාරූපය බලා ඒ කවුරුන්දැයි විමසූ බව දැනගැනීමට ලැබීමෙන් ද මා සතුටට පත්වූවේ ඇගේ නොවෙනස් ඡායාකාන්තිය ද එදා මෙන්ම අදත් සුන්දරතම බව සිහිපත් වීමෙනි.
ඇයටත් මෙන්ම ඇයට පෙම්බැඳි ඔබටත් තිළියක් ලෙසින් ඇගේ පැරණි ඡායාරූප කිහිපයක් සේම මෑතකදී මා ගත් ඇගේ නවතම ආලේඛ්‍ය ඡායාරූප කිහිපයක් ද මෙසේ තිළිණ කරන අතරම, ඔබට ද ඇගේ නොවෙනස් තාරුණ්‍යයේ රූ සපුව දැක පුදුමයට හේතු නැගෙන බවට නම් සැක නැත.
ආදරණීය ග්‍රේස්ටත්, සැමියා විජිතටත් සේම දරු මුණුපුරු සැමටත් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹෙන්නට ආසිරි පතමි !!!