හැමෝම අහන මතක බංකුව ගීතය ගයන ගැන සිතාරි අමිලීයා කිව්ව කතාව
වර්තමානයේ නිතර ඇසෙන ගීතයක් තමයි මතක බංකුව කියන්නේ. ගායන ක්ෂේත්රයට නවකයෙක් වන සිතාරි අමිලීයා තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඇය දැනට ප්රේරාදෙණිය නිතී දෙපාර්තුමේන්තුවේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක්ද වෙනවා. ගායිකාවක් විදිහට දිගු ගමනක් යන්න අපේක්ෂාවෙන් පසුවන සිතාරි තම අලුත් ගීතය හා ඉදිරි වැඩ කටයුතු ගැන අපට කිව්වේ මෙහෙමයි..
මතක බංකුව කොහොමද නිර්මාණය වුණේ?
මම වෘත්තියෙන් ගායන ශිල්පිණියක් නෙවෙයි. හැබැයි මගේ ලොකුම විනෝදාංශේ තමා ගීත ගායනා කරන එක. ඉතින් කාලයක ඉඳලා මම කවර් සෝන්ග් කළා. ඒ ගීත අහපු හැමෝම වගේ කියපු දෙයක් තමා ඔයාගේම ගීතයක් කරන්න කියලා. මගේ පවුලේ අයත් මාව ඊට උනන්ඳු කළා. මගේ පෙම්වතා සංගීත ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක්. එයා තමයි යෝජනා කළේ මට ගීතයක් කරමු කියලා. ඔය විදිහට තමයි මතක බංකුව ගීතය නිර්මාණය වෙන්න මාව විවර වුණේ.
මේක සිතාරිගේ කීවෙනි ගීතයද එතකොට?
මතක බංකුවට කලින් මම සියපතක්.. කියලා ගීතයක් කළා. මේ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා මගේ විශ්වවිද්‍යාලයේ තුළ. සියපතක්.. ගීතයේ තනුව නිර්මාණය කළෙත් මගේ විශ්වවිද්‍යාලයේම සහෝදර ශිෂ්‍යයෙක්. සියපතක්.. ගීතයට හැබැයි මම රූප රචනාවක් කළේ නැහැ. එහෙම රූප රචනාවක් සමග නිකුත් කළ පළමු ගීතය තමයි මතක බංකුව ගීතය. මේ ගීත හැරෙන්න මම නන්දා මාලිනි හා අභිෂේකා විමලවිර දෙදෙනාගේ ගීත කිහිපයක්ම කවර් ගීත හැටියට ගායනා කළා.
කවුද මතක බංකුව ගීතයට දායක වුණ පිරිස?
මතක බංකුව ගීතය රචනා කළේ සම්පත් ප්රනාන්ඳුපුල්ලේ. ගී තනුව හා සංගීතය නිර්මාණය කළේ මගේ පෙම්වතා හාන්ස ප්‍රනාන්ඳු. ගීත රූප රචනාව කළේ සාගර ප්‍රනාන්දු (ඇන්ගල් ත්‍රි සික්ස්ටි). එතකොට මේ රූප රචනාවට රංගනයෙන් දායක වෙන්නේ ප්රේරාදේණිය විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය ලබන චරිතා ප්‍රවර්ධි බණ්ඩාර හා පේශල් සී තෙන්නකෝන් දෙන්නා. චරිතා තමයි Forget Me Not කියන නව කතාව රචනා කරපු දෙන්නාගෙන් එක්කෙනෙක්. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්ද වෙනවා. එතකොට පේශාල් කියන්නේ ප්රේරාදේණියේම සම සෞඛ්‍ය පීඨයේ ශිෂ්‍යයෙක්. ඒ වගේම තමයි ප්රේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුලේ තමයි මේ ගීතයේ සියලුම රූපගත කිරිම් කටයුතු සිදු කළේ.
මතක බංකුව ගීතය තුළ වෙනසක් තියෙනවද?
ඔව් ගීතය තුළ වෙනසක් තියෙනවා. ඒක වෙන්න ඇති ගොඩක් අය මේ ගීතය ඉතාමත් ආදරයෙන් රසවිඳන්න හේතු වුණේ. මේ ගීතයේ කියැවෙන්නේ ප්රේරාදේණිය විශ්වවිද්‍යාලයේ තියෙන පොදු තැනක් ගැන. ඒක තමයි මතක බංකුව. ගොඩක් වෙලාවට ඒ තැන පාවිච්චි කරන්නේ විශ්වවිද්‍යාලයේ ආදරවන්තයෝ. ඒ අය කතා කරන ඒ අයගේ දුක සතුට බෙදාගන්න මේ මතක බංකුව තුළ. හැබැයි මේ ගීතයෙන් කියැවෙන්නේ විශ්වවිද්‍යාලයේ ඇතුළේ ආදරවන්තයෝ වුණ යුවළක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා වෙලා තමන්ගේ ආදරයට සමුදීලා පිට වෙලා යන සිදුවීමක් අලලා. මම හිතනවා විශ්වවිද්‍යාලය සිසුන් ගොඩක් මේ ගීතයට කැමැත්තක් දැක්වූයේ ඔවුන් අත්වින්ඳ දේ මේ ගීතය තුළ අන්තර්ගත වෙලා තියෙන නිසා කියලා මට හිතෙනවා.
සිතාරි ගායිකාවක් වුණේ කොහොමද?
මම කතෝලික කෙනෙක්. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ මම හිටියා පොඩි කාලේ ඉඳලාම. මම හිතනවා මේ කඩහඬ මට දෙවියන් වහන්සේගෙන් ලැබුණ තිළිණයක් කියලා. අනික තමයි මගේ අම්මාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. ඒ ආභාෂයත් මට පිහිටලා තිබුණා. පාසලේදී ගායන තරගවලට ඉදිරිපත් වුණා. පල්ලියේ ගීතිකා කණ්ඩායම සමග නිතර නිතර සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ හරහා ලැබුණ අත්දැකීම් මට ගොඩක් ප්‍රයෝජනය වුණා ගායිකාවක් විදිහට ඉදිරියට එන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ පෙම්වතා. ඔහුත් සංගීතයට සම්බන්ධ කෙනෙක් නිසා ඔහුගෙන් ලැබුණ සහයෝගය මාව ගායිකාවක් විදිහට ඉදිරියට එන්න හේතු වුණා කිව්වොත් හරි.
බුද්ධික සේනාධීර