හොඳටම බැනුම් ඇහුවෙ ‘කියා දෙන්න ආදරේ තරම්’ හි නදුන් චරිතයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයේ දුෂ්ටයා වී ප්‍රේක්ෂකයාගෙන් අයහපත් ප්‍රතිචාර ලබමින් සිටි චරිත් මධුරංග හිටි හැටියේම අහිංසක පෙම්වතා වී යහපත් ප්‍රතිචාර ලබන්න පටන් අරන්. ඔහුට ඒ වෙනස් වීම ගොඩක් දැනෙනවා කියලයි සඳැල්ල කතාබහකට එකතු වෙමින් පවසා සිටියේ.

2023 වසරේ ආරම්භය චරිත්ගේ රංගන ගමනට සුභයි වගේ නේද?

“ඔව්, ඇත්තටම සුභ වසරක් වෙයි කියලා හිතෙනවා. ඒ වගේම සුභ වුණා කියලත් හිතන්න පුළුවන්. මොකද මම රංගනයෙන් දායක වුණු නිර්මාණ දෙකක් මේ වසරේ විකාශය ආරම්භ කළා. ඒ ‘අක්ෂි’ සහ ‘BIO’. ඒ වගේම ඉදිරියේදීත් නුදුරේම තවත් නිර්මාණයක් විකාශය වෙන්න නියමිතව තියෙනවා. ඒ සියල්ලම ගත්තම මේ රංගන ගමනේ යම් සාර්ථකත්වයක් තියෙනවා කියලා හිතනවා.”

මුලින්ම ‘අක්ෂි’ සම්බන්ධව කතා කරමු?

“අක්ෂි කියන්නේ වෙනස්ම විදිහකට යන කතාවක්. සිනෙමැටික් ටයිට්ල් එකට තමයි මේ නිර්මාණය සිදු වෙන්නේ. මේ තුළ මගේ චරිතය තමයි ‘ශානක’. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඒ වගේම පුවත්පත්වලටත් ලියනවා. ඒත් එක්කම හොඳ ආදරවන්තයෙක් මේ චරිත රංගනය තුළ. ඇත්තටම මේ රංගනය මම මීට පෙර සම්බන්ධ වෙලා හිටපු චරිතවලින් වෙනස්ම විදිහේ චරිත රංගනයක්. මේ හරහා අහිංසක පෙම්වතෙක් වෙලා ඉන්නවා.”

පුංචි තිරයේ හැමදාම දුෂ්ටයා වුණු චරිත්ට මේ ආදරවන්තයා දැනුණේ කොහොම ද?

“ඇත්තටම මට ලැබුණෙම සුපුරුදු විදිහට දඩබ්බර දඟකාර මැර චරිතනේ. ඉතින් මට ලොකු ආසාවක් තිබුණා ඒ චරිත රංගනයෙන් මිදිලා වෙනස්ම විදිහේ රංගනයකට යන්න, දුෂ්ටකමෙන් මිදෙන්න. ඉතින් මාව ඒ තත්ත්වයෙන් මුදාගෙන ‘අක්ෂි’ තුළ වෙනස්ම චරිතයක් ලබා දීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා ශාන් ජයරත්නට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එහි පිටපත් රචක ප්‍රියනාත් විදානපතිරණටත්. 

ඇත්තටම මට මේ චරිත රංගනය ලොකු අභියෝගයකුත් වුණා. මොකද එකම විදිහේ චරිත රංගනයන් තුළින් සම්බන්ධ වෙලා වෙනස්ම විදිහකට යන්න ටිකක් අමාරුයිනේ. නමුත් අද වෙද්දි ලැබෙන ප්‍රතිචාර එක්ක මම හිතනවා ඒ චරිතයට මම යම් සාධාරණයක් කරන්න ඇති කියලා. ඇත්තටම අපේ චරිත සාර්ථකව කරගෙන යන්න මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න අනෙකුත් රංගන ශිල්පීන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම ශලනි තාරකා, අනුරාධා, කළණ ගුණසේකර ඇතුළු මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න මේ කණ්ඩායමේ හැමෝගෙන්ම. ඒ අයත් එක්ක වැඩ කරන්න ලැබීමත් ඇත්තටම ලොකු සතුටක්. ඉතින් ඔවුන්ගේ සහයෝගය මත මගේ වෙනස් වූ චරිත රංගනය සාර්ථකව කළා කියලා හිතෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර වුණත් ඇත්තටම ගොඩක් හොඳයි. මගේ රංගනයේ වෙනස ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා.”

කාලයක් නම් හොඳටම බැනුම් ඇහුවනෙ නේද?

“ඔව් ඔව්. මදි නොකියන්නම බැනුම් ඇහුවා. ඒ හොඳටම බැනුම් ඇහුවෙ ‘කියා දෙන්න ආදරේ තරම්’ හි නදුන් චරිතයට. ඇත්තටම රංගන ශිල්පියෙක් විදිහට ඒ බනින එකට මම ගොඩක් කැමැතියි. මොකද ඒ බනින්නෙ නදුන් චරිතයට මිසක් චරිත් මධුරංග කියන මට නෙමෙයිනේ.”

‘කියා දෙන්න ආදරේ තරම්’ හි නදුන් එක්ක බලද්දි ‘අක්ෂි’ ශානක පෙනුමෙන් පවා වෙනස් වෙලා තියෙනවා නේද?

“ඔව්. අක්ෂි තුළ ශානක චරිතය වෙනස්ම විදිහකටනෙ යන්නෙ. ඇඳුම් පැළඳුම් වුණත් හරිම වැදගත්. හැසිරීම, කතාබහත් වෙනස්ම විදිහක්. කොහොමත් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වුණාම නිර්මාණයක් තුළ ඒ ලැබෙන චරිතය අනුව හැඩගැහෙනවනේ. ඒ චරිතය වෙනුවෙන් අධ්‍යයනයක යෙදිලා ඒ චරිතයට වෙනම ප්‍රොෆයිල් එකක් හදා ගන්නවා. ඉතින් මමත් ඕනෑම නිර්මාණයකදි චරිත රංගනයන්ට අදාළ වන පසුබිම නිර්මාණය භාරගද්දිම හදා ගන්නවා. ඒ හදා ගැනීම තුළින් තමයි චරිතයක් ඉදිරියට ගෙනියන්නේ. ඒ විදිහට හදාගත්තු චරිත තමයි පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ.”

පුංචි තිරයට සම්බන්ධ වෙන්න කලින් චරිත් වේදිකාව දැඩිව පරිශීලනය කරපු චරිතයක් නේද?

“ඔව්. ඇත්තටම මම මේ ගමන ආරම්භ කරන්නෙ පාසල් කාලෙදිමයි. මම පුංචි කාලෙ ඉඳන්ම කැමැත්තෙන් හිටියෙ රංගන ශිල්පියෙක් වෙන්න. ඒ නිසාම මම පාසල් යන කාලෙ ඉඳන්ම ඒ අංශයට නැඹුරු වෙලා හිටියෙ. මොකද නළු උණ තදටම වැදුණු කෙනෙක් තමයි චරිත් මධුරංග කියන්නේ. මම පාසල් ගියේ ගාල්ල සිරිධම්ම විද්‍යාලයට සහ ගාල්ල මහින්ද විද්‍යාලයට. ඒ පාසල් දෙකේදීම මම රංගනය හැදෑරුවා. පාසල් මට්ටමින් ඒ තරගවලට සම්බන්ධ වුණා. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලවලට, සමස්ත ලංකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ විදිහට ආරම්භ කරපු ගමන් මගේදි නාට්‍ය හා රංග කලාව වැඩිදුරටත් හැදෑරුවා. එතැනින් පසුව වේදිකාවට සම්බන්ධ වෙලා වේදිකා නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. එතැනින් පසුව පුංචි තිරයටත් සම්බන්ධ වෙලා සෙසු චරිත කිහිපයක්ම කරලා තියෙනවා. ඇත්තටම රංගන ශිල්පියෙක් වෙන්න ලොකු කට්ටක් කාපු කොල්ලෙක් මම. ප්‍රතික්ෂේප වුණු තැනුත් ගොඩක් තිබුණා. නමුත් මගේ අරමුණට යාම අත ඇරියේ නැහැ. ලොකු ශක්තියක් අරගෙන නොවැටී මේ ගමන ආවේ. මුලින්ම කතාබහට ලක්වුණු නිර්මාණයකට කළේ ‘අකුරු මැකී නෑ’ නිර්මාණය සහ ‘ධරණි’. ඉන් පසුව ගොඩක්ම මේ ගමන් මග වෙනස් කළේ ‘කියා දෙන්න ආදරේ තරම්’ නදුන් චරිතයෙන්. මාව යම් පිරිසක් හඳුනාගත්තෙ ඒ චරිතය හරහා. එතැනින් පසුව තමයි අක්ෂි, BIO හා එකතු වෙන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඉදිරියටත් ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂවරයාගේ අලුත්ම විදිහේ නිර්මාණයක් එන්න තියෙනවා. ඒකත් ලස්සන වැඩක්. ‘මන්දාරම් කතාව’ නමින් ඒ නිර්මාණය දිග ඇරෙන්නේ. ඉදිරියේදී ඒ තුළිනුත් දකින්න ලැබෙයි.”

චරිත රංගනයන් තුළ වැඩිපුර දුෂ්ටයා වෙන චරිත් මධුරංගගේ සැබෑව කොහොම ද?

“මගේ සැබෑව අහිංසකත් නැහැ, දුෂ්ටත් නැහැ. සුදු වැඩි කළු අඩු චරිතයක්.”

පුංචි කාලෙ බලාපොරොත්තු වුණු හීනයට යන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

“ඇත්තටම මම උත්සාහ කළේම කලා ක්ෂේත්‍රයට එකතු වෙන්න. ඒ තුළ අද වෙද්දි මම යම් තැනනකට ඇවිල්ලා ඉන්නවා. යම් ප්‍රේක්ෂක පිරිසක් මගේ වටා එකතු වෙලා ඉන්නවා. ඒක මගේ ජීවිතේට ලැබුණු ලොකුම වටිනාකමක්. ඉතින් අද කොහේ ගියත් රංගන ශිල්පියෙක් විදිහට මාව හඳුනගෙන, මම සම්බන්ධ වුණු නිර්මාණත්, ඒ චරිත පිළිබඳත් කතාබහ කරනවා, ඒවාට ප්‍රතිචාර දක්නවා. ආශිර්වාදයක් ලැබෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක මට ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට වචනවලට පෙරළන්න නම් බැරි වෙයි. ඉතින් ඉදිරියටත් මේ ඇවිල්ලා ඉන්න තැන රැකගෙන හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා මේ ක්ෂේත්‍රය තුළ හොඳ අධ්‍යයනයක් සහිතව දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වෙන්න තමයි හිතන්නෙ.”

ධනු විජේරත්න