හොඳ නිර්මාණයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම රඟපානවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරන චතූ අබේවර්ධනට මෙවර ආදරණිය කලාපයෙන් මෙසේ අප ඉඩක් වෙන් කළා. වසර කිහිපයක් තිස්සේ නිරූපිකාවක් ලෙස කටයුතු කරන ඇය මේ වනවිට මනෝවිද්‍යා උපාධිදාරිණියක්ද වෙයි. එමෙන්ම නිරූපණයට සමානව රංගනයටද ඉමහත් කැමැත්තක් දක්වන චතූ ඉදිරියේදි රංගනයට එක්විමටද සූදානමින් සිටියි.  මේ දිග හැරෙන්නේ ඇය අප සමග කළ කතා බහයි.

චතු ඇයි නිරූපණයට එන්න හිතුවේ?

මම හිතන්නේ ඒක මගේ පොඩි කාලේ ඉඳලාම තිබුණ හිනයක් කියලා.  මොකද, මගේ අම්මා සෞන්දර්ය ගුරුවරියක්. ඉතින් පොඩි කාලේ ඉඳලා හැදුණ පරිසරයත් එක්ක මම ඒ හිනේට ආස කරන්න ඇති කියලා මම හිතනවා. නිරූපණ ක්ෂේත්‍රයට එන්න මාවත හදලා දුන්නේ මගේ මිතුරා සමිත. ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ වැඩ කිහිපයකට මම සම්බන්ධ වුණා. මම හිතන විදිහට මේ ක්ෂේත්‍රයට මම ආවේ 2020 වසරේදි. 

පාසල් යන කාලේ චතූ කවුරු වෙන්නද හීන දැක්කේ?

මගේ අම්මා ගුරුවරියක් නේ. ඒ නිසා මටත් ඕනා වුණා ඇය වගේ ආදර්ශමත් ආදරණිය ගුරුවරියක් වෙන්න. ඉතින් පොඩි කාලේ ඉඳලා මම ගුරුවරියක් වෙන්න හින මැව්වා. ඒ නිසාමයි අධ්‍යාපනවේදි උපාධියක් මම හැදැරූවේ. පාසල් යන කාලේ විෂයක් විදිහට නර්තනය හැදෑරුවා. පාසලේ හැම කලා කටයුත්තකටම වගේ ඉදිරිපත් වුණා. නර්තනයට තිබුණ කැමැත්ත නිසාම පසුකාලිනව මම නර්තනයට සම්බන්ධ යූ ටියුබ් නාලිකාවක් පවා පටන් ගත්තා.

නිරූපිකාවක් විදිහට දැන් ඔබ දායක වුණ නිර්මාණ මොනවද?

ගොඩක් වෙලාවට මම මුලීකත්වය දුන්නේ ඡායාරූපවලට පෙනී ඉන්න. ඊට අමතරව මම ඩාන්සින් කවර්ස් කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ එක්කම වෙළෙඳ නාම කිහිපයක් යටතේ ඇදුම් නිර්මාණ කිහිපයකටත් මම පෙනී සිටියා. ඉදිරියටත් ඒ වගේ දේවල්වලට පෙනී ඉන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනටත් ඒ වගේ ආරාධනා කිහිපයක් මට ලැබිලා තියෙනවා.

නිරූපණය චතුගේ දැන් ප්‍රධාන වෘත්තියද?

නැහැ. මම වෘත්තියක් විදිහට නිරූපණ කටයුතු කරන්නේ නැහැ. දැනට මම ස්මාර්ට් මොබයිල් ආයතනයේ මිඩියා එක්සෙකිට්‍යු විදිහට වැඩ කරනවා. ඒ වගේම දැනට මම මනෝ විද්‍යා උපාධිදාරණියක්. තව දුරටත් ඒ පැත්තෙන් අධ්‍යාපන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ඉදිරි කාලයේදී මම ඉගෙන ගත්තු දෙයින් රැකියාවක නිරත වෙන්න අදහසකුත් තියෙනවා. ඒ අතරතුර ලැබෙන කාලය කළමණකාරණය කරගෙන නිරූපණ වැඩවලට සම්බන්ධ වෙනවා. මම ගොඩක් ආසයි මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න. ඒ නිසා මොන වෘත්තියක වැඩ කළත් මම නිරූපණ කටයුතු අත්හරින්න නම් සුදානමක් නැහැ.

චතුට රඟපාන්න අදහසක් නැද්ද?

අදහසක් තියෙනවා. නිරූපණයට සමානව මම රඟපාන්නත් ගොඩක් කැමතියි. හොඳ නිර්මාණවලට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ දේවල්වලට සම්බන්ධ වෙලා මම වැඩ කරනවා. තව මම අවුරුදු කුමාරි තරගවලටත් ඉදිරිපත් වෙලා තියෙන කෙනෙක්. 

සිවුවසරක ආපු මේ ගමන ගැන චතූට මොකද හිතෙන්නේ?

මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණේ මගේ හොඳම යාළුවෙක්ගෙන් ලැබුණ ආරාධනයක් නිසා. ඔහු සමිත ධනංජය. ඔහු හරහා මට හොඳ නිර්මාණ කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා. ක්ෂේත්‍රය දිහා ආපසු හැරිලා බලන කොට ලොකු සතුටක් මට තියෙනවා. මම හිතෙනවා දැන් මේ ක්ෂේත්‍රයේ යම් පිරිසක් මාව අඳුනනවා කියලා. අධ්‍යාපනයත් සමබරව කරගෙන මේ වැඩවලට දායක වෙන්න ලැබුණ එක ලොකු භාග්‍යයක් විදිහට මම දකිනවා. මොකද, මම හැම පැත්තකින්ම අද සාර්ථක වෙලා තියෙන නිසා. ඉතින් මේ ගමන එන්න උදව් කළ හැමෝටම බොහෝම ස්තුතියි කියනවා අවසානයේ.