හීන හොයාගෙන ඈත ඉගිල්ලෙන Passport



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අහන්න අමරෙ... මම ඔබට අඬගහන්නෙ සල් මල් කඩන්න යන්න නෙවෙයි... ඒ අතීත පොත් පිටු අතරෙ තව තව සල් මල් සල් යායටම පිපිච්චදෙන්... අනික මම නයනත් නොවෙච්චි... වාං දමන ස්නේහයෙන් නිලා අමරෙගෙ ජීවිතයේ හැම අහුමුල්ලකම රිදුම් පිරිසිඳ ප්‍රාණ සම ස්නේහයෙන් පෙම් කරන්නී... ඒත් අමරෙ ඔයා දන්නවාද? මමත් මුළු හදින්ම උඹට පෙම් කරනවා... කවදා ඉඳන් ද කියන්න මතක නෑ. ඒත් ඒ ආදරේ ආයෙත් අලුතෙන් මල් පිපුණා... ඉතින් ඇයි කියලා අහන්න මගෙන්... හේතු විරහිත කිසිම දෙයක් ලෝකයේ නැහැ අමරෙ... හේතුව පාස්පෝට්... හේතුව මගේ සිනමා ආලය... ඔයාගෙන් තොර ලෝකයක් නෙවෙයි අමරෙ ඔයාගෙන් තොර සිනමාවක් කොයින්දෝ කියලා එදා මට හිතුණා... මම අදහන මම ආදරය කරන මම විශ්වාස කරන ශ්‍රී ගනේෂ් දෙවියන් ඉස්සරහ පත්තු කරන පහන පල්ලා... මට... එහෙම හිතුණා අමරෙ... මට එහෙම දැනුණා අමරෙ. මම හරියටම මට එහෙම දැනිච්ච තත්ත්පරය උඹට කියන්නම්... අර ගිනිගහන අව්වෙ නිරුදක කතරක් මැද්දෙ අතරමං වෙලා කාත් කවුරුත් නැති පොළොවක ජීවිතය පැල කරන්න තැනක් නැති පොළොවක නන්නත්තාර වෙලා ඔයා අර ගිනිදන වැල්ලෙ වැලිවලින් වැහිලා යද්දී අනේ අමරෙ සාර සුබාවට මෝරන තල මල සේ වෙච්ච ආදර කුසුමක් පිපුණෙ ඔබේ නමින් මගේ පපුව මැද්දෙ... හේතුව... අමරෙ හේතුව ඔයා නිරුදක කාන්තාරයේ ඒ ගිනිදන වැලි අස්සෙ සනිටුහන් කළ ඔයාගේ ස්වර්ණවත් රංග මුද්‍රාව... ක්‍රිෂ්... දැන් ඔයා අහන්න... ඔයාගේ පාස්පෝට් එකට තරමටම මම අමරෙට ආදරෙයි.

ජීවිතය ඔව් ජීවිතය ඔබ එය නිර්වචනය කරන්නෙ කෙළෙසදැයි මම නොදන්නෙමි. හුස්ම වැටෙන තුරු තත්ත්පර අතර සැරිසැරීම ජීවිතය නොවන බව මම ඔබට කියමි. අමරෙ ඔයා දන්නවාද? හුස්මක් ගන්න බව දැනෙන හැම මොහොතකම ජීවිතය ජීවිතය  වෙසින්ම ජීවිතය ජීවිතය වෙසෙසින්ම හමුවන වග ඔබ තරම් මට කියා දුන් කෙනෙක් ඈත මෑත සිංහල රිදී තිරයේ මට හමු නොවූ වග... අහන්න අමරෙ ඔයා දන්නවාද ඔයාට දැනෙනවාද ළය ලෙය කැකෑරෙන ප්‍රේමණීය ප්‍රේමයකින් ජීවිතය හොයාගෙන හොයාගෙන හොයාගෙන ගිය ඔයා... ජීවිතයට රිද්මයක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ගිය ඔයා... ජීවිතයේ පෙනෙන නොපෙනෙන හැම අහුමුල්ලකම තවරන්න වර්ණ පදාස හොයාගෙන හොයාගෙන හොයාගෙන ගිය ඔයා මට ජීවිතය ගැන කියා දුන්න තරමක්... අඬන හිනාවෙන ඉල්ලන නොඉල්ලන ලැබෙන නොලැබෙන හැම දෙයක් අතරෙ කොන්දේසි විරහිත ප්‍රාණ හාදුවකට කියන තවත් නමක් තමයි අමරෙ ජීවිතය කියන්නෙ... පණ ගැහෙන උණුහුම් ළෙන්ගතුකමක අංශුමාත්‍රයක් නැති නිරුදක කතරක ගිනි ගහන වැලි අතරෙ මරණයේ ද්වාරය දැන් ඇරෙයි දැන් ඇරෙයි කියලා හිතෙන දරාගන්න බැරි තත්ත්පර සමුදායක් තුළත් ඔයා ජීවිතය අත් නොහැරිය වග මහ පුදුමයක්... නයනා ආවෙ නෑ අමරෙ රිදුම් පිරිමැද උඹව සල්මල් යායකට කැටුව ගිහින් ආදරයේ මල් නෙලන්න. 

මරණයේ සීතලත් මරණයේ කළුවරත් විතරමයි තිබුණේම අමරෙ හැමතැනම. ඒත් අත්හැරෙන හැම තත්ත්පරයකම ආයෙත් ආයෙත් ආයෙත් අත් නොහැරෙන්න උඹ අල්ලා ගත්තෙත් ජීවිතයමයි... ජීවිතයට ආදරය කරන ජීවිතය ස්නේහයෙන් ඉඹින මිනිස්සු එහෙමයි එහෙමමයි... අනේ අමරෙ උඹ දන්නවාද ඇඬුවෙ අපි... අයියෝ අමරෙ උඹ මැරෙයිද කියලා... උඹ මැරෙනවද කියලා... උඹ මරණවද කියලා ක්‍රිෂ් ඇන්තනීගේ බෙල්ලෙන් අල්ලගෙන අහන්න හිතුණෙ අපිට. ඒත් හදවතේ ගැඹුරුම තැනක උඹ නමට ඉපදුණු මොකක්දෝ සිනමාමය ප්‍රේමයක්... ඔව් අමරෙ සම් මස් ලේ නහර ඇට මිඳුළු විනිවිද දැනුණු මොකක්දෝ සිනමාමය ප්‍රේමයක් අර ගිනියම් නිරුදක කාන්තාරයේ වැලි කැටයක් කැටයක් ගානේ සාක්ෂියට තියලා දිවුරලා කීවේ අමරෙ උඹ කවදාවත් නොමැරෙන වග... අමරෙ අමරණීය වග... සම්මුතික මරණය තුළ මිසක්... ක්ෂණයක් ක්ෂණයක් පාසා මිසක් සිනමාමය ලෝකය තුළ උඹ කවදාවත් කවමදාවත් නොමැරෙන වග. 

පිච්චෙන කාන්තාරෙ සියුම් සේද වැලි නිම්නයේ පාස්පෝට් වෙනුවෙන් අමරෙ උඹ තැබූ රංග මුද්‍රාව උඹ ශ්‍රී ලාංකික සිනමාව තුළ සදා ජීවනයක් බවට පත් කර හමාරයි. සල්මල් කඩන්න නයනට කතා කරන හීනත් දාහක් හීන පිරුණු හීන පැසේ හංඟගෙන නන්නාඳුනන පොළොවක තෙතමනයක් නැති ඉහත්තාවක අතරමං වී ජීවිතයට පාරක් හොයපු ජීවිතයට පාරක් හොයන අමරෙලා අදටත් හිඳින වග දන්නවා මම හොඳටෝම.

සංසාර ගිරි දුර්ග ගෙවා සපැමිණ මහා දුක් කන්ද පාමුල ජීවිතය දැනෙන වෙසෙකින් සෙවූ සහ සොයන සියලු අමරෙලා ස්ත්‍රී පුරුෂ වර්ගීකරණයකින් ඔබ්බට සංකේතවත් කළ සියලු මානවීය හැඟීම් හි ස්වර්ණවත් සම්ම්ශ්‍රණයක් ලෙස මම පාස්පෝට් සිනමා රූපවේදය අර්ථ දක්වමි.

අමරෙ මවාලූ අමරෙ හා ආත්මීය ආලයකින් හුස්මක් ගත් ජගත් චමිල යන අනන්ත රංග කෞෂල්‍යයකින් සන්නද්ධ රංගවේදියා කවුරුන්දැයි හඳුනාගනු වස් තවත් සාක්ෂි කුමටදැයි සිතෙන තරමට රංගවේදය තුළ ජගත් චමිල තැබූ රංග මුද්‍රා අපමණය. සම්මානයන්ගෙන් සම්මානනීය වූ හෙයින් පමණක් නොව ප්‍රේක්ෂක දෑස් අබිමුව සිය දහස් වාරයක් සම්මානනීය වූ හෙයින් ජගත් චමිල යනු ශ්‍රී ලාංකික සිනමාව තුළ මහා සිනමාවේදයක් ලෙසත් වර්ණවත් ස්වර්ණවත් සිනමා මුද්‍රාවක් ලෙසත් මා හඳුන්වන්නේ ලාංකික විසූක දස්සනය වේදිකාව සිනමාව ප්‍රමුඛ ශානරයන්හි විවිධ දිශානතින් තුළ ජගත් චමිල සංකේන්ද්‍රණය කළ රංග සලකුණු රංග පුස්තකයක විසල් පරිච්ඡේදයක් වියන්නට තරම් පොහොසත් වන හෙයින්මය.
ක්‍රිෂ් ඇන්තනී අධ්‍යක්ෂ යන භූමිකාව තුළ කෙතරම් දැනෙන ගැඹුරකට ඇවිද ගොස් ඇත්දැයි යන්න ක්‍රිෂ්ගේ දෙවැනි චිත්‍රපටය වූ අපේ ප්‍රින්සිපල් සිනමා රූපකාරකයටත් වඩා ක්‍රිෂ්ගේ පළමු අධ්‍යක්ෂණය වූ පාස්පෝට් කදිම සාක්ෂි සපයයි. සල්ලි... මුදල් ඒකකය කුමක් වුවත් ජාතිය ආගම තරාතිරම සමාජ තත්ත්වය කුමක් වුවත් ජීවිතය සොයා යනු පිණිස අවැසි දේ අතර සල්ලි අවැසිම අවශ්‍යතාවක් වූ පාරිභෝගිකවාදී අති ධාවනකාරී විශ්වීය ව්‍යුහයක අමරෙ යනු පීඩිත පන්තියක පරිපීඩිත මානව නියෝජනයකි.

ආදරය තරම් සුවයක්... ප්‍රේමය තරම් මිහිරක් ලොව නැතත්, නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට වැනි සිතුවිලි සරණියක් පිරිමි පපුවක අමුතු උණුහුමක දැවටෙද්දී ගැහැනු හිතක ලියවුණත්, ජීවිතය සාර සුබාවට භුක්ති විඳිනු පිණිස මේ ලෝකයේ හුස්මක් වැටෙන හුස්මක් ගන්න හැම ගැහැනියෙකුට හා පිරිමියෙකුටම සල්ලි වුවමනාමය. ජන්ම ලාභය ලද ජන්ම භූමිය මිනිසුන් අතික්‍රමණය කරන්නේත් අබිනික්මන් කරන්නේත් සල්ලි හොයන්නට සල්ලි නෙලන්නට සල්ලි උල්පත් ගැවසී කෙම්බ්ම් සොයාගෙනය. අමරෙලා සමන්ලා කඳුකරය හැර ට්‍රෝලර් බෝට්ටුවක ඉතාලි යන්නට ගොසින් හම්බන්තොටට ගොඩ බැස වරක් රැවටෙන්නේත් විඳිය නොහැකි තරම් දුක් පිරිපතක් පපුවේ තදට පින් සිදුවෙන්නට දරාගන්නේත් දෙවැනි වතාවට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිල්පදය එක් වතාවට සිය වතාවක් බිඳිමින් කුමාරගේ කූට ඒජන්සියේ පිහිටෙන් ඉතාලි යන්නේත් එහිදී අනපේක්ෂිත සිදුවීම් දාමයකට මැදි වන්නේත් අවසානයේ සෙවූ සියල්ල සෙවූ විලාසෙන් හමු නොවූ නිසාවෙන්  පමණක් නොව පැතූ ජීවිතය බොහෝ දුර යැයි හැඟුණු නිසාවෙන් ප්‍රේමයත් ජීවිතයත් හොයාගෙන අහඹු නිල් මාණික්‍යත් ගුලි කරගෙන අමරෙ ලංකාවට පැමිණෙන්නේත් සමන් ඉතාලියේ යුරෝ හා ඔට්ටු වෙන්නේත් සාර සුබාවට දළුලන ජීවිත සොයාගෙන දූපතෙන් එහාට දේශයෙන් දේශයට ඉගිල්ලෙන්න මානවක මානවිකාවන් අත්විඳින සොඳුරු සේම කටුක ගොරහැඩි රිදුම් දෙන රළුපරළු අත්දැකීම්හි සේයා සම්මිශ්‍රිත ඛේදවාචකයන්හි යථාර්ථය කොතෙක් දරුණු දැයි, දරාගන්නට අසීරුදැයි කියා පාමිනි. සිහින සිහිනයෙන් ඇහැරවනු පිණිස රමණීය තත්ත්පර සපැමිණෙන තෙක් මේ පොළොවේ මිනිසුන් අහස පොළොව අතර ජීවිතය අයදිමින් බලා හිඳින්නේ අද ඊයෙක නොවේ. දණ්ඩක් විසි කළත් පැලවෙන පොළොවක උරුමය ලද දේශයක රතු ලූනු ගෙඩියේ පටන් රටින් ගෙන්වන ක්‍රමවේදයක් නිමැවුණේ කොහොමද? වරදාන වරප්‍රසාද සාධාරණව බෙදී නොයන ධනය බලය විසින් ජනතා පරමාධිපත්‍යයට ඇණ ගසන, නීතියේ පරමාධිපත්‍යයටත් දේශපාලනයේ කළු හෙවණැලි පතිත කරන්නට යත්න දැරූ සහ දරන සමාජයක විෂමතාවය මේ තරම් රුදුරු වුණේ කොහොමද?

නිල්වන් මහ සාගරය තුරුල්ලේ සම්පත් සාගරයක් සඟවාගෙන ටින් මාළු බෙලෙක්කයත් රටින් පටවගන්න රටක, ලෝකයේ හොඳම මිනිරන් නිධියක් ඇතුළු සාර සම්පත් බුරුතු පිටින් පොළොවේ හංඟාගෙන ලෝකයෙන් සිඟමන් යදින රටක, ජාතික ආර්ථිකයක කොඳු නාරටිය ශක්තිමත් කරන්න ජාතික ප්‍රතිපත්තියක් ජාතික කැක්කුමක් නලියන දේශපාලන පපු වෙනුවට ධනයෙන් බලයෙන් මැරකමින් පාතාලයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කොමිස් වාසි කාසි අස්සෙන් පවුල් සුඛ විහරණය වෙනුවෙන් කැපවුණු බහුතර දේශපාලකයන් බිහි වූ රටක අවසන් ප්‍රතිඵල වඩාත් ඛේදනීය වූ පසුබිමක කාසි නෝට්ටු සොයා රට රටවල් ගානේ නොදන්නා පොළෝ මත පැලවෙන්නට ඉඩක් සොයන්නට මේ රටේ මිනිස්සුන්ට සිදුවිය.

ආදරය ප්‍රේමය ස්නේහය රමණය වැනි අතිශය ස්වභාවික මානවීය අවශ්‍යතාවන් පපු කුහර තුළ හංඟගෙන කැඩී බිඳී යන ආදර කතාවල පවුල් කතාවල දුක් කඳුළු දරාගෙන රටින් ඉගිල්ලෙන්නට මේ රටේ මිනිස්සුන්ට සිදුවිය.
කිරි සුවඳ දැවටි සිහින මැදපෙරදිග මහ ගෙවල් තුළ සින්න කර දරු පැටවුන් තනි කරන්නට මේ රටේ අම්මලාට සිදුවිය.

එහෙත් ඛේදවාචක නිර්මාණය කළ අපතයන් සහ වගකිවයුත්තන් සදාකාලික මුනිවතක ගිලී තම තමන්ගේ ජීවිත ජයග්‍රහණයන් වෙනුවෙන් ජය පැන් බොද්දි හැමදාම හඬන්නට මේ රටේ එක පන්තියක මිනිස්සුන්ට සිදුවිය.
ඒ කඳුළුවල කළු පාට ගින්දර සහ රතු පාට උණුහුමත් දම් පාට සීතලත් ක්‍රිෂ් ඇන්තනී පාස්පෝට් හි ඉසියුම් ලෙස තවරා තිබේ.
ධර්මප්‍රිය ඩයස්, නයනතාරා වික්‍රමාරච්චි අපිට අහිමි වූ දර්ශන් ධර්මරාජ් ආදීන්  පාස්පෝට් ජීවයේ ජීවයන් අතර හිටියත් ජගත් චමිල ඒ ජීවයන් අතර සාර පූර්ණ මුද්‍රාව වග මම නිර්ලෝභීව ලියා තබමි.
පාස්පෝට්....

ක්‍රිෂ් ඇන්තනී සිංහල සිනමාවට එක් කළ සුබ සලකුණ වෙනුවෙන් කොහොමද ස්තූතියි කියන්නෙ... එය මෙහෙවරක පියවරකි... ක්‍රිෂ් යනු සිංහල සිනමාවේ මා දකින සුපැහැදිලි අනාගත බලාපොරොත්තුවකි.

ඉඳින් වසන්තය යනු සෘතුවක් පමණක් නොවේ. එය නිම නොවන මතක පුරාණයකි. අද පූදින මල් තවත් දවසක තවත් මොහොතක අතු අගිසි නටු මුදුන් සරසන වසත් කාලය ඉතින් මනරම්ය. කතා කරන කතා කියන අනුරාග ප්‍රේමණීය හදගැස්මට ආදරවේද ලියන මේ වසත් කාලය මනරම්ය... එහෙයින්ම අද සේම හෙටත් අමරෙලා එක්ක ආදරයත් ජීවිතයත් විඳගන්නට අපි බලා ඉමු.

සංජීවිකා සමරතුංග