හිතේ තිබුණෙ දොස්තර කෙනෙක් වෙන්න ඒත් A/L ෆේල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකා නාට්‍ය රංගනයේදී රඟපෑමට නම් ඔහු හෝ ඇය ඉතා දක්ෂ විය යුතුමය. මක්නිසාද යත් එය සජීවී රංගනයක් වන බැවිනි. දශමයට තිතට කරන දේ කළ යුතුමය. හිරාන් අබේසේකර යනු මෙරට වේදිකාවට වඩා ජාත්‍යන්තර වේදිකාවේදී හමුවන අති දක්ෂ රංගන ශිල්පියෙකි. ඔහුගේ දක්ෂතාවය ඇත්තේ වේදිකාවට පමණක්ම නොවීම තවත් විශේෂත්වයකි. සිනමාව ටෙලිවිෂනය සහ රේඩියෝ කලාවටද දායකත්වය ලබාදෙන මේ අපූරු දක්ෂයා ගැන පසුගියදා ලෝකයම කතා කරන්නට පටන් ගත්තේ Life of Pi (ලයිෆ් ඔෆ් පයි) වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් දක්ෂතම නළුවාට හිමි, ලොරන්ස් ඔලිවියර් සම්මානය ලැබූ නිසාය. ලන්ඩනය කේන්ද්‍රකොටගත්, ලන්ඩන් තියටර් යටතේ මේ සම්මානය ප්‍රදානය කෙරෙන්නේ ජාත්‍යන්තර වේදිකාවේ සිටි විශිෂ්ටතම රංග ශිල්පියකු වූ ලෝරන්ස් ඔලිවියර් වෙනුවෙන් කරනු ලබන ගරුත්වයක් වෙනුවෙනි. ආසියාවට ප්‍රථම වරට මේ සම්මානය ලබාදුන් හිරාන් එම ජාත්‍යන්තර සම්මානය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලාංකීය භූමියට වෙනසක් අවශ්‍ය යැයි හඬ නගන තාරුණ්‍යයට ශක්තිමත් වීම වෙනුවෙනි. මචංලා... ඔන්න මං ආවා. අපි මේ සිස්ටම් එක වෙනස් කරමු.... මාත් ඔයාලා එක්ක මොහොතකට හෝ ඒකට එක්වෙන්නම්, අන් සියල්ලට වඩා තමා උපන් රටේ යහපත සහ යහපත් අනාගතයක් නිර්මාණය කිරීම උදෙසා හඬ නගන ශ්‍රී ලාංකීය ප්‍රජාව අතරට මෙලෙසින් පැමිණ සිටින ජාත්‍යන්තර සම්මාන දිනූ හිරාන් අබේසේකර පසුගියදා මාධ්‍ය හමුවකට එක්විණි. එහිදී මාධ්‍ය ඇසූ විවිධ ප්‍රශ්නවලට හිරාන් අදහස් පළ කළ විදියයි  මේ.

මචංලා මම උඹලට ආදරෙයි. එදා ඔබ සම්මාන ලැබූ රාත්‍රියේදී ඇයි ඒ විදියට ලෝකෙට ඇහෙන්න හඬ නගා කිව්වේ?

ඒ වෙලාවෙ  ‘මචංලා’ කියලා කිව්වෙ, ඒ වෙලාවෙ එක පාරටම මට ආව අදහස් ගොන්නේ එකක් විදියටයි. සම්මානය ලබාගත් පසුව මුලින්ම මම ස්තුති කළේ මගේ අම්මා-තාත්තාට. මාව මේ ලෝකෙට බිහිකළ ගරුත්වයට. ඒ විදියට මට එක එක හැඟීම් සමුදායයක් ඔළුවට ආවා. ඒක ඉතිං මට මගේ පපුවෙන්ම දැනුණ නිසයි එහෙම කිව්වෙ. මොකද ලංකාවේ මේ වෙලාවෙ වෙන දේ ලෝකයේ අනෙක් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් හැමෝම වගේ දන්න දෙයක්. නමුත් මේ තරුණ අරගලයට සම්බන්ධ වෙන්න බැරි එක ගැන මට තිබුණෙ ලොකු දුකක්. ගෝල්ෆේස් ආවාම තමයි දැනුණෙ එතැන තියෙන්නෙ මොනතරම් ආදරයක්ද කියන එක. මෙහේ ආවාට පස්සෙ එතැනට ගියාම මම දැක්කෙ එතැන ‘ආදරයෙන්’ නිර්මාණය වූ තැනක්. ලෝකයේ බොහෝ රටවලට ගිහින් තියෙනවා. ඒත් මේ වගේ සාමකාමී ආදරණීය අරගල භූමියක් ලෝකයේ වෙන කොතැනකදිවත් මම දැක්කෙ නැහැ. දැන් මේක නිකම්ම ගෝල්ෆේස් එක නෙවෙයි. ශ්‍රී ලංකාව යහපත් මාවතකට ගෙන යන ප්‍රාර්ථනාවේ මල් පූදින ස්ථානයක් වගෙයි මට දැනෙන්නෙ.

ඔබ ලංකාවට ආවෙම මේ නිසාමද?

ඔව්, ඒකටම තමයි. ආ විගස ගෙදර ඇවිත් අම්මයි-තාත්තයි බලලා අරගල භූමියට ගියා. අපි හැමෝටම වෙනසක්. හොඳ සිස්ටම් එකක් අවශ්‍ය වූ මොහොතක්නෙ. ඒ වෙනස වෙනුවෙන්නෙ අපි මේ විදියට පෙළ ගැහිලා ඉන්නෙ. අපි මේ දක්වා ජීවත්වූ ක්‍රමයට වඩා වෙනසක් අපි සොයන්නෙ. මේකෙ සටන් පාඨය පුද්ගලයකු හෝ දෙන්නෙනෙකුගේ නම් වෙන්න පුළුවන්. ඒත් ඒ හරහා ඊට එහා ගිය ජීවිතයක් අපි සැවෝම සොයන්නෙ. දුක කියන දේ උරුමයි කියලා හිතලා අපි හොඳින් හිටියොත් ලබන ආත්මෙ හොඳවේවි කියලා හිත් හදා ගන්නවා. එතකොට අපි එහෙම කරන්නෙ මේ ජීවිතේ විඳලා නෙවෙයි, ඊළඟ ආත්මයෙදි සැප වෙනුවෙන්. මේ දක්වා මේ රට පාලනය කළ හැමෝම වගේ අපට උරුම කරලා තියෙන්නෙ ඒ වගේ පරිසරයක්. දැන් මේ කාරණය ප්‍රමුඛ ශ්‍රී ලාංකීය සමාජය හොයන්නෙ ඒ වෙනස වෙනුවෙන්. ඇයි අපි තවත් විඳවන්නෙ? මේ විදියට ජනතාව බලමුළු ගැන්වූ සවිශක්තිමත් වී ආගම්භේද පසෙකලා අත්වැල් බැඳගත් ශක්තිය අපි දැන් යොදවන්න ඕනෑ ඉස්සරහට අපි කුමක් කළ යුතුද කියන කාරණය දෙසටයි. ඒ සංවාදයටයි මම කැමැති. කොටසක් බලයට ඇවිත් ගිහින් එයාලා ගියාට පස්සෙ තව පිරිසක් ඇවිත් අපි බේරාගනීවි කියලනෙ අපි හිතන්නෙ. මේ තාක් අපි ජීවිත ගෙව්වෙ මේ විදියටනෙ. දැන් අපට ඉස්සරහා ගැන නිශ්චිතව හිතන්න වෙලා. මොන රටේද අරගල භූමියක පුස්තකාලයක් තිබෙන්නෙ? බලන්න මේ අරගල භූමිය මොන තරම් නම් නිර්මාණශීලීද? වෙනස්ද? ඉතින් ඒකෙන්ම කියැවෙනව නේද? විය යුතු දේ? ඕක තමයි මුළු රටටම යන්න ඕනැ පණිවුඩය.

හිරාන්, ඇයි එදා ඔබ ශ්‍රී ලංකාව හැරදා බටහිරට ගියේ? ජාත්‍යන්තරව නළුවකුවීමේ අරමුණ පහසු කර ගන්නද?

ඒ දවස්වල මම නාට්‍ය වැඩ කටයුතු කරමින් සිටියෙ. නැසීගිය සෝමලතා සුබසිංහ මහත්මිය සහ පසුව කෞෂල්‍ය ප්‍රනාන්දු, මයුර අය්යලා වගේ අය එක්ක. පසුව මගේ යාළුවකු වන දිලුම් බුද්ධිකට චන්දන අලුත්ගේ අයියා ආරංචියක් ගෙනාවා. බ්‍රිටිෂ් කවුන්සිලයේ නාට්‍යයක් කරනවා ඉංග්‍රීසි, දමිළ සහ සිංහලෙන්. මට බය නිසා මම දිලුම්ට එන්න කිව්වා. දිලුම්ට බැහැ කිව්වෙ ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා. ඒත් අන්තිමට එයාවත් තෙරුණා. අපි දෙන්නාම ඒ නාට්‍යයේ රඟපෑවා. ඒක අධ්‍යක්ෂණය කළේ විලී රිචඩ්. ඔයා ඩ්‍රාමා ස්කූල් යන්න කැමැතිද කියලා එයා ඇහුවා? ඔන්න ඔය විදියට තමයි ගමන හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ.

මේ සියලු දේ කරන්නට පෙර කොළඹ නාලන්දාවේ උගෙනුම ලබද්දි, කවදා හරි මොනවගේ විෂයයක් තෝරා ගන්නද උනන්දු වුණේ?

මුලින්ම මට ඕනෑ වුණේ දොස්තර කෙනෙක් වෙන්න. ඒ ගැන මම අම්මටයි-තාත්තටයි කිව්වාම එයාලගෙ මුහුණුවලින් මට තේරුම් ගියේ එයාලා මොන තරම් නම් සතුටු වුනාද කියන එකයි. ඒත් පළවැනි සැරේ ඒ ලෙවල් ෆේල්. දෙවැනි වතාවෙ හොඳට පාඩම් කරගෙන යන අතරේදී තමයි සුනාමි ආවෙ. අපේ හොඳ යාළුවෙක් ‘ටානියා’ සුනාමිය නිසා නැතිවුණා. අපි කීප දෙනෙක් කාර් එකක නැගලා එයාව හොයන්න ගියා. අපි දුටුවෙ සුනාමිය නිසා විනාශ වී ගිය භූමියක් විතරයි. ආරංචි කරල බලද්දි ටානියාගෙ පවුලෙ උදවිය අලුත් කාර් එකක් අරගෙන එයාලා කතරගම යන අතරේදි තමයි රැල්ල ඇවිත් එයාලගෙ ජීවිත ඩැහැගෙන ගිහින් තිබුණෙ. එදා රාත්‍රියෙ අපි හැමෝම නැවතුණු හෘද ස්පන්දනයට නතුව මයුර අය්යලගෙ ගෙදර සිටියදී මම තව දුරටත් ජීවිතය ගැන හිතන්න පටන් ගත්තා. මේ විදියට අනපේක්ෂිත දේ වෙනවා නම්? ඇයි මම මගේ ජීවිතයේ ආසම කරන දෙයක් කරලා මැරිලා යන්නෙ නැත්තෙ කියලා මම හිතුවා. එයින් පසුව තමයි Art (කලා) අංශය තෝරා ගත්තෙ. මුලදි අම්මයි-තාත්තයි ඒකට එච්චර කැමැති වුණේ නැහැ. ඒත් පසුව දුන්නෙ හොඳ සපෝට් එකක්.

අපේ රටේ කලාකරුවෝ සමාජ අසාධාරණය හමුවේ නිරන්තරයෙන් පෙනී සිටින බව පෙනෙනවා. කොහොමද බටහිර සමාජයේ කලාකරුවන් ඔවුන්ගෙ හඬට ඒ රටවල පාලකයින් ඇහුම්කන් දෙනවද?

කලාකරුවො විවිධ දේ වෙනුවෙන් හඬ නගනවා. ඒවා ලෝකයේ කොතැනත් එහෙමයි. හැබැයි ඉතින් ඒකට මට නිශ්චිත උත්තරයක් දෙන්න බැහැ. ඒත් පැහැදිලිව මම දකින වෙනස නම්? එහේ පොලිටීෂියන්ස්ලා සහ ලංකාවේ දේශපාලකයින් අතර තියෙන්නෙ අහසට පොළව වගේ වෙනසක්. අපේ රටේ වෙනමම වැඩක්නෙ වෙන්නෙ මචං ඒක අපි කවුරුත් දන්නවනෙ.

ඔබ මෙතෙක් ලබා ගත්ත ජාත්‍යන්තර අත්දැකීම් එක්ක ලංකාවෙ කලාවට මොන වගේ දෙයක් කරන්නද හිතාගෙන ඉන්නෙ?

මේ විදියට සංවාදවලට ඇවිත් මම දන්නා දේ ඔවුන් සමග බෙදා හදා ගන්න කැමැතියි. තව මට ආසම දෙයක් තමයි මට පොඩි ගමක් වගේ තැනක් හදන්න. ඒකෙ ස්ටුඩියෝස් කීපයක් නිර්මාණය කරලා එයින් 4ක් දේශීය කලාකරුවන් වෙනුවෙන් සහ 4ක් විදේශීය කලාකරුවන් වෙනුවෙන් භාවිතා කරන්න. පුහුණුවීම් කටයුතු කරන්න ඒ වගේ තැන්වලදි පුළුවන්. ඒ වෙනුවෙන් පැකේජ් එකක් හදල නළු නිළි කණ්ඩායම් මට මෙහෙට ගෙන්වා ගන්න පුළුවනි. ගුවන් සේවයක අනුග්‍රහයක් ලැබුණොත් ඒ වගේ දේ අපට පහසුවක් වේවි. කොහොමටත් මේ රටේ රංග හා නාට්‍ය කලාව වෙනුවෙන් ඒ විදියට යම්කිසි දෙයක් මම කරන්න හිතාගෙන ඉන්නෙ. එහේ සහ මෙහේ අතර සංස්කෘතිකමය පාලමක් හදන්න පුළුවන් නම් ඒක මගේ ජයග්‍රහණයක් වේවි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ