හිච්චි පුතේ සහෝදරයගේ කඩෙන් පොත් ගන්න කියලා තාත්තා රුපියල් සීයක් දෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජීවිතයේ උදාවෙන හැම දවසක්ම එකම වගේ නොවන බව මේ වෙද්දි ඔබ අත්විඳ තිබෙනු ඇත. දිනෙක සතුට, දිනෙක දුක, තවත් දිනෙක බිය ආදී ලෙස අනන්ත වූ හැඟුම් අපි විඳින්නෙමු. අද දුකින් කාලය ගත කළත්, හෙටත් දුකින්ම සිටින්නට වේවි යැයි කෙලෙසකවත් සිතිය නොහැකිය. එනිසා හැමදේම ඒ මොහොත තුළ දරාගන්නට, විඳගන්නට උත්සාහ ගන්නවා නම් ජීවිතය පහසු වනු ඇත. හිටපු ඉන්දීය ජනාධිපති ශ්‍රේෂ්ඨ විද්‍යාඥ අබ්දුල් කලාම් මහතා මනුෂ්‍ය ජීවිතය වඩා ඵලදායී ලෙස ගත කරනු වස් උපකාරී වන ආචාරධර්ම 06ක් ගැන සඳහන් කරයි. ඉන් හයවැන්න නම් Before you die live යනුවෙනි. එනම් මැරෙන්නට පෙර ජීවත් වෙන්න යන්නයි. ඇත්තටම අප අපේ ජීවිතය තුළ සැබෑවටම ජීවත් වූ දවස් කොපමණද? ආරම්භයේදී කියූ ලෙස දුක හෝ සතුට කිසිවිට සදාකාලික නොමැති වග තේරුම් ගෙන උදාවන දවස තුළ අර්ථවත්ව ජීවිතය ගත කරන්නට අපට හැකි නම් මියෙන්නට පෙර අපට ජීවත් වන්නට හැකිවනු ඇත. ඉතින් මෙලෙස ජීවත් වන දවසකට සංගීතය යනු සැබෑම ආශිර්වාදයකි. සංගීතය කියූ සැණින් අපට ගීතය පිළිබඳව සිහිපත් වීම අනිවාර් යෙන් සිදුවන්නකි. ඉතා ඉක්මනින් අප හට ග්‍රහණය කරගත හැකි ගීතය නම් වූ සොඳුරු කලාංගය තුළ දශක ගණනක මතක සමඟ අද 27 ඉරිදා සවස මහරගම තරුණසේවා සභා පරිශ්‍රයේදී 'රූ ඉරපාන' ප්‍රසංගයෙන් අප හමුවන බන්ධුල නානායක්කාරවසම් නම් වූ ගී පද රචනා කලාවේ විශිෂ්ටයා සමඟ හදසර 'My story' ඔස්සේ අද අපි කතාබහ කරමු.

පාසලේ පහ වසරේ ඉගෙන ගන්නා කාලයේදී මිහිර පත්තරයෙන් ආරම්භ කළ කවි ලිවීම නිසාම කලෙක ඔහු නව යොවුන් වියේදී ජනප්‍රිය කවියෙක් විය. පත්තරවලට කවි ලියූ එවන් නිර්මාණවේදීන් පසු කලෙක මෙරට ප්‍රමුඛ කලාකරුවන් බවට පත්වූ අවස්ථා බොහෝය. ගාල්ලේ බන්ධුල නානායක්කාරවසම් ද එලෙස කරළියට පැමිණි අයෙකි. 

"මම හෝඩියේ ඉඳන් උසස් පෙළ මාස කිහිපයක් දක්වාම ගියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට. අවුරුදු එකොළහ හමාරක් රිච්මන්ඩ් එකේ ඉඳලා තමයි මම දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. ගණිත අංශයෙන් තමයි උසස් පෙළ කළේ. අපේ පවුලේ අම්මයි තාත්තයි අයියයි අක්කලා දෙන්නයි මමයි නංගියි. හරිම සුන්දර ආදරබර ළමා කාලයක් අපට තිබුණා. ලොකු අයියා මට වඩා අවුරුදු 15ක් වැඩිමල්. දෙවැනි අක්කා අවුරුදු 13ක් වැඩිමල්. වැඩිමල් තුන්දෙනා නංගිටයි මටයි කිව්වේ 'අකල් වැහි' කියලයි. අපි තුන්දෙනා ලස්සනට ඉන්නකොට මේ 'අකල් වැහි' ආවා කියලා තමයි එයාලා අපිට විහිළු කළේ. මායි නංගියි දෙන්නා පොඩිනෙ. ඉතින් අයියයි අක්කලා දෙන්නයි පාඩම් කරද්දි අපි දෙන්නා කරදර කළා. පොඩි අක්කගෙන් තමයි මම ගොඩක් දේවල් අහන්නෙ. ඇත්තටම ඒ ළමා කාලය ජීවිතේ හරිම සුන්දර කාලයක්." අතීතයේ සුන්දර තැන්හි නවතිමින් ඔහු පවසයි.

ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන් ඔහු වෙනුවෙන් ඔහු කෙසේ වුව පවුලේ අය දුටුවේ ඉංජිනේරු සිහිනයයි. එහෙත් ඒ සිහිනය නම් ඔහුට සැබෑවක් කළ නොහැකි වූ අතර 80 දශකයේදී ඔහු බැංකු ක්ෂේත්‍රයට එක්විය. බැංකු ක්ෂේත්‍රයේ රැකියාව ලැබුණු පසු උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථාව ලැබුණද ඔහු දිගටම රැකියාවේ නිරත විය. ඒ ආරම්භය තුළ ඔහු රැඳුණු මුල්‍ය ආයතනයේම වසර 38ක් පුරා සේවයේ යෙදී සිටීමද විශේෂත්වයකි. ගීත ක්ෂේත්‍රය තුළ සේම වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ජනප්‍රියත්වය ඔහු කරා එන විට වෙනත් විවිධ ආයතනවලින් ඔහුට ආරාධනා ලැබුණද ඒ කිසිවක් බාරනොගෙන ඔහු තම ගමන ඇරඹූ තැනම සුවිසල් මෙහෙවරක් කරමින් රැඳී සිටියේය. ඒ එහි ඉහළට යමිනි.

කවියකු, ගීත රචකයකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස කලාවේ විවිධ ඉසව් සොයා යාමට ඔහුට වඩාත් ඉවහල් වන්නට ඇත්තේ ඔහුගේ කියවීමේ පුරුද්දයි. ඒ පුරුද්ද වඩාත් ඉහළට රැගෙන යන්නට ඔහුගේ ආදරණීය පියාගේ අත්වැල හේතුවක් විය. පහ වසරේදී මිහිර පත්තරයෙන් ඇරඹි ලිවීම විජය පුවත්පත, නව යුගය, සිළුමිණ, මව්බිම ආදී පුවත්පත් සඳහා මෙන්ම අතිශය ජනප්‍රිය ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් පිටපත් රචකයකු දක්වා ද විවිධ තේමාවන්ගෙන් ලියැවුණු කෘති 5ක් දක්වා ද ඔහු රැගෙන ගියේය.

"මගේ තාත්තා ප්‍රබල වාමාංශිකයෙක්. අපිටත් වැඩිය තාත්තා කොමියුනිස්ට් පක්ෂයට ආදරෙයි කියලා කිව්වත් වැරදි නැහැ. ඒ තරම්ම ඔහු එයට බැඳී සිටියා. තාත්තා හැම ඉරිදාම ගියා මහජන පොළට. මාසෙකට සැරයක් මාවත් එක්ක ගියා. මේ මහජන පොළේ තිබුණා සැලුන් එකක්. එයට යාබදව තිබුණා පොත් කඩයක්. ඒ ලයනල් අයියගේ පොත් කඩේ. ඔහු තාත්තගේ කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරයෙක්. අපි කියන්නෙ සහෝදරයගෙ කඩේ කියලා. ඔහු හරි සුන්දර මිනිසෙක්. මෙන්න මේ කඩෙන් පොත් ගන්න තාත්තා රුපියල් සීයක් දුන්නා. තාත්තා කොහොමත් කිසිම ලෝබකමක් නැතිව අපිට හැමදේම දුන්නා. ඒත් මෙතැනදි රුපියල් සීයක් කියන්නෙ ඒ කාලේ ඉතා සැලකිය යුතු මුදලක්. රුපියල් සීයක් මට දීලා තාත්තා කිව්වා හිච්චි පුතා.. එහෙනම් නංගිගෙ කොණ්ඩේ කපනකල් පොත් ඕන ඒවා තියෙනවා නම් ගන්න කියලා. මට හිතාගන්න බැහැ. රතු රෝස මල, බල්ලා කැටුව යන කාන්තාව, වානේ පන්නරය ලැබූ හැටි, පෙරළූ නැවුම් පස, රුසියානු කෙටිකතා සියල්ල ගත්තා. මොකද පොතක් රුපියල් 8.50 යි උපරිම වුණොත්. ඒ කියවීම ජීවිතේ බොහෝ දේට මඟ කිව්වා. ඒ වගේම ඩබ්ලිව්.එස්. බණ්ඩාර ගුරුතුමාව ආදරයෙන් මතක් කළ යුතුයි. සර් මගේ ජීවිතයේ ලේඛනය කියන ඉසව්ව සොයා යද්දි දැවැන්ත ආලෝකයක් වුණා. ඒකත් හරිම සුන්දර කතාවක්. දවසක් මම ශ්‍රමදානයකට ගියා ලංකාගම. ගිහින් එද්දි අපේ ගෙදර කවුරුත් නැහැ. පුංචි අම්මලාගෙ දිහා ගිහින්. දොරවල් අගුළු දාලා වහලා. ඉස්සර ගෙදරින් යනකොට ජනේලයක් දිග නූලකින් බැඳලා යන්නේ. මම ඒ ජනේලය ඇරලා බැලුවම අයියගෙ මොනිටර් අභ්‍යාස පොතක් තිබුණා. කෙක්කකින් මේක ඇදලා ගත්තම නොලිව්ව මැද පිටු ගාණක්ම තිබුණා. මම ඒවා ඔක්කොම කඩලා අරන් මිදුලෙ වංගෙඩිය උඩ කොස් ලෑල්ලක් දාලා තිබුණා. ඒකෙ තියාගෙන පොතක් ලිව්වා. 'රත්තරන් ගමනක්' තමයි ඒ පොත. අන්න ඒ පොත පන්තියේ ළමයි ඔක්කොම කියෙව්වා. එතකොට මම නවය වසරේ. ඒ පොත මගේ ජීවිතයම වෙනස් කළා. අර ශ්‍රමදානයට ගිය අත්දැකීම තමයි මම ලිව්වේ. ඒක කියවද්දි අදටත් ඇස්වලට කඳුළු එනවා. ළමයි මේක කියවද්දි අපේ ජීව විද්‍යා ටීචර් දැකලා ඒක අරන් ගියා. මගේ අකුරුත් ලස්සනයි. පොත කියවද්දි ටීචර්ටත් ඇඬිලා. ටීචර් අපේ සිංහල උගන්වන බණ්ඩාර සර්ට දීලා. සර්ත් මේක කියෙව්වම සර්ටත් ඇඬුණා. අන්තිමට සර් මාව පුස්තකාලේ විමර්ශන අංශයට එක්ක ගියා. මුලින්ම ඇන්ටන් චෙකෝව්ගේ Death of a clerk පොත කියවන්න දුන්නා. දීලා මට කිව්වා ඒක පරිවර්තනය කරන්න කියලා. ඒ 'ලිපිකරුවාගේ මරණය'. මම මේ විදිහට එදා ඉඳන් පොත් කියවන්නයි පරිවර්තනය කරන්නයි පටන් ගත්තා. හරි අමාරු වැඩක්. සර් ශබ්දකෝෂයක් ගෙනත් දුන්නා. මාත් ගෙදර තිබුණු ශබ්දකෝෂයක් ගෙනාවා. අමාරු වුණත් ඒක මනා අභ්‍යාසයක් වුණා. මොකද ඒ ඔස්සේ මම ලෝක සාහිත්‍ය කියෙව්වා. ලෝ ප්‍රකට කවීන්ගේ කවි කියෙව්වා. තාත්තා නම් කැමති වුණේම නෑ මම කලාවට එනවට. ඉස්සර මට නිතරම බැන්නා බණ්ඩාර සර්ගෙ දිහාවෙන් හිච්චි පුතාට කවදා හරි කසාදෙකුත් කරලා දෙයි කියලා. ඇත්තටම ඒ කිව්වා වගේම සර්ගෙ මාමගෙ දුව සුභාෂණී සමඟ තමයි මම විවාහ වුණේ. මුලදි අපේ කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ. කලකින් ආව යෝජනාවක් අනුවයි ඒ සම්බන්ධය ඇතිවුණේ. දැන් අපි විවාහවෙලා දශක තුනකටත් වැඩියි. දූලා දෙන්නකුත් ඉන්නවා. ලොකු දුව සනෙරි ස්වර්ණචාපා. පොඩි දුව තරුවි මිහිසරා. ලොකු දුව උසස් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව කරලා රැකියාවක් කරනවා. පොඩි දුව තාම ඉගෙන ගනිමින් ඉන්නවා." 

 

ගීත රචකයකු ලෙස ඔහුගේ ගමන ඇරඹෙන්නේද ඉතා අපූර්ව ලෙසය. ඔහු කලක් මාතර ප්‍රසිද්ධ මුද්‍රණාලයක කළමනාකරුවෙක් ලෙස සේවය කළේය. ඒ වන විටත් ඔහු ගාල්ලේ බන්ධුල නානායක්කාරවසම් නමින් පුවත්පත්වලට කවි ලියා තිබුණි. දිනක් මෙම මුද්‍රණාලයට පැමිණි පුද්ගලයකු දුරකථන ඇමතුමක් ගෙන කා සමඟ හෝ කළ සංවාදයක් ඔහුට ඇසුණි.

"ඒක හරිම අපූරු සංවාදයක්. ඔහු කියනවා ලතා ඇන්ටි දෙවැනි වාහනේ එවන්න... ජෝතිපාල එනවා. එහෙම මෙහෙම අපි හොඳින් දන්න කලා ශිල්පීන් ගැන කියනවා. මම අහගෙන. ඒත් ඉතින් අහන්නත් බැහැ. මට හරිම ආසයි. කොහොම හරි මේ වෙද්දි මගේ 'කඩදාසි ගොඩක ගීතය' පොත මුද්‍රණය කළ ගමන්ම වාගේ මගේ මේසය උඩ තිබුණා. එහි මගේ නමත් සටහන් වෙලා තිබුණා. අර දුරකතන ඇමතුම ගත් පුද්ගලයා මගේ මේසය ළඟට ඇවිත් පොත දිහා බලලා මට මේ පොර හම්බවෙන්න ඕන. එයා කොහේද ඉන්නෙ කියලා ඇහුවා. මම කිව්වා ඔබේ ඉස්සරහ මේ ඉන්නෙ කියලා. ඔහු ගොඩක් සතුටු වෙලා ශා නියමයි.. මම නියම තැනට ආවේ. මම ළඟ තනුවක් තියෙනවා. ඒකට සින්දුවක් ලියන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් මම කිව්වා ජෝතිගෙ 'නිල් අහසේ හිරු නැගිලා' තාලෙට අපේ අක්කගෙ මඟුල් ගෙදරට හතේ පන්තියෙදි නම් සින්දුවක් ලියලා තියෙනවා කියලා. ඊටපස්සේ එයා තාලයට මේසයට තට්ටු කරද්දි මම ලිව්වා 'සිඳු තෙරේදි බැන්ඳ ආදරේ' කියන ගීතය. ගීතය ගැයුවේ ඒ වසරේ සම්මාන දිනූ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න සහ දයා හේමන්ත අබේසේකර. 'කල්‍යාණි ගංඟා රාජනී' කැසට් එකට ආවේ. ඉන්පසු ප්‍රවීණ ගායන ශිල්පිනී වසන්තා සන්දනායක මට එන්න කියලා කිව්වා බුදු ගුණ ගීයක් ලියන්න කියලා. 'රුදු භව කතරේ වල්මත් වීලා' එම ගීතය සංගීතවත් කළේ ආර්. මුත්තුසාමි මාස්ටර්."

ඔහු ලැබූ ඒ විශිෂ්ට අවස්ථා සැබැවින්ම අපූරුය. එදා ඔහුට තනුවකට ගී ලියන්න ඇරයුම් කළ ඔහු ගාමිණී සන්දනායකය. එසේම තැටිගත වූ ඔහුගේ මුල් ගීය නන්දා මාලනියන් ගයන 'ඉර ලාස්සනයි' ගීතයයි. එයද අහඹු සිදුවීමකි. 

"දවසක් මම පොතක පසුවදන ලියාගන්න මහාචාර්ය සුනිල් ආරියරත්න හමුවෙන්න ගියා. ඔහු කිව්වා ඔබේ කවි ගීත වගේ කියලා. මේ පොතත් අරන් ගිහින් නන්දා මාලනී හමුවෙන්න කියලා. එය 1981 තැටිගත වුණා. නන්දා අක්කාගේ (නන්දා මාලනියන්ගේ) සරල ගී වැඩසටහනකදි මගේ නම නිවේදනය කළේ ප්‍රවීණ නිවේදක පාලිත පෙරේරා. ඉන්පසු මා ගුවන්විදුලිය සමඟත් එක්වුණා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස. මහෝඝය, හෝපළු හෙවණ, නිම්තෙර කියන වැඩසටහන් තුනම මට දුන්නා. ඒවා හොඳින් කරද්දි 'යෞවන සමාජය' වැඩසටහන දුන්නා. ඉන්පසු 'ඉරිදා සංග්‍රහය' දුන්නා. එකක් හොඳට කරද්දි තව එකක් විදිහට පාලිත අයියා (පාලිත පෙරේරා) මට අවස්ථා ලබා දුන්නා. සාහිත්‍යයට පමණක් සීමා නොවී මම සමාජ ප්‍රශ්න ගැටලු පිළිබඳවත් කතා කළා. මේ වැඩසටහන් සියල්ලෙහි එක් සොඳුරු නැවතුමක් 'රෑ ඉරපාන'. මෙවර ප්‍රසංගයේ මගේ අරමුණ මම රසිකයකු වූ හැටි කතා කිරීම. මගේ ගීතත් එක්ක තවත් ජනප්‍රිය ගීත ගණනාවක් හා එහි තතු විත්ති කරළියට ගේන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ල අපූර්ව අත්දැකීම් වන වග නම් විශ්වාසයි. මෙය ඉතා බැතියෙන් කරන වැඩක්. මේක උඩුගම් බලා යන වැඩක්. මෙහිදී මේ ප්‍රසංගය මුලදී සැලසුම් කළ සමාජ සංවිධානය ටික කලකදි මට කිව්වා මෙය නගරයක, ක්‍රීඩාංගණයක, එළිමහන් ප්‍රසංගයක් විදියට කරන්න කියලා. මම කිව්වා කෑගහලා කකුල්වලට ගීත ගයන වැඩක් නෙවෙයි මේක කියලා. සංවාදයට බොහෝ කාලයක් ගියා. අන්තිමේ මම ඉදිරිපත් වුණා. මේක කරද්දි සරත් තිලකරත්න කියන නම අනිවාර්යයෙන් කියන්න ඕන. අමිත්ත වීරසිංහ මේ වැඩේදි මාත් එක්ක ඉන්නවා. ශාන්ත ඉන්නවා. තව මේ වගේ ස්නේහයේ දෑත් දිගුවෙලා තියෙනවා. මම හිතන්නේ මේ සියල්ල මගේ රසිකත්වය නිසා කියලයි.

වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් කියන ඔහු එක්පෙති මල නෙලා නොගත්තේ බෝසත්කමට යැයි පවසයි. බෝසත් සිත පාමුල උවැසිය වී සිටියා යැයි රසික සිත් සුවපත් කරන ඔහු දශක ගණනක් පුරා අපට කියා දෙන ප්‍රේමයේ මුණිවර හැඩය විඳින්නට ඔබත් අද (27) සවස 6.30ට පෙර මහරගම තරුණසේවා රඟහලට එන්න. රචක හිතට රසික සෙනෙහසේ නාමයෙන් අසිරි සලන්න. 

මොනිකා සේරසිංහ /  සේයාරූ- සුමුදු හේවාපතිරණ