සිංහල සිනමාවේ ගැහැනියට ඔස්ට්‍රේලියාවෙන් මල් වරුසාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සදාතනිකව සුවඳ විහිදුවාලන රෝස කුසුමක් ලෙසින් මගේ සම්භාවනාව තුළ ඇය සුපිෂ්පිතය. සිනමාමය අහසෙහි අසීමාන්තික අතික්‍රමණයක තම රංග රේඛා විදාහල සිංහල සිනමාවේ ගැහැනිය ඇයයි. රිදී තිරයේ දිගහැරුණු ප්‍රවීණ සිනමාවේදී සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුරෙහි සෝමාගේ සිට පිළිකා ශල්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරාගේ දඩඉමේ රෝහිණී දක්වා ස්වර්ණමය රංග සුවිසැරියේදී ස්වර්ණා සිංහල සිනමාවට එක් කළ පරිච්ඡේද සිංහල සිනමාවේ ප්‍රසාදනීය වූ ස්වර්ණවත් පරිච්ඡේදයන්ය. ආත්මීය ආලයකින් සිනමාවට පෙම් කළ ඒ ප්‍රේමණීය ගැහැනිය විචාරක සම්භාවනාව තුළ කෙතරම් ප්‍රශංසනීය ඇගයීමකට පාත්‍ර වීද යත් විචාරය තුළ ඈ සිනමාවේදිනියක ලෙස නොලද සම්මානයක් නැති තරම්ය. එහෙත් අතිශය සන්තාපයට හේතුව නම් 50 වසරක් මුළුල්ලේ සිංහල සිනමාවේ නව පරිච්ඡේද තම රංගනය ඔස්සේ ලියමින් සිංහල සිනමාවට අසමාන අසහාය අප්‍රමාණ මෙහෙවරක් ඉටු කළ සිංහල සිනමාවේ ගැහැනියට ඇය ජන්ම භූමිය ලද භූමියෙන් ඇගේ 50 වසරක සිනමා දිවිසැරිය වෙනුවෙන් පිරිනැමුණු මල් පොකුරු නැතිවීමය. එදත් අදත් ලාංකික ප්‍රේක්ෂකාගාරය ඇයට පිරිනමන ආදරය ගෞරවය අල්පමාත්‍රයකින්වත් අඩුවක් නොවුණත් ඒ 50 වසර අභිමානවත් ලෙස සමරන්නට සිනමාවේ රුඳුණු කවර හෝ පාර්ශ්වයකට අමතක වීම නම් සමාවක් දිය හැකි සංසිද්ධියක් නොවේ යැයි මට සිතේ. 

එහෙත් ශ්‍රී ලාංකික ෙප්‍ර්ක්ෂකයන්ට අමතක නොවුණත් ඇය වෙනුවෙන් ඒ යුතුකම ඉටුකළ යුතු වූ පාර්ශ්වයන්ට අමතක වූ ඇගේ 50 වසරක සිනමා දිවිසැරිය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවීය. ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන්ට අපි අපේ ආදරයත් ගෞරවයත් කෘතවේදීත්වයත් පිරිනමන්නේමද එහෙයින්මය. ශ්‍රී ලංකා කෘෂි විද්‍යා සහ පශු වෛද්‍ය උපාධිධාරීන්ගේ ඔස්ට්‍රේලියා සංගමය සහ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සංවිධානය යන සංවිධාන මගින් සංවිධානය කරන ලද ස්වර්ණා මල්ලවආරච්චි උපහාර සිනමා උළෙල මෙල්බන්හි කීස්බරෝහි බැන්ක්සියා තියටර්හිදී පැවැත්විණි. ස්වර්ණා මල්ලවආරච්චි රංග දිවියේ අපූර්වතම සිනමාමය සංධිස්ථාන අතුරින් සුවිශේෂී වූ හංස විලක්, හන්තානේ කතාව සහ දඩයම යන සිනමා වියමන් ත්‍රිත්වය එම සිනමා උළෙලේදී තිරගත කෙරුණි. මෙල්බන් නුවර වෙසෙන ස්වර්ණාට ආදරය කරන පන්සීයකට අධික පිරිසක් මෙම සිනමා උළෙල වෙනුවෙන් සහභාගි වූ අතර එහිදී ශ්‍රී ලංකා කෘෂි විද්‍යා සහ පශු වෛද්‍ය උපාධිධාරීන්ගේ ඔස්ට්‍රේලියා සංගමයේ සභාපති අයික් රත්නසිංහ මහතා සහ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සංවිධානයේ සභාපති බන්දු දිසානායක යන මහත්වරුන් අතින් ස්වර්ණා මල්ලවආරච්චි වෙනුවෙන් සමරු තිළිණයක්ද ප්‍රදානය කෙරුණි. 

සැබැවින්ම ස්වර්ණවත් ස්වර්ණා වෙනුවෙන් ඒ දුන් ඇගයීමට ආදරයත් ගෞරවයත් එක් කළ වචන මල් මිටක් හැරෙන්නට දෙන්නට අන් යමක් අපට නැත. මේ වදන් වියමන ඒ ආදරණීය ඔස්ට්‍රේලියානුවාසී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ස්තූතියේත් ආදරයේත් මල් කළඹක්ම වේවා. 

ආදරෙයි ස්වර්ණා අපි ඔබට හැමදාමත්...

සංජීවිකා